Tuesday, August 17, 2010

මහාචාර්ය නාබිරිත්තන්කඩවර ඤාණරතන හිමි - සමග පිළිසදරක්

කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන 
මහාචාර්ය නාබිරිත්තන්කඩවර ඤාණරතන හිමි -  සමග පිළිසදරක්

හාමුදුරුවනේ ලොව පුරා බෞද්ධයන් සම්බුදු තෙමඟුල ඉතා උත්කර්ෂයෙන් සමරනවා. මෙසේ වෙසක් උත්සවය සැමරීම සම්බන්ධ දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා නේද ?
ඔව්. බුද්ධෝත්පත්තියටත් කලින් පෝය දිනය උපෝසථ දිනයක් විදියටයි සැලකුණේ. බුදුන් වහන්සේගේ පහළවීම සමග විවිධ පෝය වලට අලුත් අර්ථ කථන ලැබුණා. එය සමාජ ගතවීමක් විදියට වෙසක් පෝය පදනම් කරගෙන බුද්ධ වර්ෂ ක්‍රමයකුත් ඇතිවෙලා තියෙනවා. කොහොම වුණත් සමාජයේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම ශිෂ්ට සම්පන්න මනුෂ්‍යයන් විදියට ප්‍රතිපත්ති ගරුක ලෙස ලෞකිකත්වයෙන් බැහැර වු දිනයක් තමයි පෝය දිනය. ත්‍රිපිටකයේ විවිධ ධර්ම දේශනා සිදු කළ ස්ථාන ගැන සඳහන් වුණාට ඒ දේශනා සිදු කළ දින පිළිබඳව සඳහනක් නෑ. ඒත් පසළොස්වක පෝය දිනවල කළ ධර්ම දේශනා පිළිබඳව විශේෂයෙන් සඳහන් වෙනවා. 
ඒ කියන්නේ පෝයට යම් වැදගත්කමක් ලැබිලා තිබුණා කියල අනුමාන කරන්න පුළුවන්. බුද්ධ කාලයේත් විශාඛාව ආදීන් පිරිවර සමග පසළොස්වක පෝය දිනවලට විහාරාරාමවලට ගොස් මල් පහන් පූජා පැවැත්වූ බව සඳහන් වෙනවා.
එහෙත් වෙසක් පෝයට වැදගත්කමක් ලැබුණේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව යි. ඒ වගේ ම වෙසක් දිනය ශ්‍රී ලාංකිකයන්ට වැදගත් වෙන්නේ මහින්දාගමනයෙන් පසුව යි. ඒ කාලයේ රට පාලනය කළ දේවානම්පියතිස්ස රජතුමා පාලකයෙකු ලෙස සිටියත් අභිෂේක ලැබුවේත් වෙසක් පෝය දිනයකයි.
ඒ වගේම අපේ ජාතියේ ආරම්භය සිදු වුයේත් වෙසක් පුර පසළොස්වක පෝය දිනයක කියලයි සිංහලයන් විශ්වාස කරන්නේ. මහා වංශයේ සඳහන් වන විදියට විජය කුමරු ලංකාවට පැමිණියේත් බුද්ධ පරිනිර්වාණය සිදු වූයේත් එක දිනකයි. මේ වාගේම දුටුගැමුණු රජතුමා වසර විසි හතරක් රාජ්‍ය කාලය පුරාම වෙසක් උත්සවය උත්සව ශ්‍රීයෙන් පැවැත්වූ බවත් භාතිකාභය වසභ වැනි රජවරුන් වෙසක් උත්සවය සෑම වසරකම පැවැත්වූ බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. රුවන්වැලි මහ සෑයේ මංගල ප්‍රතිෂ්ඨාපනය සිදු කළේත් වෙසක් දිනයක යි. මේ ආකාරයට වෙසක් උත්සවය ආගමික මෙන්ම සමාජීය වටිනාකමකින් යුතු උත්සවයක් බවට පත් වෙලා තියනවා.
ඒ වගේම වෙසක් උත්සව සැමරුමේ ස්වරූපයත් යුගයෙන් යුගයට විකාශනය වී ඇවිත් තියෙනවා නේද ?
ඔව්. දැන් බලන්න 9 වැනි සියවසේ සිටි රජවරු සම්මත කරල තිබුණා. මස්, මාළු, මත්පැන් ආදිය නගරයට ගෙන ඒම තහනම් කියලා. වර්තමානයේත් මේ දේවල් තියනවා. මේවා අපේ ඉතිහාසයේ තිබු සම්ප්‍රදායන්.
දන්සැල් සම්ප්‍රදාය ගත්තත් වෝහාරික තිස්ස, ජෙට්ඨතිස්ස, ගෝඨාභය වැනි රජවරුන්ගේ කාල වල වෙසක් පොහෝ දිනයට භික්ෂූන්ට දන්පැන් පිරිනැමු ආකාර විස්තර වෙනවා. ඒ වගේම ධ්ධ් වැනි මුගලන්, ධ්ධ් වැනි සේන වැනි රජවරුන් දුප්පතුන්ට ආහාරපාන බෙදා දී තිබෙන්නේත් මේ පොහොය චාරිත්‍රයක් ලෙස. ඒ වගේම පාහියන් දේශාඨන වාර්තාවලින් හෙළි වෙනවා අනුරාධපුර යුගයේ වෙසක් සැමරීමක් ලෙස මග දෙපස සිතුවම් වලින් අලංකාර කර තිබූ බව. පුරාණයේ සිට වෙසක් සැමරීමේ දී මූලිකත්වය ලැබුණේ ප්‍රතිපත්ති පූජාවට යි. වෙසක් උත්සවය සැණකෙළියක් බවට පත් වෙන්නේ පොළොන්නරු යුගයේ දීයි. ඒකට හින්දු බලපෑම ලැබෙන්න ඇති.පසු කාලීනව වෙසක් සැණකෙළි බැලීමට බොහෝ පිරිස් නගරවල වීදි සංචාරය කළ ආකාරයක් දැක ගන්න ලැබෙනවා. මට මතකයි අපි පුංචි කාලයේ අවුරුද්දටත් වඩා බලා සිටියේ වෙසක් එන කල්.ඒ මොකද වෙසක් උත්සවයේ තිබුණා විචිත්‍රවත් බවක්. අපි ගමේ නිදහසේ ඇවිදලා දන්සැල් භුක්ති විඳලා තොරණ, පහන්කූඩු බලලා මහත් විනෝදයක් ලැබුවා. හැබැයි වෙන පෝය වලට සිල් සමාදන් නොවුණත් වෙසක් පෝය දිනයට නම් හැමෝම වගේ සිල් සමාදන් වුණා.
කාලයක් ගත වෙද්දී වෙසක් දිනය රාජ්‍ය නිවාඩු දිනයක් බවට නිල වශයෙන් පත් වුණා. දැන් එය ශ්‍රී ලාංකිකයන්ගේ මැදිහත්වීම මත අන්තර්ජාතික නිවාඩු දිනයක් වී තිබෙනවා.කොහොම වුණත් අතීතයේ සිට වෙසක් දිනය නොනිල වශයෙන් නිවාඩු දිනයක් වෙලයි තිබුණේ.තුන්වැනි උදය රජු පිහිට වූ බදුලු සෙල්ලිපිය සඳහන් කරන විදියට පෝය දිනට වෙළඳාම් කරන අයට දඬුවමක් ලෙස මහියන්ගන විහාරයට තෙල් බද්දක් ගෙවීමට සිදු වුණා.ඒ කියන්නේ ඒ දිනයට නිවාඩු ගෙන ලෞකිකත්වයෙන් බැහැරවී සිටිය යුතු බවට තිබූ සම්ප්‍රදායයි.
මිනිසුන් ආමිස හා ප්‍රතිපත්ති කියන පූජාද්වයෙන්ම වෙසක් සැමරූ බවට පැහැදිලියි. මේ වෙසක් සැමරීම සමඟ බුදු දහමේ ගැඹුරු දර්ශනය සම්බන්ධ වුණේ කෙසේද ?
බුද්ධ ධර්මය පදනම් කරගෙනයි බෞද්ධ සංස්කෘතිය හා දර්ශනය ගොඩනැගෙන්නේ. දර්ශනය කියන්නේ මනුෂ්‍ය ජීවන පැවැත්ම වඩාත් අර්ථවත් කර ගැනීමට ඉදිරිපත් කළ දැක්මයි. පටිච්චසමුප්පාදය, චතුරාර්ය සත්‍ය, ආදිය අපි දර්ශනය ලෙස හඳුන්වනවා.මේ දාර්ශනික කාරණා මිනිසුන්ට ගෙනියන්න ඉවහල් වුණේ බෞද්ධ සංස්කෘතියයි. වෙසක් උත්සවයට වැඩි පුර සම්බන්ධ වෙලා තියෙන්නේ බෞද්ධ දර්ශනයට වඩා බෞද්ධ සංස්කෘතියයි.අපි මුලින් කතා කළ බොහෝ දේ අයත් වෙන්නේ සංස්කෘතිකාංගවලට යි. තොරණ, පහන් කුඩු, පෙරහර ආදී මේ සියල්ල නියෝජනය කරන්නේ බෞද්ධ සංස්කෘතියයි. බෞද්ධ සංස්කෘතිකාංග කල එළි බහින්නේ වෙසක් පොහෝ දිනයට යි.ඇතැම් කෙනෙක්ට වෙසක් සැරසිලිවලට යම් යම් දාර්ශනික අර්ථ නිරූපණ දෙන්න පුළුවන්. චෛත්‍යයෙන් ත්‍රිශික්ෂණ පිළිබිඹු වෙනවා වගේ අට පට්ටමෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබිඹු වෙනවා කියන්න පුළුවන්.ඒත් මේවා බෞද්ධයාගේ ශ්‍රද්ධාවත් නිර්මාණාත්මක හැකියාවත් පෙන්නුම් කරන අවස්ථා විදියටයි මම දකින්නේ. මේවා බෞද්ධ සංකේත විය යුතුත් නෑ. බෞද්ධ සංකේත ලෙස භාරගත යුතුත් නෑ.පහන්කූඩු දැන් ගත්තාම අට පට්ටම් නෙළුම් මල් විතරක් නෙවෙයි, ප්ලේන්, වල්ගතරු ආදියත් තියනවා. ඒ නිසා මේ දේවලින් දාර්ශනික අගයක් බලාපොරොත්තු වෙන්න බැහැ.දානය හා සීලය බෞද්ධ දර්ශනයේ මූලිකාංගය වුණත් එහි ගැඹුර තිබෙන්නේ භාවනාව තුළයි. ඒ නිසා වෙසක් උත්සවය හා සම්බන්ධයෙන් වැඩි නැඹුරුවක් දකින්න ලැබෙන්නේ බෞද්ධ සංස්කෘතියටයි.
වර්තමානයේ වෙසක් සැමරීම පැතිකඩ කීපයකින් සිදු වෙනවා නේද ?
වර්තමානයේත් අර කියපු අංග නැතුවා නෙවෙයි. ඒත් අද ඇතැම් දේවල් සීමාව ඉක්මවා ගිහින් තියනවා. ඒකට හොඳම උදාහරණය තමයි වෙසක් කාඩ් පත.ඇතැම් වෙසක් කාඩ් පත් හුවා දක්වන්නේ බුද්ධාලම්භන ප්‍රීතිය හෝ නිරාමිසය නොවෙයි ආදරය රාගය වැනි දේවල්. ඒ ඒවාට හොඳ වෙළෙඳ පොළක් ලබා ගන්නයි. ආර්ථිකය මුල් කරගෙන වෙසක් සමරණ එක හොඳ දෙයක් නෙවෙයි. ඒකෙන් මූලික අරමුණු යටපත් වෙනවා.තොරණක් වුණත් ජාතක කතාවක් හෝ වෙනත් බෞද්ධ සාහිත්‍යයේ වැදගත් කතාපුවතක් හරහා සමාජයට පණිවිඩයක් ලබාදීමට නිර්මාණය වුණත් නව තාක්ෂණය අනිසි ලෙස භාවිතා කිරීම හරහා එහි සරලබව හා චාම් බව නැතිවී තිබෙනවා. ඒ වගේම සිත් නිවාලන ජවනිකා වෙනුවට හැඟීම් අවුස්සන ජවනිකා එකතු වෙලා තියනවා.
සතර දිගින් එන ඕනෑම කෙනෙක්ට කුසගින්න නිවා ගන්න නොමිලයේ ආහාර වේලක් දෙන්නයි දන්සැල් පවත්වන්නේ. දැන් ඇතැම් පිරිස් වෙසක් ආසන්න වන විට සංවිධානාත්මකව දන්සැල් සඳහා ආධාර එකතු කරනවා.ඒ ඕනෑම කෙනෙක්ගේ කුසගිනි නිවීම සඳහා නොවෙයි. ඒ අයගේත් ඒ අයගේ පවුල්වල අයගේත් කුසගිනි නිවීමටයි. මෙවැනි දේවලින් අපේ සාරධර්ම විනාශ වෙනවා. අපි මේ උත්සව හා පුජා පැවැත්විය යුත්තේ කාටවත් කරදරයක් හිරිහැරයක් නොවෙන විදියටයි.ස්වභාවිකත්වයටවත් හානියක් නොකරන්න කියා දේශනා කළ උතුමන්ගේ තෙමඟුල සිහි කිරීමේදී අන් අයට හානියක් සිදු කරන්නේ් කොහොමද ? තොරණ නිර්මාණයේදී විශාල වශයෙන් පුවක් ගස් වලට හානි සිදු වෙනවා නම් ඊට විකල්පයක් සෙවිය යුතුයි. නැතුව මේවා අධෛර්යමත් වී නවතා දැමීම නොවෙයි කළ යුතු වෙන්නේ.
අපි අපේ අනන්‍යතාව තබාගෙන වෙසක් උත්සවය සැමරීම සඳහා ඔබ වහන්සේ දේශනා කරන්නේ මොන විදියේ ක්‍රමයක් ද ?
මේ කිසිවක් නීති මගින් පාලනය කරන්න බැහැ. මේ පිළිබඳ සමාජය දැනුවත් කර නිවැරැදි අවබොධයක් ලබාදී අවංකව වෙසක් සැමරීමට දායක කර ගැනීමටයි උත්සාහ කළ යුතු වෙන්නේ.පසුගිය තිස් වසරක යුද්ධය අපේ ජන ජීවිතයේ අනෙකුත් වැදගත් අවස්ථාවන්ට මෙන්ම වෙසක් උත්සවයටත් බලපෑම් එල්ල කර තිබුණා. මිනිස්සුන්ට නිදැල්ලේ එකතුවෙලා තොරණක් නරඹන්න දන්සැලක් පවත්වන්න අවස්ථාව ලැබුණෙ නෑ.ඒ නිසා විසිතුරු පහන් කූඩු වෙසක් තොරණ ආදිය නිර්මාණය වීම සීමා වුණා. දැන් ඒ සමය නිමාවී තිබෙන නිසා අපට නිදහසේ වෙසක් සමරන්න පුළුවන්.පසුගිය වකවානුවේ අප දුටුවා මිනිසුන් ප්‍රතිපත්ති පූජාවට වැඩි නැඹුරුවක් දක්වන බව. විශාල වශයෙන් මනුෂ්‍ය ඝාතන සිදුවන දුක්ඛදායක පුවත් නිතර අසන දකින යුගයක මිනිසුන්ට ජීවිතය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමේ අස්ථිර බව ගැඹුරින් කල්පනා වුණා.මරණයේ සෙවණැලි නිතර දකින සමාජයක මිනිසා නිතර වෙහෙර විහාර වලට රැස් වුණා. ප්‍රතිපත්තිමය වශයෙන් සිල් සමාදන් වී භාවනා කළා. මෙය ලංකා බෞද්ධ සංස්කෘතියේ සංවර්ධනාත්මක අවදියක් වුණා.
මෙසේ ආමිසයටත් වඩා ප්‍රතිපත්තියට මුලිකත්වය දුන් ජනතාව තවදුරටත් දිරිමත් කරලා වෙසක් දිනට පමණක් නෙවෙයි සියලු පෝය දිනවලටත් පමණක් නොවෙයි මුළු ජීවිත කාලයේ සෑම දිනක්ම ප්‍රතිපත්ති ගරුකව ජීවත්වන සමාජයක් බිහි කරන්න මේ වෙසක් පෝය ආරම්භයක් කර ගනිමු.