බුදු දහම වනාහී සර්ව අශුභවාදී දහමක් බව ඇතැම් නොවියත් විචාරකයන් ගේ මතයයි. චතුරාර්ය සත්‍ය, ත්‍රි ලක්ෂණය, පටිච්ච සමුප්පාද විවරණය ආදී උන්වහන්සේගේ ප්‍රධාන ඉගැන්වීම් වලටද තේමාව වූයේ දුක්ඛ සංකල්පයයි. එමඟින් පුද්ගලයා තව තවත් දුකෙහිම ගිල්වන බවත්, ඔහුව පරාජිත වූ - අකර්මන්‍යත්වයට පත් කරවන බවත් බුදු දහම සර්ව අශුභවාදයකැයි හුවා දක්වන පිරිසගේ අදහසයි.
‘ආනන්ද් කුමාරස්වාමි’ මහතා පවසන පරිදි බුදුරදුන් සෞන්දර්ය අගය කර නොමැති බවට කරුණු පෙන්වීමට උත්සාහ කරයි. ඔහු සිය මතය සහේතුකව සනාථ කරන්නටද යත්න දරයි. එහිදී ඔහු පහත සඳහන් කරුණු ගෙනහැර පා ඇත.
(1) (චුල්ලවග්ග පාලියේ චුද්දක වත්‍ථුව) - බුදුරදුන් විසින් ස්ත්‍රී - පුරුෂ රූප චිත්‍රයට නැගීම තහනම් කැර ඇත.
(2) (දසධම්ම සූත්‍රය) - භික්‍ෂූන්ට නිරතුරුවම “මම දුර්වර්ණ බවට පැමිණියෙමි. පි‍්‍රයමනාප දෙයින් වෙන් වුනෙමි..” ලෙසට මෙනෙහි කරන්නට නියම කර ඇත.
(3)(විසුද්ධි මාර්ගය) - ප්‍රතිමා හා චිත්‍ර ශිල්පීන්ව අගයන්නේ , ඔවුන් විසින් නිර්මාණය කළ දෙයින් මුසපත්ව - මුලාවට පත්වූ අය විසින් බව ද දැක්වේ. මෙකී කරුණු නිසා බුදුරදුන් සෞන්දර්යය රසාස්වාදය ප්‍රතික්ෂේප කළ බව කුමාරස්වාමි මහතා විසින් ප්‍රකාශ කර ඇත.
සත්‍ය වශයෙන්ම බුදු දහම යනු අශුභවාදයක් ද? එසේ නම් බුදු දහමින් සෞන්දර්යය හා කලාකෘති රසවිඳීම බැහැරකර තිබේද? යන්න අපි විචාර පූර්වකව විමසිය යුතු වෙමු. ඒ අනුව සෞන්දර්යය පිළිබඳව විමසීම සුදුසුය. සංස්කෘත “ධ්වන්‍යා ලෝකය” නමැති කෘතියට අනුව සෞන්දර්යය යන්නෙහි වචනාර්ථය වන්නේ :- ඉන්ද්‍රියානු භූතියෙන් යමක් ගැන සොම්නස් සහගත වින්දනයක් - අත්දැකීමක් ලැබීමයි.
පාලි ත්‍රිපිටකය තුළ යෙදෙන “රමණීය - විචිත්‍ර - මධුර - පාසාදික - මනෝම්‍ය ...” වැනි පර්යාය පද වලින්ද ගම්‍ය වන සරලම අරුත නම් සොඳුරු සිත්කලු බවයි.
මෙකී සෞන්දර්යය රසවින්දනය යන්න බෞද්ධ දෘෂ්ටිකෝණයට අනුව කෙසේ ෂවරණය කර තිබේද? මේ පිළිබඳව විමසීමේදී ඉහතින් දක්වාලු ආනන්ද කුමාරස්වාමිගේ මතය සදොස් වූවක් බව පළමුකොටම සනාථ කළ යුතුයි. ඒ අනුව:-
(1) බුදුරදුන් භික්‍ෂූන්ට අකැප බව දක්වාලූයේ ස්ත්‍රී - පුරුෂ සම්භෝගය නිරූපණය කරලන ‘පටිභාන චිත්‍ර’ ඇඳීම පමණි. ජබ්බග්ගිය හිමිවරු සිය විහාරය තුළ මෙම චිත්‍ර සිතුවම් කළ විටකදී, එය භික්‍ෂූත්වයට අකැප බව දැක්වූ බුදුරදුන් , 26 වන පාචිත්‍ය ශික්ෂාව පණවමින් එකී චිත්‍ර ඇඳීමද තහනම් කළහ. එසේම භික්‍ෂූණී ප්‍රාතිමෝක්ෂයෙහි සංගෘහිත 41 වන පාචිත්‍ය ශික්ෂාව මගින්ද පටිභාන චිත්‍ර වලින් සමන්විත විය හැකි රාජාගාර නැරැඹීමට යාමද තහනම් කර ඇත. එපමණක් ද නොව භික්‍ෂූන් විසින් නොපිළිගත යුතු වන ‘මජ්ජ - සාජ්ජ - ඉන්ධී - උසභ - චිත්තකම්ම “ දාන පහ අතුරින් චිත්තකම්ම දාන යනුද පටිභාන චිත්‍රයි. එය “ මෙථුන ධම්ම සමායෝජිතානි ඉත්ථි පුරිස රූපානි...” ලෙසට ‘සාරසංග්‍රහයෙහි’ විග්‍රහව ඇත.
ඒ අනුව නරඹන්නා තුළ කාමුක හැඟීම් උද්දීපනය කරන, සරාගික හැඟුම් උපදවාලන චිත්‍ර ඇඳීම හා නැරැඹීමම පමණක් භික්ෂූන්ට අකැපය. මාලකර්ම - ලතා කර්ම - මකර දන්තාදී චිත්‍ර රසවිඳී මෙහිලා භික්ෂුවට කිසිදු තහනමක් නැත.
2.භික්ෂූන් තුළ තමන් සහ තමාගෙන් පරිබාහිර ලෝකයා ගැන යථාවබෝධයක් ඇති කරලීමත්, භික්ෂූන්ගේ ආකල්පමය වෙනසක් ඇතිකරලීමත් අරභයා බුදුරදුන් අනිත්‍ය - දුක්ඛ සහගතතාවන් ගැන මෙනෙහි කරන්නට ‘දසධම්ම සූත්‍රයේ’ දී අනුදැන වදාළහ.
3.විසුද්ධිමග්ගය රචනාවූයේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර දහසකටත් පසුවය. එහිදී බුද්ධ භාෂිතය තරමක් වෙනස් වී එහි සංගෘහිත වන්නටද ඇත. එසේම ඉන් තහනම් කර ඇත්තේ ද පෙරකී කාමෝද්දීපිත කලා නිර්මාණයන් රසවිඳීම පමණි.
අංගුත්තර නිකායෙහි එන ‘නිබ්බේධික සූතුරෙහි දී ස්වභාව සෞන්දර්යය රසවිඳ , එකී සුන්දරත්වයෙහි ඇලීම හෙවත් ලෞකික සෞන්දර්ය රසාස්වාදය වෙනුවට ඕලාරික නොවූ - නිරාමිස වූ ආධ්‍යාත්මික සෞන්දර්යය රසාස්වාදයම ඇගයේ. මෙම තත්ත්වය ථෙර - ථෙරි ගාථා වලින්ද මනාව තහවුරු වේ. නිදසුන් ලෙස:-
කාලපුට තෙරුන් විසින් සිදුකළ සොබා සෞන්දර්යය වර්ණනය දැක්විය හැක.”...සුනිල ගෙල ඇති - මනා සිළු ඇති - මනා පිල් ඇති විසිතුරු පක්ෂීහු (මොණරු) මේඝ ගර්ජනා හේතුවෙන් උද්දාමයට පැමිණ මධුර රාවයෙන් නාද කරති. එම මිහිරි නාදය ධ්‍යාන වඩන්නාගේ සිත් ඇදගනී.
තවද බුදු පියාණන් වහන්සේ කිඹුල්වතට වැඩමවාගනු පිණිස කාළුදායි තෙරුන් කළ ඇරයුමෙහිද අන්තර්ගත වන්නේ අපූර්වතම වු සෞන්දර්යය වර්ණනාවකි.
“අංගාරිනෝදාති දුමා භදන්තේ
එලේසිනෝ ඡදනං විප්පහාය
තෙ අච්චිමන්තෝව පහාසයන්ති
සමයො මහාවීර - භගීරසානං...”
එලේසිනෝ ඡදනං විප්පහාය
තෙ අච්චිමන්තෝව පහාසයන්ති
සමයො මහාවීර - භගීරසානං...”
යනුවෙන් “ඵල බලාපොරොත්තුවෙන් කොළ හැළුණු ගස් ගිනි අඟුරු මෙන් දිසෙයි. ඇතැම් ගස් ගිනි සිළු මෙන් ප්‍රභාෂ්වරය. තවත් ගස්වල මල් පිපී හාත්පසම සුන්දරවී ඇත. “...දැක්වේ. මෙකී වර්ණනාවන් තුළදී සොබා දහමේ වූ අපූරු චමත්කාරය දැක පහන් සංවේගයක් ඇතිකර ගැනීමත්, ශාන්ත රසය නිදහසේ අත්විඳීමත් හැරෙන්නට කාමුක හැඟීම් උපදවාගෙන, තෘෂ්ණා චෛතසික මධ්‍යයේ එකී අපූර්වත්වය රසවිඳීමක් කිසිම විටකවත් සිදුවී නැත.
බෝසතාණන් වහන්සේ විසින් සොබා සෞන්දර්යය ඇගයූ අවස්ථා ගැන විමසා බැලීමේදී ‘අරිය පරියේසන සුතුර” වැදගත් වේ. “තක්‍ෂද්දසං රමණියං භූමිභාගං, පාසාදිකංච වන ඝණ්ඩං නදිංච සංදන්තිඞ සෙතක සපතිත්ථ”..... ලෙසට “.. මේ භූමි භාගය ඉතා රමණීයය වන ලැහැබද ප්‍රසාද ජනකයඞමනා කොටු ඇති සුදුවැලි තලාමැදින් ගලනා නදියද සිත් සනසාලයි...”වර්ණිකය.
එසේම භික්‍ෂූන් වහන්සේලාගේ වාසය පිණිස බුදුරදුන් අනුදැන වදාළ ‘ආරාම’ ද වැදගත්ය.
මේ ධාතුවෙන් නිපන්මෙහි ගැබ්ව ඇති වචනාර්ථය නම් සිත් අලවන, මල් ඵල සහිත ස්ථානය යනුයි.”මනෝරථපූරණි’ අටුවාවට අනුව ‘පුෂ්ප ඵලාදිය නිසාත්, ගොදුරු ගමට ඉතා දුර හෝ ළඟද නොවූ, භික්‍ෂූන්ට විවිධ දෙසින් මෙහි විත් සිත් අලවා විසිය හැකි ස්ථානයම ආරාම යයි” ... ධම්මපදයෙහිදී:-
“රමණීයානි අර ඤ්ඤාණි -
යත්‍ථන රමතී ජනො
විතරාගා රමෙස්සන්ති -
යත්‍ථන රමතී ජනො
විතරාගා රමෙස්සන්ති -
නතෙ කාම ගවේසිනො...” යනුවෙන් වන ගාථා පාඨයද මෙහිලා වටී. ඒ අනුව පුහුදුන් නෙත්සිත් ඇද නොගන්නා රමණීයවූ ආරණ්‍යයන් චීතරාගීහු සුන්දර ලෙස දකිති. මක්නිසාදයත්, ඔවුන් කාම ගවේෂීන් නොවන හෙයිනි. මේ අනුව සොබා සෞන්දර්යය රසවිඳීම බුදුදහමින් ප්‍රතික්‍ෂේප නොවූ බව ගම්‍යමාන වේ.
“නතේ කාමායානි චිත්‍රානි ලෝකෙ -
සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ
සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ
තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලෝකෙ -
අෙත්‍ථා ධීරා විනයන්ති ඡන්දං”
අෙත්‍ථා ධීරා විනයන්ති ඡන්දං”
යන ගාථාවද වටී. ලොව ඇති විචිත්‍ර - විසිතුරු දෙය කාමය නොවේ. යමකු තුළ එවැනි විචිත්‍ර දෙයක් නිසා සරාගික සංකප්ප පහළවේ නම් එකී සංකප්පයන් කාමයන් වේ. බුදුදහමින් කාමය මිස සෞන්දර්යය විචිත්‍රත්වය කිසිදු විටක බැහැර නොකළ බව අපට වටහාගත හැකිය. තවද කලා කෘතියක් හෝ සොබා සෞන්දර්යයේ චමත්කාරයන් හෝ රසවිඳීමේදී එකී විචිත්‍ර දෙය පිළිබඳව ඇලීම් - බැඳීම් සහිතව ඉඳ, ඒ පිළිබඳව තෘෂ්ණා සම්ප්‍රයුක්තවීමද නොකළ යුතු බව බුදු දහමින් අවධාරණය කර ඇත. එනම් “ආස්සාද - ආදීනව - නිස්සාරණ” යන ක්‍රමවේදයන්ට අනුව කලා නිර්මාණ රසවිඳීම ගිහියාට තබා විමුක්ති මඟට පිළිපන් භික්‍ෂූ සංඝයාට වුවද අකැප දෙයක් නොවේ.
මානව රස වින්දනයට ඉවහල් වන්නාවු නිර්මාණයන් අතරින් ‘කලාව‘ මූලිකය. කලාවෙන් සිදු වන්නේ ආනන්දයෙන් - ප්‍රඥාව කරා යාමකි. නමුත් ඊ.බී. හැවල්” මහතා පවසන පරිදි ‘සංගීතය - චිත්‍ර මූර්ති ආදී වූ කලාවන් වනාහි චතුසත්‍යවබෝධයට හානිකරවූ ලෞකික පාශයන් ය.” නමුත් සත්‍ය එය නොවේ. බෞද්ධ කලාව සතුව සදාචාර දර්ශනයක් ඇත. ඇතැමුන් ‘කලාව - කලාව සඳහා පමණක්” බව පවසති. නමුත් බෞද්ධ කලාවට උපයෝගිතාවක් ඇත. එහි පරමාර්ථය නිර්වාණය සාක්ෂාත් කර ගැනීමයි. පුද්ගලයා නිර්වාණගාමී මඟට යොමු කරමින් විමුක්ති සාධනය සඳහා දිරි දීම බෞද්ධ කලාවේ උපයෝගිතාවයි. බුදු දහම තුළ අන්තර්ගත යථාර්ථ විග්‍රහය - ඤාණ දර්ශනය අතිශයින්ම ගැඹුරුය. චතුරාර්ය සත්‍ය - ත්‍රිලක්ෂණ ධර්මය වැනි ගැඹුරු හර ධර්මයන් පුහුදුන් මනසට එක්වරම ග්‍රහණය කරගත නොහැකිය. ඒ නිසාම ඥානය ලබනු වස් - ප්‍රඥා පරිපාකය සඳහා අනුගමනය කළ යුතු වන මඟ සරලත්වයෙන් ඇරැඹී සංකීර්ණත්වය කරා දිවෙන ආනුපුබ්බී ක්‍රමයට සැකසී ඇත. ඒ අනුව ශ්‍රද්ධාව උවසු සිත්හි උපදවාගෙන, එකී ශ්‍රද්ධාව ආශ්‍රය කර ගනිමින් ශීලය - සමාධිය වඩවාලමින් ප්‍රඥාව ලබාගත යුතුය. මෙම ශ්‍රද්ධාව ඇති කරගැනීමට චෛත්‍ය - බුද්ධ ප්‍රතිමා දී මුර්ති කලා නිර්මාණත්, බුදු සිරිත හා බැඳීගත් විහාරීය බිතු සිතුවම් මහෝපකාරී වේ.
එසේම කුසලාකුසල ක්‍රියාවන්ට අනුරූපව විපාකදීම්ද සහිත බව පැවසෙන “ කම්මස්සකතා සම්මාදිට්ඨිය” යනු අරි මඟෙහි දැක්වෙන සම්මා දිට්ඨියෙහි මූල ප්‍රභේදයකි. මෙකී කමීය හා කර්මානුරූපීව විපාකදීම හා සබැඳුණු ඉගැන්වීම් අනුසාරයෙන් පුද්ගල චර්යාවන් සදාචාර සම්පන්න කරලිය හැකිය. එමගින් යහපත් සමාජ පරිසරයක් නිර්මාණය කළ හැකිය. මෙකී සද්කාර්යෙහිදීද බෞද්ධ කලා නිර්මාණයන්ට හිමි වනුයේ සුවිශේෂී ස්ථානයකි. විහාරීය බිතු සිතුවම්හි චිත්‍රණය කර ඇති දිව්‍ය ලෝක අපාය යම රජු වැනි චිත්‍ර මඟින් පුද්ගල මනසට හා නැණසට සියුම්ව සිහිපත් කරනුයේ සදාචාර ධර්මයන්ගෙන් අනූන වීමේ අගය තහවුරු කරමිනි. මේ අනුව කම්මස්සකතා සම්මාදිට්ඨිය පිළිබඳව බොදුනුවන්ට නිසියාකාර දැනුවත් භාවයක් ඇතිකරලීම සඳහාද බෞද්ධ කලා කෘතින් උපකාරි වේ.
බුදු දහම හා බද්ධ වු කලා සම්ප්‍රදායක් ද මේ වනවිට බිහිව ඇත. ඒ සඳහා මහායාන බුදුදහමේ ආභාසයත්, එසේම බුදු දහමේ සංකල්ප වඩාත් ප්‍රතිඵල දායක ලෙස ජනයා අතරට ගෙනයනු වස් සංකේත බවට පත්කරලීමත්, රාජ - රාජ මහා මාත්‍යයින්ගේ හා වාණිජ ප්‍රජාවගේත් දායකත්වය ලැබීමත් මූලිකවම හේතු විය.
ලාංකේය නුතන සමාජ සංස්ථාව දෙසට යොමු වන්නේ නම් එවිටද හෙළ කලා නිර්මාණබුදු දහමේ ආශිර්වාදය හා ආභාසය ලබමින් විරාජමානව පවතිනු දක්නට ලැබේ. රුවන්වැලි මහ සෑය, අභයගිරිය වැනි මහ සෑ රදුන් සේම, අවුකන බුදු පිළිමය, අනුරපුර සමාධි බුදු පිළිමය වැනි අද්විතීය වූ කලා නිර්මාණයන් අපේ කලා කරුවන්ගේ සියුම් තාක්ෂණ ක්‍රම වේදයත්, අසමසම වූ කලා කෞෂල්‍යත්, නිවුණු සැනසුණු ආධ්‍යාත්මික ශික්ෂණයත් මුළු මහත් ලෝකයාටම මොනවට පෙන්නුම් කරයි. තරගකාරි ජීවන රටාවකට අවතීර්ණව කාර්ය බහුලවූ දිවි ගෙවාලන සමාජයකට ඕලාරිකවු හැඟීම් උද්දීපනය කරමින්, කාමුකත්වය ඉස්මතු කරලන කලා කෘතින් රසවිඳීම සඳහා නොව, ලැබෙන ඉසිඹුවකදී වුව දැක පහන් සංවේග උපදවාලන - සිත් පහන් සුපහන් කරලන - සිතට සැනසුමක් හා නිරාමිස පී‍්‍රතියක් දනවන බුදු පිළිම වහන්සේ නමක්, මහ සෑයක්, වන්දනා කරන්න; එහි වූ ශාන්ත රසය නිසංසලව විඳගන්න. එවිට ඔබටම හැඟී යාවි බුදු දහම දුක හා බැඳුණු අශුභවාදී දහමක් නොව වන්දනීයවූ යථාර්ථවාදී වූ දහමක්ම බව.
සුභාෂිණී ධම්මිකා - ගඟුල්දෙණිය