ඒ කාලෙ මම ඉගෙන ගත්තෙ පල්ලෙවෙල ගුරුබැවිල මහා විද්‍යාලෙ. ඒ ඉගෙන ගන්න කාලෙ එක දවසක් මා ගියා ඔය කණතිරියන්වෙල මහා බෝධි පිරිවෙනට. ඒ ගිය වෙලාවෙ ඒ විහාරේ හාමුදුරුවො අපට කිව්වා මෙන්න මෙහෙම ප‍්‍රසිද්ධ හාමුදුරුනමක් වැඩියා පිරිවෙන බලන්න. ඒ පිරිවෙන් පරීක්‍ෂක හාමුදුරුවො, ඒ හාමුදුරුවෝ මේ පළාතෙන් පැවිදි කිරීමට ළමයි හොයනවා. ඒකට අප ළමයින් කීප දෙනෙක් යවන්න ඕන. ඒ සිද්ධිය කිව්වාට පස්සේ අවුරුදු 12 ක පමණ වයසේ සිටි මට ඒ කතාව හිතට වැදුණා. නායක හාමුරුවො තාත්තා එක්ක කතා කර කර ඉඳලා ගෙදර ආවා. ඉන් පස්සේ එදා මට හිතුණා මහණ වුණොත් හොඳයි කියලා. මම තාත්තාට ගිහින් කිව්වා මට මහණවෙන්න ඕන කියලා.
තාත්තා මෙහෙම කිව්වා. “මහණ වෙලා කොහොමද? පවුලේ වැඩිමලා. පවුලේ ඉදිරි කටයුතු බලා කියා ගන්නේ කොහොමද මහණ වුණොත්? “ඒක එතැනින් නැවතුණත් ඊට පස්සේ මාසයක් පමණ ගෙවී ගියහම හාමුදුරුවො ළමයි තුන්දෙනෙක් හොයාගෙන තිබෙනවාය කියලා ආරංචිය මට ලැබුණා. මා ඒ ගමන හාමුදුරුවො ඉදිරියේදීම කිව්වා මටත් මහණවෙන්න ඕනෑයි කියලා. තාත්තා එතෙන්දී නම් මොකුත් කීවේ නැහැ. ගෙදර ඇවිත් හුඟාක් ඉතින් කරුණු කාරණා කියලා මහණවෙන්න ගියාට කමක් නෑ. හැබැයි එක පොරොන්දුවක් පිට. මෙකක්ද? ඒ පොරොන්දුව? කවදාවත් සිවුරු අරින්න එපා කියන පොරොන්දුව මගෙන් ගත්තා. මා එදා පොරොන්දු වුණා. මං කිසි දවසක සිවුරු අරින්නේ නැහැය කියලා. ඊට පස්සේ අකමැත්තෙන් වගේ තාත්තා අවසරය දුන්නා. අනෙක් සියලු දෙනාගේමත් අවසරය ලැබුණා.”
එසේ ලැබුණු අවසරය මත සිටින විට දිනක් අකුරටියේ නායක හාමුදුරුවෝ වාහනයකින් බළංගොඩ පිරිවෙණට වැඩියහ. තවත් කුල දරුවන් දෙනෙකු ද සමඟ ඒ රියට නැඟි මේ අපේ සෝභිත හාමුදුරුවන් වහන්සේට කොළඹ එන්නට මං පෑදිණි. එවක බොරැල්ල සර්පන්ටයින් පාරේ තිබුණු හාමුදුරුවන්ගේ නිල නිවාසය වෙත පැමිණි ඒ සිව්දෙනා සතියක පමණ කලක් එහි ගත කළහ. එහිදී නායක හාමුදුරුවන් වහන්සේ විසින් සිව්දෙනාටම සුදුසු තැනක් ලෙස තමන් වහන්සේගේ උපන් ගමේ ගාල්ලේ පහළ කීඹියේ පිහිටි විහාරස්ථානය වෙත කැඳවාගෙන යනු ලැබිණි. අමරවංශ නායක හාමුදුරුවන්ගේ ලොකු හාමුදුරුවන් වහන්සේ ද වැඩ හිඳින ගාල්ලේ වෙහෙර බිම ඒ සිව්දෙනාටම සිය ඉදිරි පැවිදි දිවියට පහන් බිමක් විය. මහණකමට පූර්ව සූදානම ලෙස අවැසි පිළිවෙත් සියල්ල සම්පූර්ණ කළ යුතු වූයේ එහිදී ය.
පන්සලේ වැඩ සිටිය අකුරටියේ නායක හාමුදුරුවන්ගේ ගුරුදේව නායක හාමුදුරුවන් බොහොම සෘජුයි. හරියට කටපාඩම් නොතිබුණොත් ටොකු අනිනවා. ඉතින් අපි හරි බයයි. ඒ බය පක්‍ෂපාත කම නිසාම අපි දිවා රෑනොබලා පොත පතේ වැඩවල නිරත වුණා. පාඩම් මතක හිටියා. දවසට දෙතුන් වර පාඩම් දීමට අප පුරුදු වුණා. ඔහොම දවස් ගතවුණා. අකුරටියේ නායක හාමුදුරුවො තම නායක හාමුදුරුවන්ට සතර දෙනා ගැන හොඳ කියා සිටියේ ඒ සතර දෙනාගේම පතපොත පාඩම් ගැන පැහැදීමෙනි. ඒ අනුව මහණවීමට දින නියම විය. උත්සවාකාරයෙන් නියම වූ වත් පිළිවෙත් අනුව මහණ වූ සිව්දෙනා 1967 සිට 1969 දක්වාම එකට ගත කළහ. අවාසනාවකි. අර තිදෙනා වහන්සේම පසු කාලයකදී උපැවිදි වුණා. සෝභිත හාමුදුරුවන් පමණක් සසුනේ ඉතිරි විය. එයින් පැහැදිලි වන්නේ එදා සමාජ ආර්ථික පසුබිම උපැවිද්දට අනුබල දෙන පලිබෝධයන්ගෙන් පිරී තිබුණු බව නොවේද? “එහෙමමත් නැහැ. යථාවබෝධය ලැබීමට ඇති නොහැකියාව ඊට මුල්වෙන්න ඇති” සෝභිත හිමිපාණන්ගේ අදහස එබඳු ය.
ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙන අකුරටියේ අමරවංශ ගුරු නායක හාමුදුරුවන් වහන්සේට අයත් පිරිවෙන වී තිබිණ. සෝභිත හිමියන්ද ඒ පිරිවෙනට පැමිණියේ තම ගුරුහාමුදුරුවන්ගේ අවසරයෙනි. විද්‍යාලෝකය අපේ හාමුදුරුවන්ට විද්‍යාලෝකයක් මැ විය. ඉගැනුම් මග නිර්බාධක විය. හික්මීම ද සමඟ භික්‍ෂූන් වහන්සේ සත්‍ය ශික්‍ෂාකාමී බව සෝභිත හාමුදුරුවන් හට නිතැනින්ම පිහිටියේ ය. ඒ සිය නායක හාමුදුරුවන් වහන්සේගේ සමඟ වූ ගෞරවණීය සමීපාශ‍්‍රය නිසා ය. 1969 සිට 1975 දක්වා විද්‍යාලෝක පිරිවෙන් විදු බිම සෝභිත හිමියන්ගේ නැණ නුවණ වඩවා ලූයේ ය. අමරවංස නාහිමි ඇසුර දිගටම පැවතිණි.
පිරිවෙන් පරීක්‍ෂක තනතුරෙන් විශ‍්‍රාම ගැන්වුණු අකුරටියේ අමරවංශ නා හිමියෝ විද්‍යාලෝක පිරිවෙනේ අධිපතීන් වහන්සේ ලෙස කටයුතු බාරගෙන තිබිණ. උන්වහන්සේගේ ආශිර්වාදය සමඟ ප‍්‍රාචීන, මධ්‍යම විභාගය, උසස් පෙළ, ආදී කඩඉම් ඉතා ලෙහෙසියෙන් පසු කළ සෝභිත හිමියෝ 1975 දී සරසවි පිවිසුම ලැබූහ. සිරිධම්ම මාවතේ පිහිටි ආනන්දාරාමයේ නවාතැන්ගෙන සිට සරසවි ප‍්‍රජාවට එක් වූ සෝභිත හිමියන්ට 1979 වන විට ස්වකීය ඉගෙනුම් සාර්ථකව නිම කරන්නට හැකි විය. අකුරටියේ නායක ගුරු හාමුදුරුවෝ විද්‍යෝදය පිරිවෙනෙහි අධිපතීන් වහන්සේ ලෙස වඩාත් විධිමත්ව කටයුතු අරඹා තිබිණි. ඒ අනුව 79 සැප්තැම්බර් මාසෙ පළමුවැනි දා මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට සෝභිත හාමුදුරුවන් කැඳවා ගනු ලැබිණ. එදා සිට ඉගෙනීම් කටයුතු කරමින් ම නායක හාමුදුරුවන්ගේ සෙවුම් බැලුම් යටතේ පිරිවෙන් පරිපාලන කටයුතු ද හුරුකර ගත් අතර කාලානුරූපව පිරිවෙනෙහි කටයුතු වලද ක‍්‍රමයෙන් ගෙවී යන නායක හාමුදුරුවන්ගේ කලවයසට අවැසි උවටැන් ආදියෙහිද මහත් කැපවීමෙන් නියුක්ත වූහ. නායක හාමුදුරුවන් වහන්සේගේ අපවත්වීම දක්වාම ඒ කටයුතු උන්වහන්සේ වෙනුවෙන් කළ යුතුව තිබී සියලු කටයුතු නොපිරිහෙළා සිදු කිරීමට වග බලා ගත් සෝභිත හිමියෝ වර්තමාන විද්‍යෝදය පිරිවෙන හසුරුවන නියමුවාණන් වහන්සේ ලෙස කටයුතු කිරීමට වරම් ලැබිණි.
එහෙම නම් හාමුදුරුවනේ අපි දැන් පිරිවෙන් අධ්‍යාපනය දෙසට හැරෙමු. “ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. ඒක ඉතා වැදගත් මට. නායක හාමුදුරුවො කොයි වෙලාවකවත් රැකියාවකට යන්න අවසර දුන්නෙ නැහැ. මට ගුරුපත්වීම සේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය තනතුරද හිමි වුණත් මා ඒ සියල්ල ප‍්‍රතික්‍ෂේප කළා. ඒ ගුරු නායක හාමුදුරුවන්ගේ බහට අනුව. එක් අවස්ථාවකදී නායක හාමුදුරුවන් මගෙන් ඇහුවා ඔබ වහන්සේ ඔය යන්න හදන්නේ සල්ලි හම්බ කරන්න නේද? කියලා. වැඩ කරනකොට අවශ්‍ය සල්ලි නිකම්ම ලැබෙයි. ඒවා පස්සේ යන්න ඕන නැහැ. උන්වහන්සේගේ උපදේශය වුණේ එයයි. ගුරු හාමුදුරුවන්ගේ සුවිශේෂ ගුණාංගය වූයේ හැකි තරම් දීම ය. පන්සල් ගොඩනැඟලිි වැනි භෞතික දේවල් ගැන උන්වහන්සේ කිසිම දාක සිතුවේ නැත. අලෞකික දේටම නැඹුරුව දිවි ගෙවූහ.”
ඒක සැබෑම පරමාදර්ශී ජීවිතයක්. මා එයින් බොහෝ දේ ඉගෙන ගත්තා. මගේ දිවියත් හැඩගස්වා ගන්නට. සෝභිත නායක හාමුදුරුවන්ගේ චිත්ත චෛතසිකයන් සුවපත් ය. නිරවුල් ය. ස්වකීය ගුරු නායක හාමුදුරුවන් කෙරෙහි බුහුමන පෙරදැරිව උන්වහන්සේ තවමත් ආසක්තය. සෝභිත නායක හාමුදුරුවන් ද තම ගුරු හාමුදුරුවන් සේම තමන් සන්තකයේ පවතින බොහෝ දේ අත්හරිමින් වෙනත් විහාරස්ථාන කෙරෙහි ද තදබල බැඳීම් ඇති කර ගැනීමෙන් වැළකී සිටී. ආසක්තත වීම වෙනුවට අත් හැරීම සෝභිත හාමුදුරුවන් වහන්සේට ද පොදු ගුණාංගයකි. එය භික්‍ෂූත්වයේ නිර්මල බවට කදිම සාධකයකි.
පිරිවෙන් අධ්‍යාපනය වසර අටක් මුළුල්ලේ භික්‍ෂුවකට ලැබෙන භාග්‍යවන්ත වරමක්. ඒ වසර අට සම්පූර්ණ වෙනවා කියන්නේ රාජකීය පණ්ඩිත උපාධිය ලැබෙනවා කියන එකයි. එය මහඟු උපාධියක්. වයස අවුරුදු 12 දී පිරිවෙන් ගේට්ටුවෙන් ඇතුළු වන සාමණේර භික්‍ෂූන් වහන්සේ පිරිවෙන් දොරටුවෙන් පිටව යන්නේ දැඩි හික්මීමකින්ද යුක්තවයි. ඒක අපේ ප‍්‍රධාන පිරිවෙන් සියල්ලටම පොදු වැදගත්කමක්. නමුත් හික්කඩුවේ නායක හාමුදුරුවන්ගේ අවධියේ නම් විෂයන්ට සමගාමීව භික්‍ෂුව විනය අතින්ද පොහොණිව වැඩ සිටියා. ති‍්‍රපිටකය උන්වහන්සේලා හැම නමකටම කටපාඩම්ව තිබුණා. ඒ සමාජ පරිසරය බෙහෙවින් විදග්දයි. විනයානුකූලයි, සදාචාර සම්පන්නයි. පුරාණ පැවිදි ජීවිතයෙත් වර්තමාන පැවිදි ජීවිතයේත් වෙනස්කම් ඔබවහන්සේ දකින්නෙ කොහොමද?
පුරාණයේ පැවිදි දිවිය අපේක්‍ෂා කළ කෙනෙකුට එක සැරේටම පැවිදි වෙන්න බැහැ. සිවුර දරන්න පෙරාතුව ඔහු කෙබඳු ගති සොබා ඇත්තෙක් දැයි නිශ්චිත කාලයක් තිස්සේ ඉතා සියුම්ව සොයා බලනවා. පැවිදි දිවියට හුරුවීම අරඹන්නේ ගිහි දිවියේ සිට යි. අවබෝධයෙන් යුතුව කෙරෙන මහණවීමයි ඉතා වැදගත්. උපැවිදි වීම් පමණක් නොව සිවුරේ සිටියදීම කරන කියන නොයෙක් ඇවැත් අද බහුලයි. ඒකට හේතුව මහණවීමේ ගුණාත්මක බවයි. ප‍්‍රමාණාත්මක බව නොමෙයි.
අද මහණ වෙලා හෙට ඉඳලා පිරිවෙන් යන ක‍්‍රමයක් තමයි, වර්තමාන ජන සමාජයේ පේන්න තිබෙන්නෙ. ඒ නිසයි අද අපට පුවත්පත්වල ඇතැම් හාමුදුරුවො වෙදකම්, ගුරුකම් ආදියේ නියුතු වෙලා ඉන්නවා පේන්නේ. පුරාණයේ සිවුරක් දරාගන්නවා කියන්නේ මහා නම්බුකාර වැඩක්. එයින් අත්මිදෙනවා කියන්නේ සමාජය පිළිකුල් කරන කි‍්‍රයාවක්. ගිහියාත් පැවිද්දාත් අතර ඒ කාලෙ විශාල වෙනසක් තිබුණා.
ඒ කාලෙ සිවුරක් අත් හරිනවා කියන්නෙ එහෙම පිටින්ම ඒ පුද්ගලයා සමාජ පරිහාණියට පත් වුණා කියන එකයි. පවුල සහ ගමක් පළාතත් ඒ වෙනුවෙන් අවනම්බුව විඳිනවා. අද ක්‍ෂණිකව කරන කි‍්‍රයාමාර්ග නිසා සමහරු මාසයෙන් යනවා. සමහරු අවුරුද්දෙන් හමාරෙන් යනවා. මේ ක‍්‍රමය අප කෙසේ හෝ වලක්වා ගන්නට උපායක් ක‍්‍රමවේදයක් යෙදිය යුතු වෙනවා. නැත්නම් සිදු වන්නේ අපේ ශාසනේ පිරිහෙන එක. ගුණදහම් හැර අන් සියල්ලම මුදලට ගත හැකි ය. ගුණදහම් අලෙවිකරණයට හසු නොවන මෘදුකාංගයකි. එය පුරුදු පුහුණු කරගත යුත්තේ සද්දහම මාර්ගයෙනි. සද්දහමේ අනුහසිනි. ගිහි පැවිදි දෙපාර්ශ්වයටම පොදු වන්නා වූ ගුණදහම පිළිබඳ අවධානය වඩාත් අවැසි යුගයක දිවි ගෙවන අප සැප යැයි කියමින් හිස පළඳින කටු ඔටුන්න දැන්වත් අත්හළ යුතු ය. අන්ධානුකරණයෙන් අත්මිදිය යුතු ය.
අසමසම ඉහළ මධ්‍යම පන්තික වෙනසෙන් වහ වහා සුවපත් විය යුතු ය. නිසරු, නීරස සියලු බැමිවලින් මිදී නිරාමිස සතුට ලබන මං පෙත් සොයා ගත යුතු ය. පරගැති සිරිත්වලට පිටුපා සැබෑ දේශීය සංස්කෘතියක, යහපත් මානවයන්සේ ධර්මානුකූලව හැසිරෙන කවරකුට වුව ධර්මයම පිළිසරණ වන බව යළි යළිදු සිහි කැඳවන්නට සිදුව තිබේ. බළංගොඩ සෝභිත නාහිමිපාණන් වහන්සේ ද අවධාරණය කරන්නේ එකී අදහසමය. සේඛ, අසේඛ, පෘථග්ජන මේ කොටස් තුන හරිහැටි හඳුනා නොගතහොත් තම තමන්ගේ ආත්මය කවර පලිබෝධවලින් වල් වැදී ව්‍යසනයට පත් වේදැයි යන්න සොයා ගැනීමට පවා අසීරුවන්නේ ය. ගුණාත්මකව මහණදම් පිරිය යුත්තේද එබැවිනි.