ගෞතම ශාක්‍ය මුණීන්ද්‍රයන් වහන්සේගේ සුවාසූ දහසක් ධර්මස්කන්ධය හඳුන්වන්නේ ත්‍රිපිටකය නමිනි. මෙම ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කිරීමෙන් පසුව අංග 04 කට බෙදේ. පාලි, පෙල, අටුවා, ටීකා, ටිප්පණි යනු විසිනි. මෙයින් පාලි පෙළ, අටුවා යන අංග දෙක පිළිබඳව විමසන විට එය අවස්ථා කිහිපයකට පැහැදිළිව වර්ග කළ හැකිය.
1. දඹදිව භාණක අවධිය
2. ලක්දිව භාණක අවධිය
3. හෙළටුවා අවධිය – අ. ග්‍රන්ථාරූඪ අවධිය
4. බුද්ධඝෝෂ පාලි අවධිය
5. ටීකා අවධිය යනුවෙනි.
සර්වඥයන්වහන්සේ සව් කෙලෙසුන් නසා බුදු බව ලැබීමෙන් පසුව පහළ කළ ‘අනේක ජාති සංසාරං’ යන උදාන වාක්‍යයේ සිට පිරිනිවන් පාන්නට මොහොතකට කලින් වදාළ ‘හන්දදානි භික්ඛවේ ආමන්තයාමි’ ආදී වූ පශ්චිම බුද්ධ වචනය දක්වා වසර 45 ක් තුළ වදාළ සර්වඥ භාසිත වැඩි හරියක් දරාගෙන සිටියේ සැරියුත් තෙරුන් හා ආනන්ද තෙරුන්ය. ආනන්ද තෙරුන් බුදුන්ගෙන් ලත් වර අටෙන් එකක් වූයේ භාග්‍යවතුªන් වහන්සේ යම් යම් තැන් වලදී දේශනා කරන ධර්ම නැවත ආනන්ද හිමියන්ටද දේශනා කළ යුතුය යන වරයකි.
තථාගතයන් විසින් කෙටියෙන් කරන ලද ධර්ම දේශනා විස්තර කර දේශනා කරන්න යැයි බොහෝ විට නියම කළේ සැරියුත් හිමියන්ටය. මාතෘ දිව්‍යරාජයාට දෙසූ අභිධර්මය සම්පූර්ණයෙන්ම ආපසු දේශනා කළේ සැරියුත් හිමියන්ට බව සඳහන්ව ඇත. භාග්‍යවතුන් වහන්සේට ඤාණ 73 ක් පැවති අතර සැරියුත් හිමියන්ට ඤාණ 67 ක් පැවති බව සඳහන්ව ඇත.
බුද්ධ පරිනිර්වාණයත් සමගම පෘථග්ජන භික්ෂූන් අතර මතවාද උද්ගත වූ අතර සමහර මතවාද බුදුන් දවස පටන් පැවති ඒවාය. සඟ සසුනේ එවැනි අරගල කළ භික්ෂූන් අතර දේවදත්ත, සුනඛත්ත, සාති, සුභද්‍ර ආදීහු කැපී පෙනෙති.
තථාගතයන් පිරිනිවන අවස්ථාවේත් තවත් කිහිප පලකදීත් වදාරා ඇත්තේ ‘යො ඛො ආනන්ද මයා ධම්මොච විනයොච දෙසිතො පඤ්ඤත්තො සො වො මමච්චයෙන සÀවා’ ආනන්දය මා විසින් යම් ධර්මකුත් විනයකුත් දෙසිත ද එය මාගේ අවෑමෙන් ඔබගේ සාතෘ වේ යන්නයි. එම නිගමනය භාරගත් මහා කාෂ්‍යප, ආනන්ද, උපාලි මහ රහතුන්ගේ එකම වගකීම හා යුතුකමව පැවැත්තේ ඒ ත්‍රිපිටක බුද්ධ වචනය ආරක්ෂා කරමින් එය පරපුරෙන් පරපුරට ගෙන යාමට මංපෙත් විවර කිරීමයි. ඒ මංපෙත් විවර කිරීමේ ව්‍යායාමය පළමුවන සංගායනාව නමින් සම්මත වී ඇත.
පළමුවන සංගායනාව සිදු කළේ බුද්ධ පරිනිර්වානයෙන් දින 90 කට පසුව රජගහ නුවර වේහාර පර්වත ප්‍රාන්තයේ සප්තපර්ණී ගුහාවේදී පන්සියයක් රහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙනි. මෙම සංගායනාවට සැරියුත් හිමියන් නොසිටීම පාඩුවක් වූ අතර අජාසත්තගේ දායකත්වය සංගායනාවට රාජකීයත්වයක් හා ආණචක්‍ර පැවැත්මක් ඇති කළේය.
මෙම පළමුවන සංගායනාවේදී විසිරී තිබුණු ධර්මය එක්සත් කිරීම, විනය ස්ථාපිත කිරීම, සූත්‍ර ධර්ම කොටස් 05 කට බෙදීම, එම කොටස් අනාගතය සඳහා රැක ගැනීම සඳහා භාණකවරු පත් කිරීම ආදී දේ ඉටු විය. පසු කලකදී භාණකවරු දහ අට ගණනක් වූ බව සඳහනි.
1. පරාජිකා භාණක 2. පාචිත්තිය භාණක
3. චුල්ලවග්ග භාණක 4. මහාවග්ග භාණක
5. පරිවාර භාණක 6. දීඝ භාණක
7. මජඣිම භාණක 8. සංයුත්ත භාණක
9. අංගුත්තර භාණක 10. බුද්දක භාණක
11. ධම්මසඩ්ගණී භාණක 12. විභඩ්ග භාණක
13. පුග්ගල අඤ්ඤත්ති භාණක 14. ධාතුකථා භාණක
15. යමක භාණක 16. පට්ඨාන භාණක
17. ජාතක භාණක 18. කථාවත්‍ථු භාණක
ආනන්ද හිමියන්ගේ ශිෂ්‍ය පිරිස දීඝ භාණකවරු වූ අතර සැරියුත් හිමියන්ගේ සිසු පිරිස මජඣිම භාණකවරු වූහ. මහා කාශ්‍යප හිමියන්ගේ සිසු පිරිස සංයුක්ත භාණකවරුන් වූ අතර අනුරුද්ධ හිමියන්ගේ සිසු පිරිස අංගුත්තර භාණකවරු ලෙස පෙනේ. විනය පිටකය උපාලි තෙරුන්ගේ සිසු පිරිසට භාරවිය.
බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ගෙවුණු තැන කාලාශෝක රජුගේ දායකත්වයෙන් විශාලා මහ නුවර වාලුකාරාමයේදී යස රේවත සබ්බකාමී රහතන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් රහතුන් වහන්සේලා සත් සියයක් සහභාගීව දෙවන සංගායනාව සිදු විය. දෙවන සංගායනාවෙන් විනය පිළිබඳ ආරවුලක් සංසිදුනා මිස ත්‍රිපිටකයට අලුත් බලපෑමක් නොවීය. දෙවන සංගායනාවෙන් පසුව නිල වශයෙන් සංඝයා නිකාය වශයෙන් බෙදී ගියේය.
බුදුන් පිරිනිවී අවුරුදු 218 කට පසුව විශාල ප්‍රතිලාභ ගෙනදුන් තුන්වන සංගායනාව සිදු විය. ධර්මාශෝක දායකත්වයෙන් රහතන් වහන්සේලා දහසකගේ සහභාගීත්වයෙන් පැළලුප් නුවරදී සිදු වූ මෙම සංගායනාවේ ප්‍රතිඵල බෙහෙවින් ඵල දැරීය. මේ වන විට වසර දෙසිය ගණනක් භික්ෂූන් වහන්සේලා ත්‍රිපිටක ධර්මය කට පාඩමෙන් රැකගෙන විත් තිබුණි. මොග්ගලීපුත්ත තිස්ස රහතන් වහන්සේගේ නායකත්වයෙන් සිදු වූ මෙම සංගායනාවේදී ත්‍රිපිටක බුද්ධ ධර්මය විභජ්ජවාදය නමින් පාරිශුද්ධත්වයට පත් විය. දේශ දේශාන්තර වලට සද්ධර්මය පැතිර ගියේ මෙම සංගායනාවේ ප්‍රතිඵල වශයෙනි. තුන්වන සංගායනාවට සහභාගී වූයේ ත්‍රිපිටකය කට පාඩමින් දරාගෙන ආ දඹදිව පළමුවන භාණක පරම්පරාවයි.
තුන්වන සංගායනාවෙන් පසුව විභජ්ජවාදී බුදු දහමද රැගෙන මිහිඳු හිමියෝ ලක්දිව වැඩම වූහ. දේවානම් පියතිස්සගේ රාජ්‍යානුග්‍රහයෙන් මුල බැසගත් ලංකා බුද්ධ ශාසනයේ ලංකා සඟ සසුන මහා අරිට්ඨගෙන් ඇරඹිණ. මිහිඳු හිමියන් විසින් කට පාඩමින් ගෙන ආ ත්‍රිපිටකය ලංකා භික්ෂු පරපුර උගත්හ. ඒ දෙවන භාණක පරපුරයි. පාලියෙන් ත්‍රිපිටකය උගත් භික්ෂූන් වහන්සේලාට සිංහලෙන් ජනයාට පැහැදිලි කරන්නට සිදු විය. ඒ සඳහා පාලි සූත්‍ර වලට සිංහලෙන් අටුවා ලියන්නට වූහ. ඒ අටුවා හැඳින්වූයේ හෙළටුවා නමිනි.
හෙළටුවා යුගය
‘තත්ථ තත්ථ භගවතෝ පවත්තිකා පකිණ්ණක දේසනා අට්ඨකථා’ යනුවෙන් සාරත්ථදීපනී සංයුත්ත නිකාය අට්ඨකථාවේ සඳහන් වේ. බුදු රදුන් විසින් ඒ ඒ තන්හිදී පවත්වන ලද ප්‍රකීර්ණක දේශනාවම අට්ඨකථාවේ යනු එහි අදහසයි.
‘භගවතො පකිණ්ණක දේසනාව භූතාව සුත්තානුලෝම භූතාව අට්ඨකථා’ යනුවෙන් බුදු රදුන්ගේ ප්‍රකීර්ණක දේශනාද සුත්තානු ලෝමයද අටුවා වී යැයි විමති විනෝදනී විනය ටීකාවේ සඳහන් වේ.
තව දුරටත් ‘සම්මා සම්බුද්ධනෙම හි තිණණං පිටකානං අත්ථ සංවණ්ණනාක්කමො හාසිතො යං පකිණ්ණක දේස නාති වුච්චති’ යනුවෙන් අංගුත්තර නිකාය ටීකාවේ එන විස්තරයෙන් කියන්නේ තුන් පිටකයේ අර්ථ සංවණ්ණනා ක්‍රමයට අටුවා යයි තථාගතයන් විසින්ම වදාළ බවයි.
අත්ථසාලිනී නම් ධම්මසංගණී අටුවාව කියන්නේ බුදු රදුන් විසින් කරන ලද අට්ඨකථා, අටුවා සැරියුත් තෙරුන් උගෙන මහා කාශ්‍යප හිමියන්ට වදාළ බවයි.
සුමංගල විලාසිනී දීඝ නිකාය අට්ඨකථාව පැහැදිලි කරන්නේ පළමුවන සංගායනාවේදී ත්‍රිපිටකය සංගායනා කොට අනතුරුව ඒ ත්‍රිපිටකයේ අර්ථ ප්‍රකාශ කරනු සඳහා බුදුන් වදාළ ප්‍රකීර්ණක කථායෙන් නගාගෙන අටුවාද සංගායනා කළ බවයි.
මෙසේ උදාහරණ දැක්වූයේ හෙළටුවා ලිවීමේ ප්‍රාරම්භක අවස්ථාවේද මිහිඳු හිමියන්දවසම භාණකවරුන් අතින්ම සිදුවන්නට ඇත යන්න පැහැදිලි කිරීමටය.
මිහිඳු හිමියන්ගෙන් ත්‍රිපිටක ධර්මයත් අටුවා මූල ධර්මයත් උගත් සිංහල හාමුදුරුවරුන් ගිහි වියතුනුත් හෙළටුවා ලියූ බව පිළිගත යුතුය.
මහා වංශයේ සඳහන් ‘මිහිඳු හිමියන් විසින් සිංහල භාෂාවෙන් කරන ලද ශුද්ධ වූ සිහලාර්ථ කථා’ යන යෙදුමෙන්ද ‘මගද විසින් වැටෙමින් ආ බුදුකැලි අටුවා හෙළදිව ඇජුරො හෙළ බසින් තැබූහ’ යනුවෙන් කසුප් මහ රජු ලියා ඇති සැටියෙන්ද නිගමනය වන්නේ සිංහල ඇදුරන් විසින් හෙළටුවා ලියූ බවයි.
එසේ හෙළටුවා ලීවේ අලුතින් බුදු දහම උගන්නා සිංහල ගිහි පැවිදි පරපුරට බුදු දහම උගැන්වීම සඳහාය.ඒ හෙළටුවා යුගයයි. මෙය අනුරාධපුර යුගයේ මුල් කාල පරිච්ඡේදයයි.
මෙසේ භාණකවරුන් විසින් කට පාඩමින් ගෙන එන ලද ත්‍රිපිටක සහ අටුවා මෙසේ මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ඒමේ දුෂ්කරතාවය සාගත ඇතිවීම, යුද්ධ කලකෝලාහ වර්ධනය වෙමින් සාමය කඩවීම ආදී හේතූන් සාක්ෂරතාවය යම් ප්‍රමාණයකට දියුණු වී ලේඛන කලාව දියුණු වීම ආදී හේතූන් නිසා මතු පරපුරේ ප්‍රයෝජනය සඳහා ත්‍රිපිටකය ලියා තබන්නට අපේ හාමුදුරුවරු පෙළඹුණහ. මේ වන විට භාණකවරුද හිඟ වූ බව පෙනේ. එකල සිටි භික්ෂූන් අතරින් ‘මහා නින්දේසය’ කට පාඩම් තිබුණේ එක නමකට පමණි. ඒ භික්ෂු නමද දුශ්ශීලයෙකු නිසා සිල්වතුන් විසින් ඈත් කර සිටියහ.
එහෙත් ‘මහා නිද්දේසය’ රැක ගත යුතු හෙයින් සාමණේරවරයකු ඒ දුසිල් මහණ වෙත යවා මහා නිද්දේසය උගෙන ලියා තිබූ බව සඳහන් වීමෙන් පැහැදිලි වන්නේ මුඛ පරම්පරා ගතව ගෙන ඒම අනතුරට භාජනය වී ඇති බවය. මේ හේතූන් මත වලගම්බා රාජ්‍ය සමයේදී බු. ව. 455 දී මෙතෙක් කට පාඩමින් ගෙනා ත්‍රිපිටකය හෙළටුවා මාතලේ ආලෝක විහාරයේදී ග්‍රන්ථාරූඪ කළහ. ඒ වූ කලී බුදු දහම මතු පරපුරට ගෙන යාම සඳහා කරන ලද උත්තරීතර සේවාවයි. මෙයින් පසුව බු. ව. 953 – 975 කාලය අතරත බුද්ධඝෝෂ හිමියන් විසින් හෙළටුවා පාලි භාෂාවට නගා ඇත. මෙ සමහරු විනාශයක් ලෙස සලකතත් බුද්ධඝෝෂ හිමියන්ගේ උත්සාහය නිසා අදත් පිරිසිදු ථෙරවාදය පාලියෙන් ලංකාවේ තිබේ. ඕනෑම රටක වියතෙකුට ඕනෑම අවශ්‍ය භාෂාවකට එය පරිවර්තනය කර ගත හැකිය. පාලි භාෂාව වෙනස් වීම් වලට භාජනය නොවී අදත් පවත්නා බැවිනි.
ලාංකික භික්ෂූන් විසින් ග්‍රන්ථාරූඪ කරන ලද පොත්ද, බුද්ධඝෝෂ විසින් පාලියෙන් ලියන අටුවා පොත්ද සීමිත පිටපත් ගණනක් අපේ පැරණි පන්සල් වල පොත්ගුල් වල සුවඳ දුම් පූජා ලබමින් වැඩ සිටියහ. භාවිත කළේ සීමිත පිරිසකි. පරිහරණය කළේ කලාතුරකිනි. මේ තත්ත්වයෙන් ගලවා වැඩි දෙනෙකුට අට්ඨකථා භාවිතා කිරීමට හැකි වන පරිදි අතීතයේ වැඩ සිටි සංඝ නේතෲන් වහන්සේලා ලවා ශුද්ධ කරවා මුද්‍රණය කරවා අනාගත පරපුරට දායාද කළේ හේවාවිතාරන පවුල විසිනි. ඒ ව්‍යවහාර වර්ෂ එක්දහස් නවසිය තිස් ගණන්වලය. එම සේවාවෙන් බෞද්ධ අතිවිශාල උගත් පිරිසකට අටුවා කියවීමේ භාග්‍යය උදා විය. පාලි ත්‍රිපිටකය වරින් වර තැනින් තැන එකක් දෙකක් මුද්‍රිතව තිබුණද පුළුල් වශයෙන් ගිහි පැවිදි දෙජනතාව අතරම භාවිත වූයේ නැත. පිරිවෙන් වලද, විශ්ව විද්‍යාල වලද, ප්‍රාචීන විභාග සඳහාද භාවිතා වුයේ තෝරාගත් සූත්‍ර කීහිපයකි. එම සීමිත තත්ත්වය නැති කරමින් පුළුල් ජනතාවට සිංහලෙන් ත්‍රිපිටකය කියවන්නට මග සැලසුනෙ බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් කට්ටලය එළි දැකීමෙන් පසුවය. එය ත්‍රිපිටකය ඊ ළඟ පරපුරට අයත් කර දුන් මහා දායාදයකි. විශිෂ්ට ධර්ම කථිකයෙකු වීමටත්, පරිපූර්ණ බෞද්ධයයෙකු වීමටත් ත්‍රිපිටක පෙළ සහිතව අටුවාවද හදාළ යුතු වේ. වසර 1500 ක කාලය තුළ අපේ සිංහල බෞද්ධයන්ට පාලි අටුවා සිංහලෙන් කියවා තේරුම් ගැනීමේ වාසනාව උදා නොවිනි. වත්මන් පරපුරටද අනාගත පරපුරටද ඒ වාසනාව හා ශක්තිය ලබා දුන්නේ නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගිනි. 2008 වසරේදී ආරම්භ කළ අටුවා සිංහලට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය පොත් පනහකින් සමන්විතව මේ වන විට අවසන් කර ඇත.
අපේ මාතෘකාව අනුව දැන් අප එන්නේ ටීකා අවධියටයි. අනුරාධපුර රාජධානිය බිඳ වැටීමෙන් පසු ක්‍රි. ව. 1017 දී පොළොන්නරු රාජධානිය ආරම්භ විය. මෙම යුගයේ ප්‍රතාපවත් රජෙකු වූ මහා පරාක්‍රමබාහු රජු විසින් (ක්‍රි. ව. 1153) මහා සංඝ සංශෝධනයක් කරවා තුන් නිකාය එක්සත් කර දිඹුලාගල කාශ්‍යප ස්ථවිරයන් සංඝ නේතෲ තත්ත්වයට පත් කර පාලි අටුවා වලට ටීකා ලියන ලෙස භික්ෂූන්ට නියම කළහ. ඒ අනුව පොළොන්නරු යුගයේදී ටීකා ලියවිණ. එදා සිට අද දක්වා මෙම ටීකා ග්‍රන්ථ මුද්‍රණය වූයේ වත් භාවිත වූයේ වත් නැත. ත්‍රිපිටකයට අයත් අංග 4 සම්පූර්ණ කිරීම අනාගත පරපුර වෙත බුදු දහම වව්‍යාප්ත වීමේදී උපස්තම්භක වන හෙයින් පරපුරෙන් පරපුරට මෙම දායාදය හිමි කර දීම සඳහා මෙතෙක් කල් සොයා ගත නොහැකිව තිබූ ටීකා තිහක් පමණ දැනට සොයා ගෙන පරිවර්තනය කරමින් පවතී. එයද බුදුදහම පරපුරෙන් පරපුරට ගෙන යාමේ අරමුණ සාර්ථක කිරීම සඳහා සකල බෞද්ධ ජනතාව වෙතම බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ගත් හිතකාමී පියවරකි.
සතරවන අංගය වන ටිප්පණී යන්නෙන් පොත් නැත. ටිප්පණී යනු අමාරු වචන වඩාත් පැහැදිලි කොට ඒවා යෙදී ඇති තැන් දැක්වීමය. අනාගත ලෝක බෞද්ධ පරපුර වෙත බුදු දහම ගෙන යාමේ අනෙක් ව්‍යාපෘතිය පාලි අටුටා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමය. එංගලන්තයේ පාලි බෞද්ධ සංගමයද අරඹා අත්හල ව්‍යාපෘතියක් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් අද ආරම්භ කර ඇත. මේ හැම ව්‍යාපෘතියකින්ම පරපුරෙන් පරපුරට බුදු දහම ගෙන යාමට ගන්නා උත්සාහයේදී අඩු පාඩු පැත්තක්ද ඇත. අනාගත බෞද්ධ ලෝකයේ ඇැති වන බෞද්ධ දහම් පිපාසය සංසිදුවීමට ආයතන ලංකාවේ නැති වීම ඒ අඩුවයි. 2600 සම්බුද්ධ ජයන්ති මන්දිරයේ ඉදිකිරීම් කටයුතු අරඹා ඇත්තේ ඒ අඩුව සපුරාලීමටය. මහල් 12 කින් යුත් මෙම ගොඩනැගිල්ලේ විදේශීය බෞද්ධයන්ට පැමිණ ත්‍රිපිටක ධර්මය පර්යේෂණය කිරීමට අලුත් දේ ලිවීමට පූර්ණ පහසුකම් ඇත. බෞද්ධ සම්මන්ත්‍රණ පැවැත්වීම සඳහා ඉඩ කඩ වෙන් වේ.
බුදු දහමේ වටිනාකමේ අගය වැඩි වන්නේ එය ව්‍යාප්ත ව විවෘත වූ පමණටය. ඒ අනුව ලංකාවෙන් ලෝකයට බුදු දහම විවෘත කර දීම මෙම ව්‍යායාමයේ අරමුණයි. පර්යේෂකයන්ට අවශ්‍ය සියලු පහසුකම් මෙහි ලබාදෙනු ඇත. කතෝලිකයන් බුදු දහම ආක්‍රමණය කරන්නේ යැයි බැණ වැදීම නොව බුදු දහම ව්‍යාප්ත කිරීම හා ලෝකයට උගැන්වීම අපේ වැඩ පිළිවෙළ විය යුතුය. අඳුරට ගොරවමින් සිටිනවාට වඩා එක පහනක් දැල්වීම වටනේය.
නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ
අටුවා අංශයේ සම්බන්ධීකාරක
විජිතනන්ද සරත්චන්ද්‍ර මහතා දිණමිණට ලියූ ලිපියකි.
අටුවා අංශයේ සම්බන්ධීකාරක
විජිතනන්ද සරත්චන්ද්‍ර මහතා දිණමිණට ලියූ ලිපියකි.