Wednesday, December 8, 2010

සෑම කරුණකදීම සත්‍යවාදී වීමෙන් සමාජයට ශිෂ්ඨ සම්පන්න පුරවැසියන් බිහිවේ


සිංහල ශබ්ද කෝෂයේ කර්තෘ,බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අකුරටියේ නන්ද හිමි
ලොව බෞද්ධ රටවල් අතර අප දහම් දිවයින තවමත් ප්‍රමුඛස්ථානයේ පවතී. විවෘත ආර්ථිකයත් සමඟ, බටහිර බලපෑම් නිසා බෞද්ධ සංස්කෘතියේ යම් යම් පරිහානිය තත්ත්වයන් ඇතිවී තිබුණත් ශ්‍රී ලාංකික සමාජයේ ගමත්, පන්සලත් අතර තවමත් ඍජු සම්බන්ධතාවයක් පවතී. උදා වී තිබෙන්නේ මේ සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කොට බෞද්ධ දර්ශනය ගරු කරන දැහැමි සමාජයක් ගොඩනැඟීමේ අවස්ථාව ය.
මෙහිදී බෞද්ධ භික්ෂුන් වහන්සේ වෙත සුවිශාල වගකීමක් පැවරේ. ගමේ පොදු කටයුතුවල දී මෙන් ම තම දායකයින් මුහුණ දෙන්නා වූ අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් හමුවේදී ඒවා විසඳා දීමට උන්වහන්සේ මුල් වී කටයුතු කරනවා නම් සමාජය ධාර්මිකව හසුරුවා ගැනීම අපහසු වන්නේ නැත.
මෙරට බෞද්ධ විහාරස්ථාන ප්‍රමාණයෙන් දස දහස් හාරසියයකි. එයින් විහාරස්ථාන හය සියයකටම ප්‍රමාණවත් භික්ෂූන් වහන්සේ නැත. මේ ගැටලුව විසඳීම සඳහා අගමැතිතුමා ගේ මූලිකත්වයෙන් කුල දරුවන් සසුන්ගත කිරීමේ වැඩපිළිවෙළක් අරඹා තිබීම බොදු ජනතාව ගේ භාග්‍යයකි.
2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට තරම් අපි වාසනාවන්ත වෙමු. ඒ 2700 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට හෝ නැවත 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් යම් වැඩකොටසක් ක්‍රියාත්මක කිරීමට නොහැකි නිසා ය. මේ වාසනාවන්ත අවස්ථාව උපයෝගී කරගනිමින් බෞද්ධ හැඟීමක් ඇති කර ගැන්මට, සාර ධර්ම පිරි සමාජයක් ඇති කිරීමට, ආගමික නායකයන්ට, වැඩිහිටියන්ට ගරු කරන සමාජයක් බිහි කිරීමට අධිෂ්ඨාන කරගත යුතු ය.
අද රටේ සෑම විහාරස්ථානයකම පාහේ පෝය දින ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වේ. ධර්ම දේශනා පැවැත්වේ. ඉතිහාසයේ කවර කලෙක හෝ මෙතරම් ධර්ම දේශනා පැවැත්වුණු යුගයක් තිබුණේ නැත. කනගාටුදායක වන්නේ ධර්මය ශ්‍රවණය කරන, පිළිපදින පිරිස සීමාසහිත වීම ය. වර්තමානයේ බෝධි පූජාමය පිංකම්, කඨින පිංකම්, වස් පිංකම් ආදියෙහි යම් ප්‍රබෝධවත් බවක් දක්නට ලැබුණත් එහි පරමාර්ථය අධ්‍යාත්මික පාරිශුද්ධිය කරා ළඟා වීම නොවේ.
භෞතිකමය වශයෙන්, අප පීඩාවට පත් කරන සංකීර්ණ ප්‍රශ්න වලට විසඳුම් සොයා ගැනීමේ අරමුණ එහි දී ප්‍රධාන වේ. එහෙත් බෞද්ධයින් ගේ එක්රැස්වීම සමගිව ආගමික කටයුතුවල නිරතවීම අගය කළ යුතු ය.
විශේෂයෙන් අද කඨින පිංකම් ව්‍යාපාරයක් බවට පත් වී තිබීම බෞද්ධයා ගේ අවාසනාවකි. වස් විසීම පිළිබඳ අවධානය ඇත්තේ ම නැත. ආටෝපවත් ලෙස හා ව්‍යාපාරික මට්ටමින් කැරෙන මෙවැනි පිංකම්වලින් කිසිදු අධ්‍යාත්මික ප්‍රබෝධයක් ඇති වන්නේ නැත.+
බුදු දහම නිරන්තරයෙන් ම සංයමය, සංවරය හා ආත්ම දමනය අගය කරන ශ්‍රේෂ්ඨ ආගමික දර්ශනයකි. ගිහි ජීවිතයේ දී පංචේන්ද්‍රිය පිනවීම ගිහියාට අවස්ථාව තිබුණත් ආගමානුකූල කටයුතුවල දී පරමාර්ථය හාත්පසින් ම වෙනස් ය.
සැබෑ බෞද්ධයා නිරතුරුවම උත්සාහ කළ යුතු වන්නේ තම අධ්‍යාත්මය සංවර්ධනය කර ගැනීමට ය. පිරිසුදු කරගැනීමට ය. ජීවිතයේ සැබෑ අධ්‍යාත්මික ප්‍රබෝධයක් ඇති වීමට නම් ගෘහය තුළ දී ඊට අවශ්‍ය පදනම සකසා ගැනීමට උත්සාහ කළ යුතු ය. මේ ලොව බිහිවන සෑම පුද්ගලයකුගේ ම මුල් පාසල නිවස ය. ගෙදර හොඳ පරිසරයක් නිර්මාණය නොවුණේ නම් ඒ නිවැසියන් ගේ ජීවිතය සාර්ථක වන්නේ නැත.
යහපත් පවුල් ජීවිතයක් සහ යහපත් අධ්‍යාත්මයක් ගොඩ නඟා ගැනීම සඳහා සමාජය සුරක්ෂිත කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ ගිහියාට පංචශීල ප්‍රතිපදාව අනුදැන වදාළහ. මතුපිට අර්ථයෙන් ගෙන සතුන් මැරීමෙන් වැළකීම, සොරකමින් දුරු වීම ආදී වශයෙන් කටයුතු කිරීමෙන් පමණක් ශීලය ආරක්ෂා වන්නේ නැත. පන්සිල් සුරැකි පමණින් සමාජයක් සුරක්ෂිත වන්නේ ද නැත.
අපි සතුන් මැරීමෙන් වැළකී සිටින්නේ යැයි සිතමු. සතුන් මැරීමෙන් වළකින සැබෑ බෞද්ධයා නම් අන්‍යයන් ද ඒ හිංසනයෙන් වළකාලීමට කටයුතු කරන්නේ ය. ඔහු කෙරෙහි සමාජයේ හිංසනය නැති කිරීමට, සත්ත්ව කරුණාව වර්ධනය කරන මෛත්‍රි සහගත සිතිවිලි ඇති විය යුතු ය. මානව හිතවාදී ගුණයෙන් යුතු විය යුතු ය.
තමන් දුක් මහන්සියෙන් උපයා ගන්නා ධනය තවත් කෙනෙක් උදුරා ගන්නවා දකින්නට ඔබ කැමැති නැත. සමාජයේ අන්‍යයන් ද කැමති නැත.
‘අත්තානං උපමං කත්වා
නහා න්‍යෙය නඝාතයේ’ සෑම මොහොතකම තමන් උපමාවට ගෙන සමාජයේ අන්‍යයන්ට හිංසා පීඩා කිරීමෙන් වැළකී සිටිය යුතු ය. අනුන් ගේ දේ සොරකම් නොකරනවා සේ ම සමස්ථ සමාජයේ ම යම් සුරක්ෂිත බවක් ඇති විය යුතු ය.
අන්සතු දේ පැහැර ගැනීම නම් බඩු භාණ්ඩ සොරකම් කිරීම පමණක් නොවේ. කාලය, ශ්‍රමය සොරා ගැනීම ද බරපතල වරදකි. තමන් ගේ රාජකාරිය පැහැර හරිනවා නම්, අලසව හිඳ, තමන් ගේ වගකීම නිසියාකාරව ඉටු කිරීමෙන් වළකිනවා නම් එය සුවිශාල වරදකි. ශ්‍රමය සූරාකෑම, ශ්‍රමයට නිසි වැටුපක් නොදීම ද සොරකමකි.
‘පත්තවේතනං’ තම සේවකයන්ට ප්‍රමාණවත් පරිදි බත් වැටුප් දීම සේව්‍යයා ගේ යුතුකම වන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. දානමය පිංකමක දී වුව ද ‘බාහා බල පරිචිත්තා’ දහදිය මහන්සියෙන් හරි හම්බ කළ ධනය වැය කිරීම ධාර්මික වන බව උන්වහන්සේ අනුදැන වදාළහ.
පවුලක අඹුසැමියන් එකිනෙකාට අවංකව හැසිරෙනවා නම්, ස්වාමියා තම බිරිය හෝ බිරිය තම ස්වාමියා හෝ ඉක්මවා නොයනවා නම් ඒ පවුලේ ආරවුල් ඇති වන්නේ නැත. තවත් පවුලක් කඩා ඉහිරෙන්නේ ද නැත. තමන් ගේ නිරෝගී බව මෙන් ම ආර්ථිකය ද සුරැකෙන්නේ ය.
සමාජයේ පිළිකුලට භාජනය නොවන්නේ ය. එදිනෙදා ජීවිතයේ සෑම ක්‍රියාකාරකමක දී ම අප සත්‍යවාදී විය යුතු ය. සමාජයට ශිෂ්ඨ සම්පන්න පුරවැසියෙක් වන්නේ එවිට ය. බොරු කීමෙන් වැළකීමෙන් පමණක් ‘මුසාවදායෙන්’ දුරු වූ වා යැයි නොසිතිය යුතු ය.
ලොව ජීවත්වීමට සුදුසු ම රට ලෙස පිළිගැනෙන පින්ලන්තයේ ජනතාව සිය ආචාර ධර්ම ලෙස පිළිගත්තේ බෞද්ධ ජනතාව විසින් ආරක්ෂා කරන්නා වූ මේ පංචශීලයයි. රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වුව ද කට වචනයට අනුව සුදුසුකම් පිළිගැනීම මේ රටේ සිරිතකි. සහතිකපත් අවශ්‍ය වන්නේ පෞද්ගලික ලිපි ගොනුවට එක් කිරීම සඳහා පමණි. එරට ජනතාව එතරම් සත්‍යවාදී ය.
සුරාපානයේ නිරතවන පුද්ගලයා ගේ නුවණ දුර්වල වේ. ජීවිතයේ සෑම කටයුත්තක දී ම, ආර්ථික හෝ වේවා, සමාජයීය හෝ වේවා සෑම අවස්ථාවකදී ම පසුගාමී බවක් ඇතිවේ. එවැනි පුද්ගලයා ගෘහයට පමණක් නොව සමාජයට ම අහිතකර ය.
සමාජයක යහපැවැත්ම සඳහා එක්තරා ප්‍රමාණයක ස්වයංපෝෂිත ආර්ථික රටාවක් ද, ක්‍රියාත්මක විය යුතු ය. ‘දාළිද්‍යං භික්ඛවේ දුක්කස්ස’ දිළිඳුකම දුකක් බව බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළහ. දිළිඳුබවින් පෙළෙන පුද්ගලයාට කොපමණ ධර්මය දේශනා කළත් පලක් නැත. මේ නිසා යම් පුද්ගලයෙක් ආර්ථිකමය වශයෙන් මෙන් ම අධ්‍යාත්මික වශයෙන් ද යම් දියුණුවකට පැමිණීමට අපේක්ෂා කරන්නේ නම් පළමුව තමා හා තම පවුල පෝෂණය කළ හැකි ජීවනෝපාය මාර්ගයක් සකසා ගත යුතු ය.
අධිෂ්ඨානය හා නොපසුබට උත්සාහය තිබේ නම් එය එතරම් අසීරු කටයුත්තක් වන්නේ නැත. ඉතා දිළිඳු පුද්ගලයන් තම වීර්යය නිසාම සමාජයේ ඉහළ ස්ථරයන්ට පැමිණ, ආර්ථික හා සාමාජයීය වශයෙන් පමණක් නොව අධ්‍යාත්මික දියුණුව වෙත ද ළඟා වී ඇති බවට අප ජීවත්වන සමාජයෙන් කොතෙකුත් උදාහරණ සොයා ගත හැකිය.
පවුලේ ආර්ථිකය ගොඩනඟා ගන්නට වෙහෙසෙන මවුපියන් තම දූ දරුවන් ගේ යහ පැවැත්ම වෙත ද දැඩි අවධානයකින් සිටිය යුතු ය. දරුවා හැඩ ගැසෙන්නේ ගෙදර පූර්වාචාර්යවරුන් ගේ ශික්ෂණය මත ය. දරුවා සමාජ ගත වන්නේ පාසල හරහා ය.
අද බොහෝ දරුවන් වෙතින් අවංක බව ගිලිහී ගොස් තිබේ. වැඩිහිටියන්ට ගරු කිරීම ගිලිහී තිබේ. අප කුඩා කල මවට හෝ පියාට ‘ඔයා’ යනුවෙන් ආමන්ත්‍රණය කළේ නැත. අද සමහර දරුවන් කට පුරා තම අම්මට තාත්තට ඔයා යනුවෙන් ආමන්ත්‍රණය කරන ආකාරය පෙනේ. එය එතරම් සැලකිය යුතු දෙයක් නොවේ යැයි ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් මෙහි දී සිදුවන්නේ දරුවා කෙරෙන් තම මවට පියාට තිබෙන්නා වූ ගරුත්වය ගිලිහී යාමය.
ඒ දරුවා සමාජයේ දී ද ගරු කටයුතු ලෙස නොහැසිරෙන්නේ ය. වත්මන් දරු පරපුර වෙතින් ගුණ දහම් ගිලිහී යාමට තවත් එක් හේතුවක් වන්නේ මවුපියන් ගේ අනවශ්‍ය හුරතල් කිරීම ය. වරදක දී වුව දරුවාට නිසි මඟ පෙන්වා දෙනවා වෙනුවට තව තවත් සුරතල් කිරීමට සමහර වැඩිහිටියන් පෙළඹී ඇත. මවුපියන් ගේ පළමු වැනි යුතුකම වන්නේ ‘පාපා නිවාරෙන්තී’ දරුවා වරදින් මුදවා ගැනීම ය. දෙවනුව ‘කළ්‍යාණේ නිවේසෙන්තී’ යහපත් දේ හුරු කිරීම ය. තෙවනුව ‘සික්ඛං සික්ඛාපෙන්තී’ ශිල්පය ලබා දීම ය. එහෙත් අද ප්‍රමුඛතාවය ලැබෙන්නේ ශිල්පය ලබාදීමට ය.
චර්යා ධර්ම නොහඳුනන, ගුණ ධර්ම ප්‍රගුණ නොකළ දරුවා අධ්‍යාපනික වශයෙන් කොතරම් උසස් තත්ත්වයකට පැමිණියත් සමාජයට ඔහුගෙන් යහපතත් බලාපොරොත්තු විය නොහැකි ය. විශේෂයෙන් තරගකාරී අධ්‍යාපන රටාව තුළ දරුවා ඉදිරියට ගෙන යන්නට උත්සාහ දරන ඇතැම් මවුපියන් කාල වේලාවක් නොබලා දරුවා පෞද්ගලික පන්ති කරා යොමු කරවීම අද සුලබ දසුනක් වී තිබේ.
මෙහිදී සිදුවන්නේ ප්‍රශ්නෝත්තර ක්‍රමයට දරුවාගේ මනස පිරවීමක් පමණක් වන බවත්, අවසානයේ දී දරුවාගේ මනසේ කිසිදු කරුණක් ග්‍රහණය නොවී පවතින බවත් මවුපියන් අවධාරණය කරගත යුතු ය. පාසලේ දී මේ තත්ත්වය වෙනස් වන්නේ විධිමත් ලෙස පුහුණුව ලැබූ ගුරු මණ්ඩලයක් විසින් දරුවාට විධිමත් අධ්‍යාපනයක් ලබාදීම නිසා වන බව ද සිහි කළ යුතු ය.
අද මඟ තොට, පාසල් දහම් පාසල් හා අධ්‍යාපනික ආයතන අභියස ‘2600 සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු’ යන තේමා පාඨය යොදා දැන්වීම් පුවරු දකින්නට ලැබේ. මවුපියන් විසින්, දරුවන් ගේ නැණ නුවන පාදන ගුරුවරුන් විසින් මෙහි අරුත දරුවාට වටහා දිය යුතු ය. ගුණ ධර්ම හඳුනන දරුවෙක් වූයේ නම්, නිවැරැදි චර්යාවන්ගෙන් යුතු දරුවෙක් වූයේ නම් අනාගතයේ යහපත් පුරවැසියෙක් ලෙස තමන් ගේ දියුණුව උදාකරගත හැකි බව වටහා දිය යුතු ය.
අනාගත සමාජයට උදාර පුද්ගලයෙක් විය හැකි බව, සමාජයේ ආදරය ලබන පුද්ගලයෙක් විය හැකි බව පෙන්වා දිය යුතු ය. ‘වැරැදි කරන්න එපා, බොරු කියන්න එපා, සතුන් මරන්න එපා යනුවෙන් යම් පීඩනයකට හසුකොට නිවැරැදි මාර්ගයට ගන්නවා වෙනුවට නිර්මාණශීලී ක්‍රියාකාරකම් ඔස්සේ දරුවාගේ මනසට ඒ පණිවුඩය ගෙන යා යුතු ය බණ කතා, චරිත කතා, වීර කතා ආදිය ඇසුරින් දරුවාට නිර්මාණශීලීව සිතන්නට, නැවත නැවත සිතන්නට අවකාශය ලබාදිය යුතු ය. එසේ කටයුතු කරන්නේ නම් පිළිවෙතින් සපිරිණු අනාගතයක් ගොඩනඟා ගැනීම අපහසු වන්නේ නැත.
ඡායාරූපය - විමල් කරුණාතිලක