Tuesday, August 17, 2010

ශ්‍රී දළදා වහන්සේ වැඩම කරවීම

ධාතු පූජාව
 
බෞද්ධ සමාජයෙහි බුදුරජාණන් වහන්සේ අරමුණු කොට ගෙන ශාරීරික, පාරිභෝගික, උද්දේශික යන ත්‍රිවිධ චෛත්‍යයන් (ධාතූන්) වන්දනා කිරීමේ සිරිත දීර්ඝ ඉතිහාසයක් හරහා දිවෙන්නකි. දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වන වාර්තාවකට අනුව බුද්ධ පරිනිරිවාණයෙන් පසුව රාජ රාජ මහා මාත්‍යවරු උන්වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කොට චෛත්‍යයන් ගොඩ නැඟූහ. එම සූත්‍රයේම සඳහන් වන අන්දමට බුදුරදුන්ගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසුව උන්වහන්සෙගේ ශාරීරික ධාතූන් බෙදා ගැනීම පිළිබඳව රජවරුන් අතර අර්බූදයක් ඇති විය. එම අවුල සංසිඳී ඇත්තේ ද්‍රෝණ නම් බමුණාගේ මැදිහත් වීමෙනි. රජවරුන්ගේ ඉල්ලීම පරිදි ද්‍රෝණ බමුණා බුදුරජාණන් වහන්සේගේ භෂ්මාවශේෂ රජවරුන් අතරේ සමසේ බෙදා දුන්නේය. අනතුරුව ඒ ඒ රජවරු තම තමන්ගේ රාජධානිවල එම ධාතූන් තැන්පත් කොට චෛත්‍යයන් ගොඩනැගූහ. මගධයෙහි අජාසත් රජතුමා, විසාලාවේ ලිච්ඡවින්, කපිලවස්තුවෙහි ශාක්‍යයන් ආදීන් බුදුරදුන්ගේ ධාතු තැන්පත් කොට ස්තූප දහසක් ගොඩනැගූ බව පරිනිර්වාණ සූත්‍රයෙන් විස්තර වෙයි.

පරිනිර්වාණ සූත්‍රයේ අවසානයෙහි එන ගාථාවේ සඳහන් වන පරිදි භෂ්මාවශේෂ වලින් නැලි හතක් දඹදිව වැසියන්ගේ පූජාවට පාත්‍රවී  ඇත. රාමගාමයෙහි වූ අනෙක් නැලිය නාරජුන්ගේ පූජාවට පාත්‍ර විය. එක් දළඳාවක් තාවතිංසයෙහිද, තව එකක් ගන්ධාර පුරයෙහිද, තව එකක් කාලිංග රජුගේ විජිතයෙහිද, අනෙක නාලොව වෙයි. දන්ත ධාතූන් වහන්සේලා සතළිහද, කේශධාතූන් වහන්සේලා හා ලෝම ධාතුද, එක එක බැගින් දෙවියෝ ගෙන ගියහ.

 ධාතු බෙදීයාම පිළිබඳවත්, ධාතූන් වහන්සේලා වන්දනා කිරීම හා ඉන් ලැබෙන අන්සස් ගැනත්, දීඝ නිකායේ මහා පරිනිර්වාණ සූත්‍රය හැරුණු විට, මුල් නිකාය හතරෙහිම සඳහන් නොවේ. එම සූත්‍රයේ කාලනිර්ණය ගැන සලකන විට එම ධාතු පූජාව බුදුරදුන් විසින් අනුදත් පූජාවක් ලෙස සැලකිය නොහැකි බවත්, එය කලකට පසුව බෞද්ධයන් අතර ආමිස පූජාව ව්‍යාප්ත වී යාමේ ප්‍රතිඵලයක් වශයෙන් තහවුරු වූවක් විය හැකි බවත් ඇතැම් පඬිවරු විශ්වාස කරති. එසේ වුවත්, ධාතු පූජාව පිළිබඳවත් එහි අනුසස් ගැනත්, බෞද්ධ සාහිත්‍යයෙහි දක්නට ලැබේ. ඛුද්ධක නිකායට අයත් අපදාන පාළියෙහි මේ පිළබඳව බහුලව විස්තර වේ. එමෙන්ම සුමංගල විලාසිනිය, පපංච සුදනිය, මනෝරථ පූරණිය වැනි අටුවාවන්හි විස්තර ඇතුළත් වේ. තවද විමානවත්ථු ප්‍රකරණය, මිලින්ද ප්‍රශ්නය, බුද්ධ වංසය වැනි ග්‍රන්ථවලද ධාතු පූජාව ගැන විස්තර වේ.

සුමංගල විලාසිනියේ සඳහන් වන අන්දමට, ද්‍රෝණ බමුණා රැස්වූවන්ගේ ප්‍රමාදයක් බලා දකුණු දළඳාවක් හිස් වැස්ම අතර සඟවා ගනියි. ඒ දුටු ශක්‍රයා, එය සොරකම් කොට, දෙව්ලොවට ගෙන ගොස් සිළුමිණි සෑයෙහි නිදන් කරයි. එම අටුවාවෙහිම එන විස්තර අතර අජාසත් රජතුමා තමන්ට ලැබුණු ධාතූන් වහන්සේලා රජගහ නුවරට ගෙන යමින් කරන ලද පූජෝපහාර පිළිබඳ තොරතුරු, ද වැදගත් වේ. ඒ හැර ධාතු කොටස් ලැබුණු අනෙක් රජවරුද තම තමන්ගේ බල පමණින් ධාතුන් වහන්සේලා තම රාජධානිවලට වැඩමවා ගෙනවුත්, ස්තූප බැඳ පූජා කළ අන්දම එහි විස්තර වේ. පුරා විද්‍යාත්මක කැණීම් වලින්ද එසේ ගොඩ නඟන ලදැයි සැලකෙන ශාක්‍යයන්ගේ ස්තූපයක් මතුකර ගෙන ඇත. “භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මේ ශරීර නිධානය මනාභක්ති ඇති සහෝදරියන් හා පුත්‍ර දාරාවන් සහිත ශාක්‍යයන්ගේට” යන අදහස ඇති ශිලා ලේඛනයක්ද, එම ස්ථූප අසලින් සොයාගෙන ඇත. ඒ අනුව බුද්ධ පරිනිර්වාණයෙන් පසු ධාතු නිදන් කොට ස්ථූප ගොඩනැංවීය. යන පුරාවෘත්තයේ සත්‍යයක් මතුවී පෙනේ.

ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර විසූ බුදුවරුන්ගේ ධාතූන් වහන්සේලා ගැනත් එම ධාතු පූජාවේ යෙදී සිටියවුන් ගැනත් තොරතුරු අපදාන පාළියේ සඳහන් වෙයි. ධාතු පූජාවේ අනුසස් පෙන්වන එක් තැනක මෙසේ සඳහන් වෙයි. “...... යමෙක් ජීවමාන වූ ලෝකනායක බුදුරදුන් පුදන්නේ නම්, එසේම පිරිනිවී බුදුරදුන්ගේ අබැටක් පමණ වූ ධාතූන් වහන්සේ නමකුදු පුදන්නේ නම් චිත්තප්පසාදය සම වූ කල්හි පින ද සමානය. මහත් බවට ගියේද වේ. එහෙයින් සෑයක් කොට සර්වඥ ධාතූන් පුදනු මැනවි. .......” විමාන වත්ථුවෙහි සඳහන් පරිදි බුදුරදුන් පිදීමත් පිරිනිවනෙන් පසු ධාතුන් වහන්සේලා පිදීමත් සමඵල ඇති පුණ්‍ය ක්‍රියාවකි. චෛත්‍යයක් වැඳීමට බෝධියක් වැඳීමට ගිය විට එයින් මෛත්‍රී සහගත කාය කර්මයක් සිදුවන අතර චෛත්‍යයක් හා බෝධියක් වැඳීමට යමුයයි කී කල්හි මෛත්‍රී සහගත   වචී කර්මයක් සිදුවේ. චෛත්‍යයක් වැඳීම ඊටත් වඩා ලොකු පින්කමකි. චෛත්‍යයක් වන්දනා කිරීමට පහන් සිතින් ගිය කෙනෙකු අතර මගදී මළහොත් ඔහු එකෙණෙහිම දෙව්ලොව ඉපදෙන්නේ යයිද සුමංගල විලාසිනියේ සඳහන් වේ. අනෙක් අතට චෛත්‍යයක් කැඩීම දෙමාපියන් මැරීම ආදී ආනන්තරීය කර්මයක් මෙන්ම බැරෑරුම් පාපයක් ලෙස මනෝරත පූරණියෙහි සඳහන් වේ. බුදුරජාණන් වහන්සේගේ දළදාව ලක්දිවට වැඩම වූයේ ක්‍රි. ව. 360 සිරිමේඝවර්ණ රාජ්‍ය සමයේදීය. මේ වන විට බුදු සමය මේ දිවයිනෙහි පිහිටුවා සියවස් හයක් පමණ ගතවී තිබුණි. එහෙත් මීට බොහෝ කලකට පෙරසිටම ලක් වැසියන් ධාතු පූජා කිරීමේ සිරිත අනුගමනය කොට ඇත.

දළදාව වැඩම වීමට පෙර ලක්දිව ධාතු පූජාව

එහි ඉතිහාසය මහින්දාගමනයටත් පෙර බුද්ධ කාලය දක්වා ඈතට දිවෙන්නෙකි. සිදුහත් බෝසතුන් බුද්ධත්වයට පත්ව සත් සති ගත කරන සමයේ දඹදිව උක්ඛලා ජනපදයේ උපන් තපස්සු, භල්ලුක වෙළඳ දෙබෑයන්ට බුදුරදුන් විසින් ප්‍රදානය කරන ලද කේශ ධාතූන් වහන්සේලා ලංකාවේ ගිරිහඬු සෑයෙහි තැන්පත් කරන ලද බවත් වංසකතාවේ සඳහන් වේ. ඒ පුවත නිර්වද්‍ය නම් ක්‍රි.පූ. 6වන සියවස තරම් ඈත අවධියක සිට ලක්වැසියන් අතර ධාතු වන්දනාව ජනප්‍රියව පැවති බව සිතිය හැකිය. එමෙන්ම බුද්ධත්වයෙන් නවවන මස මහියංගණයට වැඩම වූ අවස්ථාවේ මහා සුමන දේවතාවාගේ ඉල්ලීම පරිදි බුදුරදුන් හිස පිරිමැද කෙස් මිටක් දුන් බවත්, එම කේශ ධාතූන් නිදන් කොට සත්රියන උස මහියංගණ දාගැබ ගොඩනැංවූ බවත් මහා වංසයේ සඳහන් වේ. බුද්ධ පරිනිර්වාණයෙන් පසු සරභූ තෙරණුවන් විසින් ගෙනෙන ලද ග්‍රීවා ධාතුන් වහන්සේ ද එම දාගැබයෙහි නිදන් කළ බවත් වංසකතාව තව දුරටත් සඳහන් කරයි.

බුදුරදුන්ගේ ධාතු චෛත්‍යයන් වන්දනා කිරීම බොහෝ සෙයින් ජනප්‍රියව පැවතියේ ධර්මාශෝක යුගයේදීය. අජාසත් රජතුමා විසින් ගොඩනංවා තිබුණු ධාතු චෛත්‍යකින් ධාතූන් වහන්සේලා ලබා ගත් අශෝක රජතුමා එම ධාතු තැන්පත් කොට මුළු දඹදිව පුරාම අසූහාර දහසක් දාගැබ් බැන්ද වූ බව සුමංගල විලාසිනියෙහි සඳහන් වේ. මුළුමනින්ම සලකා බලන විට මේ පුවතේ ඓත්හාසික තත්ත්වය කුමක් වුවද අශෝක යුගය වන විට දඹදිව ධාතු වන්දනාව ජනප්‍රියව පැවති බව සිතීමට ඉඩ තිබේ. එසේ නම් අශෝක රජතුමාගේ ධර්ම විජය ව්‍යාපාරය යටතේ මෙරටට වැඩම වූ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූතයන් වහන්සේලා විසින් ධාතු වන්දනාව ගැන ලක්වැසියන් තුළ හැඟීම් ඇති කරන්නට ඇතැයි සිතිය හැකිය. “ධාතූන් වහන්සේ නමක් දැකීම තථාගතයන් වහන්සේ දැකීමක් ලෙස මිහිඳු මාහිමියන් පවසා ඇත. උන්වහන්සේ මෙරටට වැඩමවා නොබෝ දිනකින්ම බුදුරදුන්ගේ ශාරීරික ධාතු තැන්පත් කොට ස්තූපයක් කරවීමේ අදහස දෙවනපෑතිස් රජතුමාට දන්වා ඇත. ඒ අනුව දෙවන පෑතිස් රජතුමා විසින් බුදුරජාණන් වහන්සේගේ අකු ධාතුව ඇතුළුව ධාතූන් වහන්සේලා මෙරටට වැඩමවා අනුරාධපුරයෙහි ථූපාරාම දාගැබ ඉදිකොට එහි තැන්පත් කරවන ලද බව මහාවංසය සඳහන් කරයි.

ධාතූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ලෙස සලකා පූජා පැවැත්වීම දෙවන පෑතිස් සමයේ පටන්ම මෙරට වැසියන් අතර තහවුරුව පැවති බව වංසකතා අනුව සිතිය හැකිය. දුටුගැමුණු රාජ්‍ය සමය වනවාට මේ පිළිවෙත කෙතරම් දුරට ජනප්‍රියව පැවතියේද යත් රජුගේ කුන්තායුධයේ පවා ධාතූන් වහන්සේලා තැන්පත් වූහ. දුටුගැමුණු රජතුමා විසින් ගොඩනංවන ලද මහා ථූපයේ තැන්පත් කිරීමට සොණුත්තර තෙරණුවන් විසින් නාගලෝකයෙන් ධාතූන් වහන්සේලා ගෙන එන ලද බවත්, එම ධාතූන් වහන්සේට ලංකා රාජ්‍ය සත්දිනක් පූජා කළ බවත් මහාවංසය සඳහන් කරයි. මහසෙන් රජු දවස බුදුරදුන්ගේ පඨී ධාතුව ගෙනවුත් ස්ථූපයක තැන්පත් කරන ලද බව පූජාවලිය සඳහන් කරයි. ක්‍රි. ව. 4 වන සියවසේදී ලංකාවට දළදා වහන්සේ වැඩමවන විට ධාතු පූජාව පිළිබඳ කෙබඳු භක්තිමත් පසුබිමක් තිබුණිදැයි මේ අනුව අපට සිතාගත හැකිය. දළදා වහන්සේගේ ඉතිහාසයත් ලංකාවේදී ඒ සඳහා කෙරෙන පුදපූජා හා වත් පිළිවෙත් ගැනත් විමසා බලන විට දන්ත ධාතූන් වහන්සේ කෙරෙහි පවත්නා අති මහත් ගෞරවය තේරුම් ගත හැකිය.

දළදා පුවත

දළදා වහන්සේ පිළිබඳ තොරතුරු හැදෑරීමට ඉවහල් වන මූලාශ්‍ර කිහිපයක් අප සතුව ඇත. විශේෂයෙන්ම මහාවංසය, දාඨාවංසය, ධාතුවංසය, දළදා සිරිත, දළදා පූජාවලිය, පූජාවලිය, රාජාවලිය ආදී සාහිත්‍යමය මූලාශ්‍රද වැදගත් වේ. ඒ හැරුන විට ශිලා ලේඛන හා වෙනත් පුරා විද්‍යාත්මක නටබුන්ද සාහිත්‍යමය මූලාශ්‍රවල එන තොරතුරු සනාථ කරන අතර දළදා වහන්සේ පිළිබඳ ඇතැම් ප්‍රවෘත්තිවල ඓතිහාසිකත්වයද, තහවුරු කරන බව කිව හැකිය.

දළදා වහන්සේ ලක්දිව වැඩම වීම පිළිබඳ පුරා වෘත්තය සම්පූර්ණයෙන්ම වාගේ සංග්‍රහ වී ඇති පැරණිම ග්‍රන්ථය දාඨාවංසයයි. ලීලාවතී රැජිනගේ රාජ්‍ය සමයේ විසූ පරාක්‍රම නම් ඇමතියකුගේ ආරාධනාවෙන් දාඨාවංසය කළ බව එම ග්‍රන්ථයේම සඳහන් වේ. මෙහි කතුවරයන් වහන්සේ නම් ටීකාචාර්ය, ශාරිපුත්‍ර මාහිමියන්ගේ ශිෂ්‍ය වූ ධර්ම කීර්ති නම් තෙර කෙනෙකි. එම දාඨාවංසයෙහි සදහන් විස්තරයට අන්ව බුදුරදුන්ගේ ශ්‍රී දේහය ආදාහනය කළ චිතකයෙන් ඛෙම නම් රහතන් වහන්සේ විසින් ගන්නා ලද වම් දළදා වහන්සේ කළිඟුරට දන්තපුරයෙහි බඹදත් නම් රජුහට භාර කරන ලදි. මේ පුවත සුළු වෙනස්කම් සහිතව තායි ජනප්‍රවාදයන්හිද දක්නට ලැබෙයි. බඹදත් රජුගේ පරපුරට අයත් රජවරුන් විසින් ගරු බුහුමන් සහිතව එය ආරක්ෂා කර ගන්නා ලදී. පසු කලෙක පාටලී පුත්‍රයෙහි පණ්ඩු නම් රජ කෙනෙක් රාජ්‍ය විචාළේය. එදවස දළදා වහන්සේ සතුව පැවතියේ ගුහසීව නම් රජෙකුටය. ඒ අවධියෙහි ලාභසත්කාරයෙන් පිරිහුණු මිත්‍යාදෘෂ්ටිකයන්ගේ කේලාම් බස් අසා කුපිත වූ පාටලී පුත්‍රයේ පාණ්ඩු රජතුමා තමාගේ සාමන්ත රජෙකු වූ ගුහසීව රජු දළදා වහන්සේ සමග පාටලී පුත්‍රයට අල්වාගෙන එන ලෙස රාජභටයන්ට නියම කළේය. එහෙත් තොරතුරු විමසා බැලීමෙන් පසුව පාණ්ඩු රජතුමා දළදා වහන්සේ කෙරෙහි පැහැදී පුද සත්කාර පවත්වා නැවත කාලිංගයට පිටත් කළේය. එහිදී ඛීරධාර නම් රජුගේ බෑණා වූ කුමරුවෙක් දළදා වහන්සේ ලබා ගැනීම පිණිස ගුහසීව රජු සමග යුද්ධයට පැමිණියේය. එම සටනින් තමා පරාජයට පත් වුවහොත් බමුණු‍ෙවස් ගෙන දළදා වහන්සේ රැගෙන සීහළ දීපයට යන ලෙස ගුහසීව රජ තම බෑණනු දන්ත කුමරුට හා හේමමාලා යන දෙදෙනාට නියමකොට තිබුණි. ඒ අනුව ගුහසීව රජුගේ පරාජය දුටු දන්ත කුමරු හා හේමමාලා යන දෙදෙනා දළදා වහන්සේත් රැගෙන සිරිමේඝවණ්ණ රජුගේ නවවැනි රාජ්‍ය වර්ෂයේදී ලංකාවට පැමිණියහ.

දාඨාවංසයෙහ් සඳහන් විස්තරය යම් ප්‍රමාණයකට අතිශයෝක්තියෙන් ගහනව ඇතැයි සිතිය හැකිය. එහෙත් මෙම දාඨාවංස පුවතේ ඓතිහාසිකහරය නම් කිත්සිරිමෙවන් රජු දවස දළදා වහන්සේ ලංකාවට වැඩම වූ බවයි. විශේෂයෙන්ම මෙම යුගයෙහි හා මීට මීට සමීප යුගයන්හිදී ලංකාව හා කාලිංගය අතර පැවති සබඳතා දළදාව ලංකාවට වැඩමවීම කෙරෙහි තුඩුදෙන්නට ඇතැයි සිතීමට සාධක තිබේ. සෙනරත් පරණවිතාන මහතා පෙන්වා දෙන අන්දමට මහසෙන් රජු දවස ලංකාවේ පැතිර ගිය  වෛතුල්‍යවාදය එවක මහායානය දියුණු වෙමින් පැවති ආන්ධ්‍ර ප්‍රදේශයෙන් මෙරටට පැතිරෙන්නට ඇත. නාගර්ජුනී කොණ්ඩ, අමරාවතී වැනි බෞද්ධ මධ්‍යස්ථාන වල දක්නට ලැබෙන කලා සම්ප්‍රදායන්ගේ ආභාසය ලංකාවේ කැටයම් හා මූර්ති කලාවන්හි දක්නට ලැබෙන බවත් එතුමා වැඩිදුරටත් පෙන්වා දෙයි. පැරණි කාලිංගය වර්තමාන ඔරිස්සා ප්‍රදේශයට පමණක් සීමා නොවූ අතර අන්ධ්‍ර ප්‍රදේශය ඇතුළු විශාල ප්‍රදේශයක පැතිර පැවති බව හේමචන්ද්‍ර රායිගේ පිළිගැනීමයි. කෙසේ නමුත් පරණවිතාන මහතා පෙන්වා දෙන අන්දමට කාලිංගයට අයත් ආන්ධ්‍ර ප්‍රදේශය හා ලංකාව අතර කලක සිට දාර්ශනික වශයෙන් හා කලාත්මක වශයෙන් සබඳතා පැවති බව පිළිගත හැකිය. සිරිමේඝවණ්ණ රජු තමාගේ සමකාලීනයෙකු වූ ඉන්දියාවේ සමුද්‍ර ගුප්ත රජතුමා වෙත යැවූ දූත පිරිසත් පිළිබඳව සිල්වත්ලෙව් රාජකීය ආසියාතික සඟරාවේ සඳහන් කරයි. (xxiv) සමූද්‍ර ගුප්ත රාජ්‍ය සමයට අයත් තොරතුරු රැසක් ඇතුළත් අලාහබාද් සෙල්ලිපියේද එම රාජ්‍යයට පක්ෂපාත කම් දැක්වූවන් අතර සිංහලයින්ද සිටි බව සඳහන් වෙයි. දළදා වහන්සේ කුමන කරුණක් නිසා මෙරටට වැඩමවන ලද්දේදැයි මහාවංසයේ සඳහන් නොවෙයි. දළදා වහන්සේ අරභයා හටගත් යුද්ධයෙන් පරාජය වුවහොත් දළදාව රැගෙන ලංකාවට යන ලෙස කළ නියමයෙන් එය සිදුවූ බව දාඨාවංසයේ මෙන්ම, දළදා සිරිත, දළදා පූජාවලිය වැනි ග්‍රන්ථවල සඳහන් වෙයි. මේ අනුව පැහැදිලි වන්නේ දාඨාවංසය වැනි ග්‍රන්ථයන්හි සඳහන් හේතු පමණක් නොව, පුරාතන අවධියක පටන් කාලිංග ලංකා සබඳතා හේතුකොට කාලිංගයෙන් ලංකාවට දළදා වහන්සේ වඩමවන ලද බවයි.

මහාවංසයෙහිද දන්තධාතූන් වහන්සේ මෙරටට වැඩමවීම ගැන සඳහන් වෙයි. එම විස්තර දාඨාවංස පුවත තරම් දීර්ඝ නොවෙයි. ඒ හැරත් මහාවංසයේ සඳහන් වන්නේ සිරිමේඝවණ්ණ රජුගේ රාජ්‍යෝදයෙන් නව වන වර්ෂයෙහි කිසියම් බැමිණියක විසින් (කාචී බ්‍රාහ්මණී) බුදුරදුන්ගේ දන්ත ධාතුව කලිඟුරටින් මෙහි වැඩම වන ලද බවයි. එසේ වුවත් මහාවංස, දාඨාවංස පුවත් දෙකින්ම ප්‍රකාශ වන්නේ එකම සිද්ධිය බවට සැකයක් නොමැත. දාඨාවංස පුවතින් සඳහන් වන්නේ බමුණු වෙස් ගෙන දළදාව රැගෙන සීහල දීපයට එන ලෙස ගුහසීව රජු නියම කළ බවයි. මහාවංසයෙහි සඳහන්ව ඇත්තේ බැමිණියක විසින් දළදා වහන්සේ රැගෙන ආ බවයි.

දළදාව රැගෙන ඒම

ගමන් මග

දළදා වහන්සේ කාලිංගයේ සිට ලංකාවට වැඩමවා ගෙන යාමට ඉටාගත් දන්ත කුමරු හා හේමමාලා යුවළ බමුණු වෙස්ගෙන නුවරින් පිටව ගියහ. නුවරින් දකුණ් දෙසට ගමන් කළ ඔවූහු මහා නදියෙන් එතෙරව දළදා වහනසේ වැලිගොඩක සඟවා වන ලැහැබක විසූහ. මෙහි දී කිසියම් තෙර කෙනෙකුන් විසින් “තෙපි ශරීර විඩා නොතකා දළදා වහන්සේ සීහළ දීපයට ගෙන යව්” යනුවෙන් අනුශාසනා කරන ලදුව, දුර්ග මාර්ගය ගෙවා තාමලිත්ති පට්ටනයට ළඟාවූහ. එතැනින් ලක්දිව බලා යන වෙළෙඳ නැවක් දැක දළදා වහන්සේ කේශ කලාපයෙහි සඟවා ගත් හේමමාලා කුමරියද , දන්ත කුමරුද එම නැවෙන් පිටත් වූහ. මුහුදු ගමනකදී එකල මුහුණ පෑ යුතු ඇතැම් දුෂ්කරතා වලටද මුහුණ දුන් ඔවූහු ලංකා පට්ටනයට ගොඩ බටහ. මහසෙන් රජුගේ පුත් සිරිමේඝවණ්ණ රජුගේ නවවන අවුරුද්දෙහි ලංකා පට්ටනයෙන් ගොඩ බට දළදා භාරක රාජකීය යුවළ එහි දේවාලයක ලැගුම් ගත්හ. කිසියම් බමුණෙකුගෙන් මේ අමුත්තන් දෙපලට ආගන්තුක සත්කාර ද ලැබුණ අතර ඔහු අන්රාධපුරයට යන මගද පෙන්වීය. නුවර දොරටුවට පැමිණ මහසෙන් රජුගේ මරණය අසා මහත්සේ දුක්වූ නමුත් මහසෙන් රජුගේ ඥාතිත්වය අසා සැනසුණහ. ඉක්බිති අනුරාධපුර මේඝගිරි විහාරයෙහි කිසියම් භික්ෂූන් වහන්සේ කෙනෙකුන් රජු හා ඉතා කුලුපග බව අසා එහි ගොස් දළදා පුවත සැළ කළහ. උන්වහන්සේ ඉතාමත් සාදරයෙන් ඔවුන් පිළිගෙන දළදා වහන්සේ ස්වකීය ගෘහයෙහිම තැන්පත් කොට ගොස් රජුට එපවත් දැන්වූහ.

මෙහි සඳහන් වන තාමලිප්තිය පැරණි ඉන්දියාවේ නැව් තොටකි. එය බටහිර බෙංගාලයේ මිඩ්නාපුර දිස්ත්‍රික්කයේ නම්ලුක් පෙදෙස බව සිංහ සහ බෙනජි යන ඉන්දියානු ඉතිහාසඥයෝ පෙන්වා දෙති. අශෝක රජු දවස ශ්‍රී මහා බෝධිය වැඩම වූ දූත පිරිස මුහුදු යාත්‍රාව ආරම්භ කරන ලද්දේද මෙම තාමලිප්ති තොටුපලෙනි. දළදාව රැගත් රාජකීය යුවළ ලංකාවට ගොඩබටුයේ සිංහලදීපයේ ලංකා පට්ටන නම් ස්ථානයෙනි. මේ ස්ථානය පැරණි ලංකාවේ වරායක් වූවාමෙන්ම බෞද්ධ ගොඩනැගිලි ආදියෙන් සමන්විත ස්ථානයක් හැටියට ද ලංකා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හඳුනාගෙන ඇත. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කොඩ්ඩියාර් පත්තුවට අයත් මෙම ස්ථානය දැන් හැඳින්වෙන්නේ ඉලංකෙයි තුරෙයි යනුවෙනි. එහි ඇති පැරණි බෞද්ධ ගොඩනැගිලි දැනට හින්දු කෝවිල් බවට පත්වී ඇත.