Tuesday, August 17, 2010

පිරිතේ ආරම්භය හා විකාශනය

වර්තමාන පිරිත් ක්‍රමයේ ආදිතම අවස්ථා පිළිබඳ විමර්ශනය කරන විට එහි මූලාරම්භය ප්‍රාග් බෞද්ධ යුගය දක්වා සම්බන්ධ වන බව පෙනේ. “පරිත්ත “ යන වචනය ප්‍රාග් බෞද්ධ යුගයේ භාවිතා වූ ක්‍රම අතර දක්නට ලැබේ. විශේෂයෙන් ම ජාතක කථා ආශි‍්‍රතව ආරක්ෂාව සඳහා නොයෙක් මන්ත්‍ර ආදිය භාවිත වූ බවක් හා බහුලව ම ඒවා පිරිත් අර්ථයෙන් ක්‍රියාත්මක වන්නට ඇතැයි ද අනුමාන කළ හැකිය. සාමාන්‍යයෙන් පිරිත සඳහා උපයෝගි කර ගනු ලබන පිරිත් නූල්වැනි දේ ජාතක කථාවල දී ආරක්ෂාව සඳහා යොදා ගෙන ඇති බවක් පෙනී යයි.
එමෙන්ම සමහර පිරිත් සූත්‍ර වලට අයත් වන කොටස් වල ප්‍රාග් බෞද්ධ යම් යම් ඇදහිලි වල ඡායාවන් දැකගත හැකිවේ. එසේ වුවත් එහි එක එල්ලේම ඉදිරිපත් කළ නොහැකි අදහසකි. කෙසේ වෙතත් මෝර ජාතකය ආශ්‍රයෙන් පිරිත් පොතට ඇතුළත් වී ඇති මෝර පිරිතෙහි මුල් කොටසේ අන්තර්ගත වන්නේ සුර්ය වන්දනාවයි. මේ පිළිබඳව අටුවා මතය වන්නේ එය බ්‍රහ්ම වන්දනාව බවයි. එම පිරිතේ දෙවන කොටසට බුද්ධ වන්දනාව ඇතුළත් වන අතර, අටුවාව එය විග්‍රහ කරන්නේ “පරිත්ත” යනුවෙනි. ඒ අනුව එම වන්දනා ක්‍රමය තුළින් ආරක්ෂාව ලබා ගැනීම සඳහා උපයෝගී කර ගත් විධික්‍රමයක් දක්නට ලැබෙන බව උපකල්පනය කළ හැකිය.
පූජා චාරිත්‍රවලින් යුත් පරිත්‍රාණ දේශනාවක් මුල් වරට දක්නට ලැබෙන්නේ විශාලා මහ නුවර තුන් බිය දුරු කිරීම සඳහා බුදුන් වහන්සේ රතන සූත්‍රය දේශනා කළ අවස්ථාවේ දී ය. ඒ දේශනා අවස්ථාවල දී බලිකර්ම සඳහා යොදා ගන්නා උපචාර විධි යොදා ගැනීමට උපදෙස් දී තිබේ. එයින් බලි කර්මයකට සමාන සේ මෙය ආරම්භ කර තිබූ බව පෙනේ. ඒ නිසා එහි දී පිරිත් දේශනාව අංග සම්පූර්ණ පූජා චාරිත්‍ර විධියක් බවට පත්ව ඇති බව හා බුදුන් වහන්සේ ලවාම එය අනුමත කරවාගෙන ඇති බවත් නිගමනය කළ හැකිය.

ලක්දිව පිරිතේ ආරම්භය හා විකාශනය

ලක්දිව පිරිත පිළිබඳව විජය පුරාවෘත්තයේ යම් සඳහනක් මුල් වරට දක්නට ලැබේ. බුදුන් වහන්සේ දුන් උපදෙස් මත ශක්‍රයා විසින් මෙහෙයවන ලද උපුල්වන් දෙවිඳු පැවිදි වෙස් ගෙන ලංකාවට විජය ඇතුළු පිරිස පිටත් වන්නට සූදානම් වූ අවස්ථාවේ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පිරිත් පැන් ඉස පිරිත් නූල් බැඳ එන්නට ඉඩ සැලසු බවට වංසකථා සාක්ෂි දරයි. මේ පුරාවෘත්තයෙන් කරුණු රාශියක් පිළිබඳව යම් වැටහීමක් ලබා ගත හැක. ඉන් වැදගත්ම කාරණාව නම් ලංකාවට පැමිණි ආර්යයන් බෞද්ධයන් බව දැක්වීම ය. අනිත් කරුණ නම් ලංකාවේ ආර්ය ජනාවාස පිහිටුවීමට පෙර සිටම ඉන්දියාවේ දී ම ආර්යයන් පිරිත් භාවිත කර ඇති බවයි. එසේම සිංහල වර්ගයාගේ ආරම්භයේ සිටම සෙත් පිරිත් භාවිතය දැන සිටි බවද සනාථ කර ගත හැකිවේ.
මුල් කාලීන අවස්ථා පිළිබඳ මහාවංසය ආශි‍්‍රතව කරුණු පරීක්ෂා කර බලන විට සුලබව පිරිත් දේශනා කිරීමක් ගැන සාක්ෂි සොයා ගැනීම අපහසුය. දුටුගැමුණු අවධිය වන විට ලාංකීය බෞද්ධ ජනතාව පරිත්‍රාණ පූජා යම් තරමකින් තම ජීවන රටාවේ සුබ සිද්ධිය සඳහා දායක කරගත් බවක් දක්නට ලැබේ. ඒ යුගයේ දී මේ සඳහා භාවිතා කර ඇත්තේ “ධම්ම සජ්ක්‍ධායනා “ යන පදයයි.රුවන්වැලි සෑයේ ධාතු නිධානෝත්සවය නිමිති කරගෙන දුටුගැමුණු රජතුමා මෙම ධම්ම සජ්ඣායනාවක් සිදු කර ඇත.
මෙයින් පෙනී යන්නේ පැරණි කල මෙය ජනපි‍්‍රය නොවු බවකි. එසේ නැතිනම් මෙම වචනය ජනපි‍්‍රය නොවී තිබුණු බවයි. කෙසේ වුව ද මේ පිළිබඳව නිශ්චිත නිගමනයක් දීම අසීරු වුව ද මහා විහාරික හෝ අභයගිරි, ජේතවන දෙනිකාය අතින් හෝ පිරිත ජනපි‍්‍රය වූවායයි අනුමාන කළ හැකිය. බුද්ධ ඝෝෂ හිමියන්ගේ අටුවා තුළින් හා බුද්ධදත්ත හිමිගේ කෘති වලින් ඒ සඳහා යම් සාධකයක් ලබා ගත හැකිය.
ලාංකික පිරිත පිළිබඳව ප්‍රබල සාධකයක් දක්නට ලැබෙන්නේ 1 වන උපතිස්ස (ක්‍රි.ව. 362 - 409 ) රජුගේ කාල වකවානුවේදීය. ඒ කාලයේ ඇති වූ දුර්භික්ෂ හා රෝග බියක් සංසිඳුවා ගැනීම සඳහා රතන සූත්‍රය දේශනා කර ඇත. උත්කර්ෂවත් ලෙස පැවැත් වූ එම උත්සවය විශාලා මහනුවර පිරිත් දේශනයට සමානව පවත්වා ඇත.
මාර්ගය දෙපස සරසා බුද්ධ ප්‍රතිමාවක් තනා ඒ පිළිමයේ දෙඅත් මත ගලින් කළ පාත්‍රයක් තබා භික්ෂූන් පිරිවර කොට වීථී සංචාරය කරමින් මුළු නගරය පුරාම පිරිත් පැන් ඉස ඇත. එයින් මොහොතකට පසුව වර්ෂාව ලැබුණු බව මහාවංසය සඳහන් කරයි. මහාවංසයේ ගංගා රෝහණ වර්ණනාව ලෙස දැක්වෙන්නේ මෙම රතන සූත්‍ර දේශනාව බව වල්පොළ රාහුල හිමියන්ගේ අදහසයි. එසේම පිරිත් කීමෙන් ආරක්ෂාව සිදුවෙතැයි යන විශ්වාසය ඇතැම් විට උපතිස්ස රජුගේ දවසටත් වඩා පැරණි වන්නට හැකි බව ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතා ප්‍රකාශ කරයි. නමුත් උපචාර සහිත පිරිත් දේශනයක් ගැන ඓතිහාසික පුරාවෘත්තයේ සඳහන් වන්නේ 1 වැනි උපතිස්ස යුගයේ නිසා එය වැදගත් සාක්ෂියක් සේ සනිටුහන් කළ හැකිය. පසු කාලීන තිස් පැයේ පිරිත් වලට මෙහි ආභාෂය බොහෝ සෙයින්ම ලැබෙන්නට ඇතැයි නිශ්චය කළ හැකිය.
අනතුරුව පිරිත් උත්සවයක් ගැන සඳහන් වන්නේ iv වැනි අග්බෝ (ක්‍රි.ව. 638 - 674) රජුගේ කාලයේ දීය. නමුත් නිශ්චිත හේතුවක් හෝ විස්තරයක් ඒ පිළිබඳව සඳහන් නොවේ.
1 වැනි උපතිස්ස සමයට සමාන අයුරින් ii වැනි සේන (ක්‍රි.ව. 851 - 885) රාජ්‍ය කාලයේ පිරිත් උත්සවයක් පවත්වා ඇති බව මහාවංසයේ දැක්වෙයි. මෙම උත්සවය ද දුර්භික්ෂ සමය නැති කර රටට සෞභාග්‍යය උදාකර ලීම පිණිස සිදු කර ඇති බව සඳහන් වේ. මෙහි දී බුද්ධ ප්‍රතිමාව වෙනුවට අනඳ හිමියන්ගේ ප්‍රතිමාවක් උපයෝගී කරගෙන තිබේ. මේ සඳහා අනඳ ප්‍රතිමාව යොදා ගැනීම ඉතා උචිත ක්‍රියාවක් බව වල්පොළ රාහුල හිමියන්ගේ අදහසයි.
ඒ විශාලා මහනුවර පිරිත්දේශනා කර අවසන, බුද්ධ පාත්‍රයෙන් පැන් ඉසිමින් වීථී සංචාරය කළේ ආනන්ද හිමියන් බැවිනි.එසේම මෙම රාජ්‍ය සමයේ දීම රතන සූත්‍රය රන්පත් වල ලියූ බව ඓතිහාසික සාධක වලින් තහවුරු වෙයි. තුන් නිකායේම භික්ෂූන් වහන්සේලා සහභාගි කරවාගෙන සිදු කළ පිරිත් උත්සවයක් v වැනි කාශ්‍යප රජුගේ (ක්‍රි.ව.913 -923 ) රාජ්‍ය කාලය තුළ දක්නට ලැබේ.මේ තුළින් රෝ, බිය, දුක් පලවා හැරිය බවත් සඳහන් නමුදු මෙම පිරිත් උත්සවය කෙබදු අයුරින් පැවැත්වුවා ද යන්නට පැහැදිලි සාක්ෂි සෙවීම දුෂ්කර ය.
පිරිත් පිළිබඳ තවත් සඳහනක් vi වැනි මිහිදු රජුගේ මිහින්තලා සෙල් ලිපියෙහි දක්නට ලැබේ. මෙහි සඳහන් වන කරුණු අනුව එකල සිල්වත් භික්ෂූන් නිරන්තරයෙන් ම තම පරිහරණයට ගත යුතු පිරිත් කිහිපයක් භාවිතයේ තිබූ බව පෙනේ. ඒ අතරින් කරණීය මෙත්ත සූත්‍රයට සුවිශේෂත්වයක් හිමි ව ඇත. මේ කරුණු වලින් සනාථ වන්නේ් මේ කාලය වන විට පිරිත බොහෝ සමීප දහමක්ව තිබූ බවයි .
විශේෂයෙන්ම පොළොන්නරු යුගය වන විට ඉතා දියුණු චාරිත්‍ර විධි වලින් සුසංහිත පරිත්‍රාණ දේශනා දක්නට ලැබෙන බව වංශ කතා සාහිත්‍යය තුළින් තහවුරු වෙයි. මේ මතය වල්පොළ රාහුල හිමියන්ද සනාථ කරනු ලබයි. මහා පරාක්‍රමබාහු යුගයේ දී පිරිත් සජ්ඣායනා කිරීම සඳහා “පඤ්චසත්තක මන්දිර “ යනුවෙන් වෙන ම මණ්ඩපයක් තනා එහි දී පිරිත් පැන් හා පිරිත් නූල් බෙදා දී ඇත. නිශ්ශංක මල්ල රජුගේ “ නිශ්ශංකලතා මණ්ඩපය “ ද එසේ උපයෝගි කර ගනු ලැබූ මණ්ඩපයකි. පොළොන්නරු කතිකාවතේ සඳහන් කරුණු අනුව පැහැදිලි වන්නේ මහජනයා නිතර නිතර පිරිත් දේශනා කරවාගෙන ඇති බවයි. පිරිත වඩාත් ම ජනපි‍්‍රය දේශනා ක්‍රමයක් බවට දඹදෙණි යුගයේ පත්ව ඇති බව දඹදෙණි කතිකාවත් වල සඳහන් තොරතුරු වලින් සනාථ වේ. ඒ සාධක අනුව සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනා ක්‍රමය ඇරඹියේ මේ යුගයේ දි යැයි නිශ්චය කිරීමට පුළුවන.
කුරුණෑගල යුගයට අයත් දළදා සිරිතේ පිරිත් පිළිබඳ විශේෂ සටහනක් දක්නට ලැබේ. එනම් අභිනව රාජ්‍ය පාලකයකු රජ මාලිගයේ වාසය කිරීමට පැමිණෙන විට මහා සංඝ රත්නය ලවා පිරිත් කරවාගෙන පැන් ඉස්සවා ආරක්ෂාව ලබා ගත් බවයි. ඒ අනුව කුරුණෑගල යුගය වන විට රාජ්‍ය පාලකයින් තම විශේෂ අවස්ථා වලදි පිරිත් දේශනා කරවාගෙන සෙත් ප්‍රාර්ථනා කර ගත් බව පෙනී යයි. ඒ අනුව මේ යුගය වන විට පිරිත බොහෝ දුරට ජනපි‍්‍රය පූජා චාරිත්‍රයක් බවට පත්ව ඇති බව නිගමනය කළ හැකි වන්නේ විශේෂයෙන් ම දළදා චාරිත්‍ර වලදි පවා එය ආධාර කර ගැනීමට කටයුතු කර ඇති හෙයිනි.
කෝට්ටේ පැරකුම්බා සමයේ පැපිලියානේ සෙල්ලිපියේ පිරිත් උත්සවයන් ගැන සඳහන් වී තිබේ. එසේම උපුල්වන් විභීෂණ ආදි දෙවිවරුන්ට පූජා පවත්වන දේවාල වල භික්ෂූන් වහන්සේලා දිනපතා සවස දේවාලයට ගොස් රජ මාලිගාවේ දී රජුට පිරිත් කී පරිද්දෙන් පිරිත් කියා ඒ දෙවිවරු දිව්‍යානුභාවයෙන් වැජඹෙත්වා යි ප්‍රාර්ථනය කර ඇත.
රතන සූත්‍රය පිරිවහන කිරීමෙන් මේ කවර දෙවියෙකු ලවා හෝ තම අදහස ඉටු කරවා ගත හැකි බලයක් නායක තෙරවරුන්ට ඇතැයි යන විශ්වාසයක් එකල ලාංකික බෞද්ධ ජනතාව අතර තිබී ඇත. ඒ අනුව මේ කාලය වන විට පිරිත් චාරිත්‍ර හා දේව සංකල්ප අතර යම් කිසි සබැඳියාවක් තිබූ බව උපකල්පනය කළ හැකි ය.
පිරිතේ විකාශනය පිළිබඳව සලකා බලන විට එහි වඩාත් වෙනසක් දක්නට ලැබෙන්නේ මහනුවර යුගයේ දීය. විශේෂයෙන් ම මහායානික අදහස් හා දෙවියන් පිළිබඳ සංකල්ප ප්‍රබල ලෙස පිරිත් චාරිත්‍ර සමඟ බද්ධ වූ ආකාරයක් මෙකල දක්නට පු‍්‍රළුවන. මහනුවර යුගයේ දෙසු පිරිත් ද හින්දු ශාන්ති කර්ම ආදියට බෙහෙවින් සමාන විය. බලි තොවිල් වලදී ගන්නා බුලත්, නා දලු, කුස තණ, ආදි ද්‍රව්‍යයන් පිරිතක දී භාවිතයට ගන්නා ලදි. දෙවියන් යැදීම ද ශබ්ද පූජා පැවැත්වීම ද පිරිත සඳහා අත්‍යවශ්‍ය සාධක සේ සැලකිණි.
වර්තමාන ලාංකික බෞද්ධ සමාජය තුළ පිරිතේ ක්‍රියාත්මක ස්වරූපය විමර්ශනය කර විට බොහෝ සෙයින්ම සෙත්පිරිත් ක්‍රමය ජනපි‍්‍රය ක්‍රමයක් සේ ජනතාවට සමීප වී තිබේ. ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ සෑම සුබ කටයුත්තකදී මෙන් ම විපත් අවස්ථා වල දී ද ඒ පිහිටාධාරය පැතීම දක්නට ලැබේ. ඊට අමතරව තිස්පැයේ පිරිත් ක්‍රමය ද ජනපි‍්‍රය ව ඇත. සති පිරිත වැනි දීර්ඝ කාලයක් හා විශාල මුදලක් වැයවන පරිත්‍රාණ පූජා විහාරස්ථානය ආශි‍්‍රතව සිදු කරයි. 

ශාස්ත්‍රපති
උඩුබද්දාවේ අස්සජි හිමි