Sunday, August 15, 2010

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි අතින් බිහිවූ මාලිගාකන්ද විදුදය පිරිවෙණ

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් අපවත්වී අප්‍රේල් මස 29 වැනි දිනට 99 වසරක් සපිරේ

කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙණ ආරම්භ කරනු ලැබුවේ ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, බෝධිසÀවගුණෝපේත පරම පූජනීය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් වහන්සේ විසිනි. ඒ 1873 වසරේ දී ය. නොයෙක් භාෂා ශාස්ත්‍රයන්හි හසළ දැනීමක් ඇති හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් පාලි ත්‍රිපිටකය තිස්හය වතාවක් කියවා ඇති බව සඳහන් වේ. උපසම්පදාව ලැබීමටත් පෙර සිට ඉතා ව්‍යක්ත ලෙස ශුද්ධ මාගධී පාලි භාෂාවෙන් කථා කිරීමේ හැකියාව උන්වහන්සේ සතු විය.
පෙරදිග මෙන් ම අපරදිග රටවල ජනයා අතර ද හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ගේ කීර්තිරාවය පැතිරී තිබිණි. මුළු පෘථිවි තලයේ ම පාලි පඬිවරයා ලෙස ද දකුණු දිග බුදුදහමේ (ථෙරවාදී බුදු දහමේ) නායකයා ලෙස ද මුළු ලෝකයා එක හඬින් පිළිගත්තේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ය.
තායි, බුරුම සහ කාම්බෝජ යන රටවල රජවරුන්, රජ කුමාරවරුන්, සංඝරාජවරුන් පමණක් නොව එංගලන්තය ආදී යුරෝපා රටවල රාජකීයයන් ද පෝල් ඩාල්කේ, විල්හෙල්ම් ගයිගර්, රීස් ඩේවිඩ්, මැක්ස් මුලර්, එඩ්වින් ආර්නෝල්ඩ් සහ කොපල්ස්ටන් බිෂොප් ආදී ලෝකප්‍රකට ගිහි පැවිදි උගතුන් උන් වහන්සේට මහත් වූ ගෞරවය දක්වා ඇත.
මෙසේ මුළු මහත් ලෝකයා ගේ ම මහත් වූ ගෞරවයට පත් හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් විසින් ආරම්භ කරනු ලැබූ කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙණ දිනෙන් දින ම වර්ධනය වී වැඩි කල් නොයවා පෙරදිග ලෝකයේ මහා විද්‍යාස්ථානය බවට පත් විය. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස දිවා රාත්‍රී වෙහෙස නොබලා මහත් වූ සේවාවක් කළ ත්‍රිපිටකධාරී, බෝධිසත්වගුණෝපේත හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් වහන්සේ 1911 අප්‍රේල් මස 29 වැනි දින විජම් පෙළ අසමින් සිහි නුවණින් යුතුව අපවත් වූ සේක.
සඟ පිරිසකට උගන්වන හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි
අකුරටියේ ශ්‍රී අමරවංශ නාහිමියන් ගෙන් පසුව වත්මනෙහි පරිවෙණාධිපති ධූරය දරනුයේ අතිපූජ්‍ය බලංගොඩ ශ්‍රී සෝභිත නායක ස්වාමීන් වහන්සේ ය.
කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙණ මහා පින් බිමකි. මේ මහා පින් බිමේ බොහෝ ශුද්ධ වූ ස්ථාන දක්නට ලැබේ. අප ලොව්තුරා බුදුරදුන් දන් වැළඳූ පාත්‍ර ධාතුව තැන්පත්ව ඇත්තේ ද මේ උතුම් භූමියේ ය. නමුත් මෙය බොහෝ දෙනා නොදන්නා කරුණකි. පාත්‍ර ධාතූන් වහන්සේ වැඩම කරවා ඇත්තේ ශ්‍රී සුමංගල නාහිමියන් වැඩ සිටින සමයේ දී ය. මේ ධාතූන් වහන්සේ ලැබුණේ කෙසේ ද? එය මෙසේ යි.
බටහිර ඉන්දියාවේ මුම්බායි සාගරයට උතුරින් “සොපාරා” නමැති සාගරය පිහිටා ඇත. අතීතයේ මෙය “සුප්පාරක පටුන” යන නමින් ප්‍රකට වී තිබිණි. බාහියදාරුචීරිය බුදුරදුන් සොයා ගෙන පැමිණියේ මෙහි සිට ය. අතීතයේ මෙය බුදුදහම පැතිරී තිබූ ප්‍රදේශයකි. මෙහි තිබී “ගෝතමීපුත්‍ර” නම් වූ ශ්‍රද්ධා සම්පන්න රජ කෙනකු විසින් කරවූ පුරාණ ස්තූපයක් හමු විය.
එසේ ම මෙහි කළ කැණීම්වලින් ගර්භය තුළ වූ ධාතු නිධානය ද හමු විය. එහි කරඬු කිහිපයක් ද සත්බුදුවරුන්ගේ රූප ද තව ශුද්ධ වස්තු ද තිබිණි. හමු වූ එක් කරඬුවක බුදුරජාණන් වහන්සේ දන් වැළඳීමට ගත් පාත්‍රයක කොටස් (කැබලි) දහතුනක් තැන්පත් කර තිබුණි. අනෙක් කරඬු තුළ තව බොහෝ අගනා දේවල් තිබුණි. රත්රන් මල් විශාල ප්‍රමාණයක් ද නිධානය තුළ තිබී හමු විය.
මේ විස්තර දැන ගත් හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ ලංකාවේ බෞද්ධයින්ට වන්දනා කර ගැනීමට ධාතූන් වහන්සේ ගෙන් කොටසක් ලබා දෙන්නැ’යි කියා බොම්බායේ ආණ්ඩුකාරතුමා ගෙන් ඉල්ලීමක් කළහ. එය සාර්ථක විය. මේ අනුව කල් නොයවා සොපාරාහි කැණීම්වලින් හමු වූ සර්වඥ භික්‍ෂා පාත්‍ර ධාතු ඛණ්ඩයන් ගෙන් විශාල ම හා හොඳ ම කොටසත් රත්රන් මල් හතක් හා වාසචූර්ණා කැබැල්ලක් ද උන් වහන්සේ වෙත එවන ලදී. එසේ ලැබුණු සර්වඥ භික්‍ෂා පාත්‍ර ධාතූන් වහන්සේ අනෙක් ශුද්ධ වස්තූන් ද සමගින් 1882 ඔක්තෝම්බර් මස 26 වැනි දින කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙනේ දී දැක බලා ගෙන වැඳ පුදා ගැනීමට සැදැහැතියන්ට ඉඩ ලැබිණි.
හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් වැඩ සිටි දෙමහල් මන්දිරය
ධාතු මන්දිරය සමීපයේ ඇති අනෙක් කුටියේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් පරිහරණය කරන ලද භාණ්ඩ රැසක් දක්නට ලැබේ. උන් වහන්සේ ගේ සැරයටිය, තීන්ත පෑන, හුණු කිල්ලෝට, බුලත් හෙප්පුව හා වෙනත් ගෘහ භාණ්ඩ හැරුණු විට 7 වැනි එඩ්වඩ් රජතුමා පූජා කළ විශාල බයිබලය ද සුවිශේෂී වේ. 1899 දී කැන්වසයක අඳින ලද හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ගේ සිතුවමක් ද මෙහි තැන්පත් කර ඇත.
හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් වැඩ සිටි මේ දෙමහල් මන්දිරය වසර 120 කට වඩා පැරැණිය. මේ වන විට මුළු ගොඩනැගිල්ලම බෙහෙවින් ජරාජීර්ණ භාවයට පත් වී තිබේ. සොල්දරය බෙහෙවින් දිරා ඇති අතර වැසි සහිත දිනවලදී වහලේ බොහෝ තැන්වලින් ජලය පහතට ඇද හැලේ. මෙතෙක් කිසිවෙකු ගේ අවධානය මේ කෙරෙහි යොමු නොවීම මහත් වූ දුකට හේතුවකි. වෙන රටක මෙවැනි ගොඩනැගිල්ලක් හා මෙවැනි පුරාවස්තු තිබුණෙ නම් ඔවුන් ඒවා කොපමණ හොඳින් ආරක්‍ෂා කර රැක බලාගන්නවාදැ’යි කියා අමුතුවෙන් කිව යුතු නොවේ.
හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් වැඩ සිටි දෙමහල් මන්දිරය සමීපයේ පිහිටා ඇති අනෙක් ගොඩනැගිල්ල වන්නේ ශ්‍රී සුමංගල ධර්ම ශාලාවයි. ශ්‍රී සුමංගල ධර්මශාලාවට පිටුපසින් එයට ම බද්ධ කර පිරිවෙනේ පුස්තකාලය ඇත. එහි ඉතා දුර්ලභ හා වටිනා පුස්කොළ පොත් රාශියක් ඇති අතර තව බොහෝ ධර්ම ග්‍රන්‍ථ, ප්‍රකරණ ආදිය ද තැන්පත් කර තිබේ.
ශ්‍රී සුමංගල ධර්ම ශාලාවට ඉදිරියේ ඇති තරමක උස් භූමියෙහි මහා ධාතු ස්තූපය පිහිටා ඇත. උස් පාදමක් මත දාගබ තනා ඇත. දාගබ ප්‍රමාණයෙන් විශාල ය. දුටුගැමුණු මහ රජතුමා විසින් කර වූ රුවන්වැලි මහ සෑය හැරුණු විට සර්වඥ ධාතු වැඩිම ප්‍රමාණයක් නිදන් කර ඇති ස්තූපය මේ මහා ධාතු ස්තූපය යයි සැලකේ. ස්තූපය මේ වන විට වසර 104 ක් තරම් පැරැණි බව දත යුතු ය.
මහා ධාතු ස්තූපය සමීපයේ විහාරගෙය ඇත. මෙය ප්‍රධාන කොටස් තුනකින් යුක්තයි. පිටත ගර්භය, මැද ගර්භය, ඇතුළු ගර්භය වශයෙනි. පැරණි සිතුවම් දක්නට ඇත්තේ පිටත ගර්භයේ ය. මේ සිතුවම් ඇම්. සාර්ලිස් මහතා විසින් නිර්මාණය කර ඇත. මේ සිතුවම්වලට යුරෝපා කලා ආභාෂය නොඅඩුව ලැබී තිබේ. බුදුසිරිතේ ප්‍රධාන අවස්ථා මෙහි සිතුවමට නගා ඇත. ධාතු ස්තූපය සමීපයේ පාර පැත්තට වන්නට මුළු මහත් බෞද්ධ ලෝකයා ගේ ම වන්දනාවටත් ගෞරවාදරයටත් පත් පරම පූජනීය බෝධිසත්වගුණෝපේත හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් වහන්සේ ගේ ශාරීරික ධාතු සහිත භෂ්මාවශේෂ තැන්පත් කර තනන ලද ස්තූපය වෙයි. ඒ සමීපයේ ම උන්වහන්සේ ගේ ස්වර්ණ ප්‍රතිමාව සහිත ගෘහය වෙයි. මේ ප්‍රතිමාව තනා ඇත්තේ පූජ්‍ය මාපලගම විපුලසාර හිමියන් විසිනි. පිරිවෙනට පිවිසීම සඳහා තිබූ පුරාණ දොරටුව ඇත්තේ මේ අසල ය.
මෙසේ මේ ලිපියේ සඳහන් කරුණු ලැබුවේ විද්‍යොදය පිරිවෙණේ දක්නට ඇති ශුද්ධ වූ ස්ථාන හා ඒ ආශි‍්‍රත ඉතා කෙටි විස්තරයකි. විද්‍යොදය පිරිවෙණේ ශාස්ත්‍රීය සේවාව ගැන කිසිවක් මෙහි විස්තර කළේ නැත. මේ එයට තැන නොවේ. සැකෙවින් පවසන්නේ නම් කොළඹ මාලිගාකන්ද විද්‍යාදය පිරිවෙණ රටට, ජාතියට, ආගමට, භාෂාවට වචනයෙන් කියා නිම කළ නොහැකි ආකාරයේ මහා සේවාවක් සිදු කර ඇත. ලෝකයට මහා පඬිවරුන් රැසක් බිහි කර ඇත. දැනුත් බිහි කරමින් සිටී. අනාගතයේ ද එසේ ම වනු ඇත. බුද්ධගයාව බේරා ගත් බෝධිසත්ව ගුණෝපේත ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා ද බෝධිසත්ව ගුණෝපේත වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා ද විද්‍යොදය පිරිවෙණේ ඇසුර නොඅඩුව ලැබුවේය. විද්‍යොදය පිරිවෙනින් බිහි වූ ධර්මධර, විනයධර, බහුශ්‍රැත භික්‍ෂූන් වහන්සේ අද ලොව පුරා බොහෝ රටවල ධර්මදූත සේවාවේ යෙදී සිටිති. ලංකාවේ ඇති පිරිවෙණ්වලින් බහුතරයක් විද්‍යොදය පිරිවෙනේ ශාඛා වෙයි.


විද්‍යොදය පිරිවෙණේ ආචාර්ය
ගයාන් චානුක විදානපතිරණ