Saturday, September 18, 2010

වර්ෂාවසාන පාඨ පරීක්ෂණය 2010

ධර්ම විනය
සිංහල සාහිතය්‍ය
සිංහල ව්‍යාකරණ හා රචනා
සිංහල සාහිත්‍ය ඉතිහාසය
සිංහල ඡ‍න්දෝලංකාර

පාලි සාහිතය්‍ය
පාලි ව්‍යාකරණ හා රචනා හා පරිවර්තන
පාලි  සාහිත්‍ය ඉතිහාසය
පාලි  ඡ‍න්දෝලංකාර
පාලි පද්‍ය රචනා හා ගද්‍ය රචනා
සංස්කෘත සාහිතය්‍ය
සංස්කෘත ව්‍යාකරණ හා රචනා හා පරිවර්තන
සංස්කෘත සාහිත්‍ය ඉතිහාසය
සංස්කෘත ඡ‍න්දෝලංකාර
සංස්කෘත පද්‍ය රචනා හා ගද්‍ය රචනා
ඉංග්රීසි
ගණිතය
විද්‍යාව

මේ ආකාරයට ඒ ඒ පන්ති වලට අදාළ ප්‍රශ්නපත්‍ර සංඛ්‍යාවන් ඇති අතර කාලසටහන් හා ඒ පිළිබද තොරතුරු ලබන මස අවසාන සතියේ දී ලබා දෙනු ලැබේ.

විද්‍යොදය පිරිවෙණේ ආචාර්ය මණ්ඩලය

පරිවෙණාධිපති- අතිපූජ්‍ය බලන්ගොඩ සොභිත නාහිමි
කෘත්‍යාධිකාරී- අතිපූජ්‍ය අකුරටියේ නන්ද නාහිමි


පූජ්‍ය අකුරටියේ විමලවංස හිමි
පූජ්‍ය මහාචාර්ය වෑගම පියරතන හිමි
පූජ්‍ය මහාචාර්ය නාබිරිත්තන්කඩවර ඤාණරතන හිමි
පූජ්‍ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමි
පූජ්‍ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පිටිගල විජිත හිමි
පූජ්‍ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අලුබෝමු‍ල්ලේ ධම්මාලංකාර හිමි
පූජ්‍ය රාජකීය පණ්ඩිත ගෝණදෙණියේ පඤ්ඤාරතන හිමි
පූජ්‍ය රාජකීය පණ්ඩිත විජිතපුර ගුණරතන හිමි
පූජ්‍ය රාජකීය පණ්ඩිත ගල්කිරියාගම විමලානන්ද හිමි
පූජ්‍ය ශාස්ත්‍රවේදී හීන්බු‍න්නේ සමිත හිමි
පූජ්‍ය රාජකීය පණ්ඩිත පුස්සැල්ලාවේ ඤාණරතන හිමි
පූජ්‍ය රාජකීය පණ්ඩිත වල්පොල පියරතන හිමි
පූජ්‍ය රාජකීය පණ්ඩිත තිස්සමහාරාමයේ නන්දවිමල හිමි
පූජ්‍ය රාජකීය පණ්ඩිත කන්දේගම දීපවංසාලංකාර හිමි
පූජ්‍ය රාජකීය පණ්ඩිත පහළඔබඩ ඤාණානන්ද හිමි
පූජ්‍ය රාජකීය පණ්ඩිත මතුරට පඤ්ඤානන්ද හිමි
පූජ්‍ය රාජකීය පණ්ඩිත මුවපැටිගේවෙල පඤ්ඤාලෝක හිමි
පූජ්‍ය රාජකීය පණ්ඩිත බෝදාගම සුමනජෝති හිමි
මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන මහතා
ශාස්ත්‍රවේදී ගයාන් චානුක විදානපතිරණ මහතා
ගණිත විද්‍යා උපදේශක යූ. එච්. චරිත් ගයාශාන් මහතා
ඉංග්‍රීසි භාෂා උපදේශක එම්. ප්‍රියදර්ශන මහතා

දැයම පොබ කළ අබිරු සිහරදු.............................................

විෙද්‍යාදය පිරිවෙණේ ආචාර්ය, රාජකීය පණ්‌ඩිත, කන්දේගම දීපවංසාලංකාර හිමි
 
අධික හිරු රැසින් වියළුණ ඇළ දොළ ගහ කොළ සතා සිවුපාවා පමණක්‌ නොව මිනිස්‌ ජීවිත ද අතිශයින් පරිපීඩිතව පවතින ප්‍රදේශයකි පුලතිසි පුරවරය. එහි උපරිමය දිඹුලාගල සතුය. අතීත නරවිරුවන්ගේ උතුම් ක්‍රියාදාමයන් නිසා බත බුලතින් සරුසාරව ස්‌වයංපෝෂිතව පැවැති පුලතිසි රාජධානිය සතුරු ආක්‍රමණ හා දේශපාලන කලිකලහයන් නිසා පරිහානියේ අන්තයටම ගමන් කළේය. ඉන් වසර දහස්‌ ගණනකට පසු දිඹුලාගල ඇතුළු තමන්කඩුව ප්‍රදේශය යළි ජාතියට දායාද කරදෙනු ලැබුයේ අසරණ සරණ සිරිකස්‌සප මාතර කිතලගම සිරි සීලාලංකාර මහා ස්‌වාමිපාදයාණන් වහන්සේය. උන්වහන්සේ ජාතියට අහිමි කර 2007.05.26 දිනට වසර පහළොවකි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

දුර්ලභ පුරුෂයන් සැම තැන නූපදින බවත් යම් තැනක උපන්නොත් ඒ ගම නගරය පළාත අතිශයින්ම බැබැලීමට පත්වන්නේය යන්න බුද්ධ දේශනාවේ සඳහන් වන්නකි. ඒ බව පසක්‌ කරමින් කවදත් සිරිලක වීරයන් පහළ වූ දකුණු පළාතේ මාතර කිතලගමදී අප නාහිමිපාණන් වහන්සේ ජන්ම ලාභය ලදහ. උන්වහන්සේ රුහුණු රට උපන්න ද සිය සේවාවන් දියත් වූයේ දිඹුලාගල කේන්ද්‍ර කරගෙනය. ඒ නිසාම උන්වහන්සේ කිතලගම හාමුදුරුවෝ යන නාමයට වඩා දිඹුලාගල හාමුදුරුවෝ යන නාමයෙන් ජනතාව අතර ප්‍රචලිත වූහ. අලි කොටි වග වලසුන්ගේ රජ දහනක්‌ සේම වැදි ජනයාගේ වාස භූමියක්‌ව පැවැති දිඹුලාගලට වැඩම කළේ බවුන් වඩා නිවන් සෙවීමටය. පැමිණි අදහස පසෙක දැමීමට සිත්වූයේ ළයෙහි හටගත් අපමණ කරුණාව නිසාමය. කැලයේ ඉපදෙමින් කැලයේම ජීවත් වී කැලයේම මියෑදෙන වැදි ජනයා දුටු විට "ඉස්‌සරවෙලා මිනිස්‌සු හදනවා. ඊළඟට හැදිච්ච මිනිසුන්ගේ උදව් ඇතිව රට හදනවා. එතකොට වයස්‌ ගත වේවි. වයස්‌ගත වුණාම බණ භාවනා කරනවා" යෑයි සිතු උන්වහන්සේ ජනතා සේවයට කැපවූහ.

කරකොළ, ඕලු, දඬු, නෙළුම් ඳඬු වළඳ මින් ද, ලී දඬු බැඳි මැස්‌සේ සැතපෙමින් ද, හිසට ගල් ගෙඩියක්‌ තබා ගනිමින්ද, සොයාගෙන ආ කරකොළ ආදිය සිය පාත්‍රයේ දමා පිසගෙන වළඳමින් ද පුරා අවුරුදු දොළහක්‌ පමණ අපමණ දුකක්‌ වින්දහ. මිනිසුන්ගේ පොදු යහපත සඳහාම සැතපුම් ගණන් පාවහන් නොමැතිවම පාගමනින් වැඩම කළ උන් වහන්සේගේ දෙපයෙහි කරගැට මතුවී දෙපතුලෙන් ලේ ගැලුව ද, කිසිම විටක එම ජීවිතය කටුක දෙයක්‌ සේ නොසිතූහ. පරෝපකාරය හැර වෙන අන් යමකින් උන්වහන්සේ ආත්ම තෘප්තියක්‌ නොලැබූ අපූරු යතිවරයෙකි. ඒ අපූර්වත්වයේ තවත් පැති කඩක්‌ නම් උන්වහන්සේගේ හදවත සිවුරෙන් වැසුණු එඩිතර සිංහල හදවතක්‌ වීමයි. එබැවින් අයුක්‌තියට අසාධාරණයට හිස නොනැමුවේය. එනිසාම උන්වහන්සේට බොහෝ පුද්ගලික ලාභයන් නැති වී ගියේය. උන්වහන්සේ ඒ ගැන අබමල් රේණුවකුදු කම්පා නොවූහ. මෙලෙස පරාර්ථය වෙනුවෙන් කටයුතු කරන අප නාහිමියන්ගේ සිත කීරි ගැසී ගිය අවස්‌ථාවක්‌ වූයේ සිංහල රට තුළ මහ ජාතිය වී සිටින සිංහලයන්ට මේ ප්‍රදේශයේදී අත්විඳින්ට සිදුව ඇති අසාධාරණකම් පිළිබඳවය. මඩකලපුව, තමන්කඩුව ඇතුළු ප්‍රදේශ දෙමළ ඊළාම් වාදයේ දුෂ්ට පාලන හස්‌ථයට නතු වෙමින් තිබිණි. ග්‍රාමසේවා නිලධාරියාගේ සිට ඉහළට ඇති සියලුම රාජ්‍ය ආයතනයන්වල කටයුතු සිදුවූයේ දෙමළ භාෂාවෙන් සේම ඔවුන්ට ඕනෑ පරිදිය. දරුවෙක්‌ ඉපදී උප්පැන්නය ලියාපදිංචියට ගිය විට දෙමාපියන් කියන සිංහල නම වෙනුවට දෙමළ නමක්‌ එහි ලිවීමට තරම් දෙමළ සාහසිකත්වය එහි ක්‍රියාත්මකව පැවතුණි. එයින් සිංහල ජාතියට අනාගතයේ දී මුහුණ දීමට සිදුවන භයානක අත්දැකීම් කල් තියාම දුටු අප නාහිමියෝ එම සාපරාධී ක්‍රියාවට එරෙහිව තම යුග මෙහෙවර දියත් කළහ. සිංහල නම් වෙනුවට දෙමළ නම් ලබාදීමේ ක්‍රියාදාමය සරුවට ක්‍රියාත්මක වෙමින් පැවැති නිසා එහි විසූ බොහෝ මිනිසුන්ගේ වාසගම් සිංහල වාසගමක්‌ වූ අතර නම දෙමළ නමක්‌ බවට පත්වී තිබිණි. හේරත් මුදුයන්සේලාගේ නාගරාජා අත්තනායක මුදියන්සේලාගේ සෙල්වරාජා ආදී නම් සහිත මිනිසුන් ප්‍රදේශයේ ජීවත් වන විට ඔවුන් දෙමළ මිනිසුන් නොව සැබෑ සිංහලයන් බවත්, දෙමළ නාසිවාදය විසින් ඔවුන් අසිංහලයන් බවට පත් කර ඇති බවත් දැනගත් අප නාහිමියෝ ඔවුන්ගේ උප්පැන්න නැවත වෙනස්‌ කරමින් සිංහල වාසගම් සහිත දෙමළ නම් ඇති වුන්ට සිංහල නම් ලබා දෙමින් සිය ජාතික මෙහෙවර ඉටු කළහ.

මේ පරිවර්තනය කියූ පමණින් සිදුවූයේ නැත. ඇතැම් විට තමන් වහන්සේගේ හිසට ඉහළින් එසවීමට තිබුණු කහ කුඩය අදාළ නිලධාරීන්ගේ හිස මතට වේගවත් ලෙස හෙළන්නට සිදුවූයේ සිංහල ජාතියට සිදුවෙමින් පැවැති මහා අසාධාරණය සාධාරණීකරණය කර ගැනීමටය. ඒ නිසාම ඇතැම් දෙමළ සංවිධාන හා ඊළාම්වාදයට උඩගෙඩි දෙන සිංහල සංවිධාන නාහිමියන් ඝාතනය කරන්නට උත්සාහ ගත් අවස්‌ථාවන් දහ හතරකි. එපමණක්‌ නොව උන්වහන්සේ තොප්පිගල දක්‌වා ඉඩම් දී ජනතාව පදිංචි කරවීමේ විශාල ජනපද ව්‍යාපාරයක්‌ දියත් කළහ. නමුත් එකල සිටි රාජ්‍ය නායකයා කන්ද උඩරට එක්‌තරා දෙමළ නායකයෙකු සතුව පැවැතියා යෑයි කියන ඡන්ද පදනමකට බිය වීම නිසාම ඒ දෙමළ නායකයාගේ උපදෙස්‌ අනුව දිඹුලාගල නාහිමියන් සිංහල ජාතිවාදය අවුස්‌සනවා යෑයි කියමින්ද, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්‌ දියත් කරනවා යෑයි කියමින්ද නාහිමියන් විසින් තොප්පිගල දක්‌වා පිහිටු වූ ජනපද සියල්ල අහෝසි කළේය. එහි විපාක අද සමස්‌ත ජාතියම අතවිඳිමින් සිටියි. එදා කරන ලද ඒ බියගුළු අමනෝඥ ක්‍රියාව නිසා යුද්ධයක්‌ කරමින් තොප්පිගල ප්‍රදේශය මුදා ගන්නට සිදුවූවා පමණක්‌ නොව එම ප්‍රදේශවල නැවත පදිංචි කිරීම්වලදී ද අවුල් සහගත තත්ත්වයක්‌ නිර්මාණය වීමේ පෙර ලකුණු දැනට මතුවෙමින් තිබේ. එදා අඳුර, දර්ශීව කටයුතු කළ නායකයන් ජනපද තහනම් කරමින් කඳුකරයේ ඡන්ද පදනම රැක ගන්නට සමත් වුවද ජනතා ශාපයෙන් ගැලවීමට නම් අද ද සමත් වී ඇති සෙයක්‌ නොපෙණේ. නමුත් අප නාහිමියෝ එයින් අධෛර්යයට පත් නොවී ගම්මාන අසූවක්‌ පමණ ඇති කළහ. මිනිසුන් දසදහස්‌ ගණනින් පදිංචි කළහ. මෙම ගම්මාන ටිකවත් ඉදිනොවන්නට දිඹුලාගල ද එල්ටීටීඊ සංවිධානයේ ප්‍රධාන කඳවුරක්‌ වන්නට ඉඩ තිබිණි. උන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ ඉදි වූ මාදුරුඔය ව්‍යාපාරය නිසා එම ජනපදිකයන් ගොඩ මඩ දෙකම සරුසාර ලෙස අස්‌වද්දා ගන්නටත් ඒ තුළින් ලෝකයට ණය නොවී ජීවත් වන්නටත් අවස්‌ථාව උදාකරගෙන ඇත. ඒ සෑම ගම්මානයකටම පාසලක්‌ සේම පන්සලක්‌ ද ඉදිකර දුන් අතර එම පාසල්වලින් අධ්‍යාපනය ලද බොහෝ පිරිසක්‌ මෙම පළාතේම පාසල් වලත් අනෙකුත් රාජ්‍ය ආයතනවලත් ඉහළ තනතුරු දරමින් ප්‍රදේශයටත් රටටත් මහ මෙහෙවරක්‌ සිදුකරමින් සිටින්නේ අප නාහිමියන්ට පින්සිදු වන්නටය.

අප නාහිමියෝ කිසිම විටක කුලවාදය පළාත්වාදය ජාතිවාදය අගය නොකළහ. ඒ බව උන්වහන්සේ පැවිදි කළ අටසිය ගණනක්‌ තරම් වන ශිෂ්‍ය පිරිස අතරින් පෙනෙයි. නොයෙක්‌ පළාත්වලින් පැමිණි අය ද නොයෙක්‌ කුලවල අයද වැදි දරුවන්ද දෙමළ දරුවන් ද කතෝලික ක්‍රිස්‌තියානි ආදී ආගම්වල දරුවන් ද පැවිදි කළ වුන් අතර වෙති. නමුත් උන්වහන්සේ ජාතිකවාදය ඉහළින් පිළිගත්හ. එනම් මේ රටේ මහ ජාතිය සිංහලයන් වන බවත් සිංහලයන්ට මහ ජාතියක්‌ වශයෙන් සෑම තැනකදීම නිසි තැන ලැබිය යුතු බවත් වෙනත් ජාතිකයන් මේ සත්‍යය තේරුම් ගෙන කටයුතු කළ යුතු බවත් අප නාහිමියන්ගේ මතය විය. මෙය ලෝකයේ සෑම රටකම පාහේ ක්‍රියාත්මක වන සාමාන්‍ය සිද්ධාන්තයකි. එදා නාහිමියන් මේ අදහස ප්‍රකාශ කරන විට ඇතැම් ගිහි පැවිදි පිරිස්‌ උන්වහන්සේට සිනහ වූහ. නමුත් එහි යථාර්ථය උන් වහන්සේ අපවත් කිරීමෙන් වසර පහළොවක්‌ ගත වන විට දේශපාලන වශයෙන්ද, ආර්ථික වශයෙන්ද සමස්‌ත ජාතියම අත් විඳිමින් සිටියි. මෙලෙස හදවතට එකඟව කතා කිරීම නිසාම නාහිමියන් ජාතිවාදී නාමයෙන් හංවඩු ගැසුවා පමණක්‌ නොව දේශපාලන භික්‍ෂුවක්‌ ලෙසින් ද හැඳින්වූහ. ඒ සියල්ලට සිනහ වී තමාගෙන් රට ජාතිය ආගම වෙනුවෙන් ඉටුවිය යුතු මෙහෙවර ඉටුකිරීමට උන්වහන්සේ පුරුදු වී සිටියහ. සිංහලයන්ට උදව් උපකාර කිරීමේදී බොරු කයිවාරුකාරයන්ගෙන් එවැනි නින්දා අපහාස ලැබීම අරුමයක්‌ නොවන බව අනගාරික ධර්මපාලතුමාගේ ශේ්‍රෂ්ඨ කියමනකින් උන්වහන්සේ අවබෝධ කරගෙන සිටියහ.

දිඹුලාගල නාහිමියන් උතුර හා නැගෙනහිර දෙපළාත තුළ සිංහල ගම්මාන පිහිටුවන විට අනාගත දෙමළ ඊළාම් රාජ්‍යයක සිහින බොඳ වී යන බව දැනගත් එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රධානතම ඝාතන ඉලක්‌කයක්‌ බවට, නාහිමියන් පත්විය. ඒ නිසාම එකල සිටි නායකයෝ නාහිමියන්ගේ ආරක්‍ෂාව තහවුරු කළහ. නමුත් පසු කාලීනව පත්වූ දේශපාලන නායකයන් නාහිමියන් එල්ටීටීඊ යේ ඝාතන ඉලක්‌කයක්‌ බවට පත්ව තිබියදීම නාහිමියන්ගෙන් පලිගැනීම සඳහා යොදා තිබුණු ආරක්‍ෂක අනු කණ්‌ඩය 1995.02.04 වැනිදා ඉවත් කරන ලදී. එලෙස යොදවා තිබුණු ආරක්‍ෂාව ඉවත් කිරීම නිසාම එල්ටීටීඊයට පහසුවෙන්ම සිය කෲර අරමුණ සපුරා ගන්නට 1995.05.26 වැනිදා හැකිවිය. ඒ පලිගන්නා ලද්දේ දිඹුලාගල නාහිමියන්ගෙන් නොව උතුර හා නැගෙනහිර දෙපළාතේ ක්‍රියාත්මකව පැවැති බිහිසුණු ත්‍රස්‌තවාදයෙන් බැට කමින් ජීවත් වූ අහිංසක ජනතාවගෙනි. එලෙස අදූරදර්ශීව කටයුතු කළ නායකයන්ට අද දිට්‌ඨධම්මවේදනීය කර්මය විපාක දී ඇති සෙයක්‌ පෙනේ. නාහිමියන්ගේ ආරක්‍ෂාව ඉවත් කළවුන්ට සිය ආරක්‍ෂාව පමණක්‌ නොව තවත් බොහෝ දැ අද අහිමිවී ඇතිවා පමණක්‌ නොව දේශපාලන ලෝකයේ අවලංගු කාසි බවටද පත්ව ඇත. දිඹුලාගල නාහිමියන් අද වැඩ සිටියා නම් උතුර හා නැගෙනහිර මුදා ගැනීමේ මානුෂීය මෙහෙවරේදී සුවිශාල කාර්ය භාරයක්‌ උන්වහන්සේ වෙතින් ඉටුවන්නට ඉඩ තිබුණා සේම නැවත පදිංචි කිරීමේදී උතුර නැගෙනහිර දෙපළාතේ සැබෑ උරුමකරුවන් වන සිංහලයන් වැඩි වශයෙන් ඒ පළාත්වල පදිංචි කරවීමට උන්වහන්සේ කටයුතු කරනු ඇත. නමුත් අවාසනාවකට උන්වහන්සේ අද අප අතර නැත. එබැවින් එහි වගකීම අප වෙත පැවරී තිබේ. අනාගත දූ දරුවන්ගේ ශාපයට ලක්‌ නොවී මියෑදෙන්නට නම් ඒ ජාතික වගකීම් දිවි දෙවැනි කොට ඉටු කළ යුතුය. එනිසා අප කළ යුත්තේ උන්වහන්සේ ප්‍රාර්ථනා කළ පරිදි ජාතියක්‌ වශයෙන් එකමුතු වී අනාගත අභියෝගයන්ට සාර්ථක විසඳුම් සෙවීමය. ඒ විසඳුම් කුමන ආකාරයේ ඒවාදැයි අවස්‌ථාව අනුව තීරණය කර ගත යුතුය.

නිවන් යන්නට කලින් මොහොතක්‌ වඩිනු මැන අප හිමි සඳේ.
 

දළදා වහන්සේ ලක්දිව බෞද්ධ සංස්කෘතිය කෙරෙහි කළ බලපෑම

පනාවල ධම්මධජ හිමි. විද්යොදය පිරිවෙණ. මාලිගාකන්ද . චතුර්ථ වර්ගය
ප ගෞතම ලොවුතුරු බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් අනතුරුව උන් වහන්සේගේ අධිෂ්ඨානයක් ලෙසින් ධාතුන් වහන්සේලා සත් නමක් නොවිසිරී අනික් සියලු ධාතු මුං ඇට සහ අඹ ඇට ප‍්‍රමාණයට විසිරී ගියේය. ලලාට ධාතුව, අකු ධාතුව සහ දළදා සතර යන මෙම ධාතු නොවිසිරුණු ධාතුන්ට අයත් විය. එම නොවිසිරී ඉතිරි වූ දළදා සතර අතරින් වම් යටි දළදාව අද වැඩසිටින්නේ ලංකාද්වීපයෙහි මහනුවර දළදා මාලිගාවෙහිය. ලක්වැසි බෞද්ධයා හට පමණක් නොව මුළු ලෝ වැසි බෞද්ධයාටම ඉතා පූජනීය වූත් අනර්ඝ වූත් වස්තුවක් ලෙස මෙම දළදා වහන්සේ පෙන්වා දිය හැකිය.
මහසෙන් රජුගේ පුත‍්‍රයකු වූ සිරිමෙවන් කුමාරයා පිය රජුගේ මරණයෙන් පසු කීර්ති ශ‍්‍රී මේඝවර්‍ණ නමින් ඔටුණු පළඳ්‍ර ලක්දිව රාජ්‍යත්වයට පත්ව අනුරාධපුර රාජධානියේ සිංහාසනාරූඪ විය. මෙතුමා රජ වීමෙන් පසුනව වැනි වර්ෂයෙහි කලිඟු රට රජ කළ ගුහසීව රජුගේ දියණිය වූ හේමමාලා කුමරිය හා උදේනි රට රජ කළ සුචරිත‍්‍ර මිත‍්‍ර රජුගේ පුත‍්‍ර වූ දන්ත කුමරු දළදා වහන්සේත් රැගෙන කලිඟු රටින් ලක්දිවට පලා ආහ. එසේ පැමිණි ඔවුහු දළදා වහන්සේ ලක්දිව විසූ මහ සංඝයා වහන්සේලාට මහමෙවුනා උයනේදී බාර කළහ.
උන් වහන්සේලා එම දළදා වහන්සේ කීර්ති ශ‍්‍රී මේඝවර්ණ රජතුමාට බාර දුන්හ. එම රජතුමා ඉතා සතුටින් දළදා වහන්සේ බාරගෙන කළ යුතු වත් පිළිවෙත් ආදිය මැනවින් සිදු කරමින් ආරක්ෂා කළේය. සෑම වර්ෂයකම දළදා වහන්සේ මහ ජනයාට ප‍්‍රදර්ශනය කිරීමට ද අවශ්‍ය කටයුතු මෙම රජතුමා විසින් සිදු කළ අතර එය නොකඩවා සිදු කරවීමට අවශ්‍ය පියවර ද ගත්තේය. එකල දළදා වහන්සේ අභයගිරියෙහි වැඩ විසූහ. එම නිසා වාර්ෂික දළදා ප‍්‍රදර්ශනය සහ ධාතු පූජෝත්සවය පැවැත්වූණේ අභයගිරියේ ය.
වේල්සයේ කුමාරයාට මහ නුවරදී බෞද්ධ භික්ෂුන් විසින් දන්ත ධාතුව ප‍්‍රදර්ශනය කිරීම
දළදා වහන්සේ තැන්පත් කිරීම සඳහා එහි මන්දිරයක් තිබූ බවත් එහි ස්වභාවයත් පාහියන් වාර්තාවේ 104 වැනි පිටුවේ විස්තර වශයෙන් දක්වා තිබේ. කීර්ති ශ‍්‍රී මේඝවර්ණ රජතුමා විසින් මිහිඳු හිමි හා සමාන රුවක් රණින් නිම කොට මිහිඳු පෙරහැර නමින් උත්සවයක් ආරම්භ කළ බව ඉතිහාස ග‍්‍රන්ථවල පැහැදිලිව දක්නට ලැබෙන කාරණයකි. ඇතැම් විට දළදා වහන්සේ ද මෙම පෙරහැරෙහි වැඩම කරන්නට ඇතැයි සිතිය හැකිය. එසේ නම් දළදා පෙරහැරද දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ අවදියේ සිටම පැවත එන්නේ යැයි නිශ්චය කළ හැකිය.
ලක් දිව රජ කම බලාපොරොත්තු වූ රජ දරුවන්ගේ හා ආක‍්‍රමණිකයන්ගේ පළමු පියවර වූයේ දළදා වහන්සේ තමන් නතු කර ගැනීමයි. එය ඔවුන්ගේ අපේක්ෂාව පහසුවෙන් ඉටු කර ගන්නට හේතු සාධකයක් විය. දළදා වහන්සේ යමෙක් යටතේ පවතින්නේ ද ඔහුගේ පක්ෂය ගැනීම එකල රට වැසියාගේ සිරිත විය. එම නිසා දළදා වහන්සේ තමන්සතු කර ගැනීමෙන් තම බලය, ශක්තිය පිරිවර වැඩි කර ගැනීමට රජුට හැකි විය. මෙය බුදු සසුනේ චිරස්ථිතිය පිණිසත් හේතු විය.
බොහෝ රජවරු දළදා වහන්සේ තමන් සතු කර ගෙන ඒ සඳහා සුදුසු ස්ථානයක මන්දිරයක් තනවා සිදු කළ යුතු වත් පිළිවෙත් මැනවින් සිදු කළහ. එසේ බුදු සසුනේ දියුණුව පිණිස හේතු වන විහාරාරාම ඉදි කිරීම, ප‍්‍රතිසංස්කරණය, ති‍්‍රපිටක ග‍්‍රන්ථ ලියැවීම, ආරක්ෂා කිරීම හා භික්ෂූන් වහන්සේලාගේ අවශ්‍යතා ඉටු කිරීම ආදි වූ කි‍්‍රයා ද සිදු කළ බව දළදා වහන්සේ අතීතයේ සිට වර්තමානයේ මහනුවර දළදා මාළිගාව තෙක් සංක‍්‍රමණය වීම පිළිඳව නිරීක්ෂණය කිරීමේදී පැහැදිලිව පෙනේ.
කෝට්ටේ යුගයෙහි අවසන් කාලය රටේත් ආගම ධර්මයේත් පිරිහීම පිණිස විය. රෝමානුකතෝලික වූ පෘතුගීසීහු වෙළඳ්‍රම සඳහා යැයි ලක් දිවට පැමිණ ක‍්‍රමයෙන් ලක් දිව මුහුදු බඩ පළාත් වලින් කොටසක් අල්ලා ගත්හ. තමන්ගේ නිකායයේ අදහස් වලට විරුද්ධ වන කි‍්‍රස්තු සමය පිළිබඳ අන්‍යනිකාය වලට අයත් ළදරුවන් පවා මරා දැමීමට තරම් ක‍්‍රෑර වූ පැරණි වස්තුන්ට අල්ප මාත‍්‍ර වූ ද සැලකිල්ලක් නො දැක් වූ පෘතුගීසිහු තමන්ගේ යටතට පැමිණි ප‍්‍රදේශයන්හි තිබුණු පැරණි විහාරස්ථාන සියල්ලම වැනසූහ.
විහාරස්ථානයන්හි තිබුණු රන් කරඬු ආදිය පැහැර ගත්හ. පෘතුගීසීහු මෙසේ සිදු කළේ එම ප‍්‍රදේශයන්හි බුදු දහම විනාශ කොට ඔවුන්ගේ දහම ව්‍යාප්ත කිරීමත් පිණිසය. එම අවධියේදී දළදා වහන්සේගේ ආරක්ෂාව පිණිස එකල දළදා වහන්සේ භාරව සිටි කිරි ඇල්ලේ දිවනරාළ නම් වූ දියවඩන නිලමේ දළදා වහන්සේ සීතාවකට ගෙන ගොස් මායා දුන්නේ රජුට දුන් බවත් ඒ රජු දළදා වහන්සේ සබරගමුවේ දෙල්ගමු විහාරයෙහි තැන්පත් කළ බවත් ප‍්‍රසිද්ධ කරුණකි. එහෙත් දෙල්ගමු විහාරයෙහි දළදා මැදුරක් සහ වටිනා කරඬුවක් තිබුණ ද දළදා වහන්සේගේ දැඩි ආරක්ෂාව පිණිස සඟවා තිබුණේ කුරහන් අඹරණ ගලක් තුළ බව සඳහන් වේ.
ඉංග‍්‍රීසීන් ලංකාව අල්ලා ගත් පසු දළදා වහන්සේ ද කලක්ම ඔවුන්ගේ භාරයෙහි වූහ. 1828 දී ලංකාණ්ඩුකාරතුමාගේ ප‍්‍රධානත්වයෙන් ම මහත් වූ උත්සවයකින් යුක්තව දළදා වහන්සේ මහජනයාට දැක්වූ නමුත් කි‍්‍රස්ති‍්‍රයානි ආණ්ඩුවක් බුද්ධාගම සම්බන්ධ කටයුතු වලට සම්බන්ධ වීම වැරදි යයි කි‍්‍රස්තු භක්තිකයන් උද්ඝෝෂණය කරන්ට වූයෙන් 1846 අංක 2 දරන ආඥා පණතින් බෞද්ධයන්ටම දළදා වහන්සේගේ අයිතිය පවරා දෙන ලදී. පිරිහී තිබුනු බුදු දහම නැවත නගා සිටුවීමට දළදා වහන්සේ මහත් ශක්තියක් වීය.
දළදා වහන්සේ ලක් දිවට වැඩම කළ අවදියේ සිටම බෞද්ධ ජනයාට ඉතාමත් සමීප වූ දළදා වහන්සේ මේ වන තෙක් එසේම පවතියි. බෞද්ධ සංස්කෘතිය පරිහානියට පත් ව තිබූ අවස්ථාවල නැවත එම බෞද්ධ සංස්කෘතිය නගා සිටුවීමෙහිලා දළදා වහන්සේ මහෝපකාරී වූ බව ඉතිහාස ග‍්‍රන්ථ වල සඳහන් වන ඇතැම් සිදුවීම් වලින් මනාව පැහැදිලි වේ. ලක්දිවට බලපෑ විදේශ ආක‍්‍රමණිකයන්ගෙන් දැඩි තර්ජනයක් එල්ල වූයේ දළදා වහන්සේටයි. එයට හේතුව වූයේ බොහෝ ආක‍්‍රමණිකයන්ගේ ප‍්‍රධාන අරමුණ වූයේ ලක්දිව බෞද්ධ සංස්කෘතිය විනාශ කොට සිංහල රජුගේ ශක්තිය හා බලය බිඳ වැට්ට වීමයි. එය පහසුවෙන් සිදු කර ගැනීමට හැකියාව ලැබුණේ දළදා වහන්සේ තමන් නතු කර ගැනීමෙන් බව ඔවුහු මැනවින් දැන සිටියහ. මෙම කරුණු වලින් පැහැදිලි වන්නේ ලක්දිව බෞද්ධ සංස්කෘතිය කෙරෙහි දැඩි බලපෑමක් දළදා වහන්සේ තබා ඇති බවය.