Tuesday, August 17, 2010

වංසකථාවලින් හෙළිවෙන අනුරාධපුරයේ දේශපාලනික ඉතිහාසය

හැදින්වීම
අනුරාධපුර යුගය ගැන තොරතුරු ලැබෙන මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. ඒ සාහිත්‍ය මූලාශ්‍ර හා පුරා විද්‍යා මූලාශ්‍ර වශයෙනි. ඓතිහාසික සිද්ධි වල කාලයත් එම සිදුවීම් විස්තර කරන සාහිත්‍ය මූලාශ්‍ර රචනා වූ කාලයත් අතර බොහෝවිට පරතරයක් තිබේ. නමුත් පුරා විද්‍යා මූලාශ්‍ර අදාල සිද්ධිය හා සමකාලීන නිසා එම මූලාශ්‍ර වඩා විශ්වසනීයත්වයකින් යුක්තය. සාහිත්‍ය මූලාශ්‍ර වලට වඩා පුරා විද්‍යා මූලාශ්‍ර වල විශ්වසනීයත්වය පෙන්වන තවත් සාධකයක් නම් සාහිත්‍ය මූලාශ්‍ර බොහෝ විට සුළු සිද්ධීන් වටා ගෙතුනු ප්‍රබන්ධ වීමත් පුරා විද්‍යා මූලාශ්‍ර බොහෝවිට යම් සිදුවීමක් ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කරන වාර්තා වීමත්ය. මෙම සාහිත්‍ය මූලාශ්‍ර රචනා කිරීමේ දී එම ග්‍රන්ත කතෘවරුන්ගේ රචි අරුචිකම් හා ඔවුන් වාසය කළ වටපිටාව වැනි කරුණු එම ප්‍රබන්ධ වලට බලපා ඇත. එවැනි හේතු නිසා ඒවායේ අන්තර්ගත ඓතිහාසික බීජය වටා නොයෙක් කරුණු ගෙතී ඇති බව පැහැදිලි වේ. පුරා විද්‍යා මූලාශ්‍ර සම්බන්ධව මෙම දුර්වලතාවය දැකීමට අඩුය. කෙසේ වෙතත් සිංහලයාගේ ඉතිහාසය අඛණ්ඩව ගොඩනගා ගැනීමට උපයෝගීකර ගත හැක්කේ සාහිත්‍යමය මූලාශ්‍රය. සාහිත්‍ය මූලාශ්‍ර වල ඇති කරුණු වල සත්‍ය අසත්‍ය බව නිශ්චිතවම හදුනා ගැනීමේ දී පුරා විද්‍යා මූලාශ්‍ර උපකාරී වේ.


වංසකතා

යම් රටක හෝ පුද්ගලයන්ගේ හෝ පුද්ගලයෙකුගේ හෝ යම්කිසි වස්තුවක හෝ වෙනත් එවැනි දෙයක හෝ පරම්පරාගත
කතාව විස්තර කරන ග්‍රන්ථ වංසකතා නම් වේ. සිංහලයෝ පෞඪ ලේඛන සම්ප්‍රදායකට හිමිකම් ඇති ජාතියකි. සිංහලයා අවුරුදු 2500 කට වඩා ඈත කාලයක සිට අද දක්වාම ලංකාවේ ඓතිහාසික සිදුවීම් අඛණ්ඩව වාර්තාකර ඇත. එවැනි වාර්තාවන් ලෝකයේ වෙනත් කිසිදු ජාතියකට හිමිනොවේ. පාලි භාෂාවෙන් ලියවී ඇති දැනට ඉතිරිව ඇති පැරණිම වංසකතා ක්‍රි:ව සිවුවන හෝ පස්වන සියවසට අයත් වේ. මෙම ග්‍රන්ථ මුලින් සිංහල භාෂාවෙන් ලියා තිබී පසුව පාලි භාෂාවට පරිවර්තනය කරන ලද ඒවාය. මෙහි දී මුල් ග්‍රන්ථ නොයෙක් වෙනස්කම් වලට ලක්වන්නට ඇත. අවාසනාවන්ත කරුණ වන්නේ මෙසේ ග්‍රන්ථ පරිවර්තනය කිරීමෙන් පසු මුල් සිංහල ග්‍රන්ථ අභාවයට යාමයි. මෙම වංසකතා වල කතුවරු බොහෝදුරට භික්ෂූණ් වහන්සේලා වීම නිසා බෞද්ධ ආගමික පසුතලයක් මේවායේ ගැබ්ව ඇත. මේ නිසා සමහර අවස්ථා වල දී මේවා වර්තමාන සංකල්ප අනුව අංග සම්පූර්ණ ඉතිහාස ග්‍රන්ථ ලෙස හැඳින්විය නොහැක. එනිසා ඉතිහාසඥයින් මේවායෙන් තොරතුරු ගැනීමේ දී කල්පනාකාරී විය යුතුය. එමෙන්ම මෙම වංසකතා වල තොරතුරු ප්‍රධාන වශයෙන් අනුරපුර රජ පවුල වටා ගෙතී තිබීම තවත් ලක්ෂණයකි.


අනුරාධපුර යුගය ගැන තොරතුරු ලැබෙන ප්‍රධාන වංසකතා

අද ඉතිරිව ඇති වංසකතා ඒවා ලියා ඇති භාෂාව අනුව සලකන විට ආකාර දෙකකි. එනම් පාලි වංසකතා හා සිංහල වංසකතා යනුවෙනි. පාලි වංසකතා අතර දීපවංසය, මහාවංසය, ධාතුවංසය, දාඨාවංසය ආදිය වේ. සිංහල වංසකතා අතර පූජාවලිය, සිංහල ථූපවංසය, දළදා සිරිත, රාජාවලිය ආදිය වේ. මෙම වංසකතා අතරින් සමහරක් ගැන විස්තරයක්, එනම් ලියවුනු කාලය, රචකයා, අන්තර්ගතය ආදී කරුණු මෙසේය.


දීපවංසය

පාරම්පරික ඓතිහාසික වාර්තා මගින් ලංකා ඉතිහාසය ලියන්නට ගත් පළමු ප්‍රයත්නය ලෙස දීපවංසය සැලකිය හැකිය. මහාවංසය රචනා කිරීමට පෙර එනම් ක්‍රි:ව සිවුවන සියවසේ සිට පස්වන සියවස දක්වා වූ කාලයේ දීපවංසය ලියවී ඇත. සම්ප්‍රදායානූකූල පිළිගැනීම වී ඇත්තේ දැනට ඉතිරිව ඇති පැරණිම ලාංකික ග්‍රන්ථය දීපවංසය බවයි. මහාවංසය රචනා කිරීමේ දී මූලාශ්‍ර කර ගත් ග්‍රන්ථ අතර දීපවංසය ද එකකි. මහාවංසය වූකලී දීපවංසයේ අට්ඨකතාවය යන අදහස සමහර අය අතර ඇතිවීමට තරම් මෙම ග්‍රන්ථ දෙක අතර සමානත්වයක් දැකිය හැකිය. මෙම ග්‍රන්ථය රචනා කිරීමේදී ඒ සඳහා කුමක් මුල් වුනාද යන්න පිළිබඳව විවිධ මත ප්‍රකාශ වී ඇත. දීපවංසය උසස් සාහිත්‍ය කෘතියක් ලෙස ගිනිය නොහැක. ඓතිහාසික සාහිත්‍ය කෘති අතර මුලින්ම ලියවුනු මෙහි දුර්වලතා බොහෝය. මෙම දුර්වලතා හොදින් කැපී පෙනෙන්නේ මහාවංසය සමග සංසන්දනය කර බලනවිටය. මහාවංසය සාහිත්‍ය කෘතියක එන වර්ණනීය ස්වරූපයෙන් රචනා වී ඇති අතර දීපවංසය ඓතිහාසික පදනම ගත් ශාස්ත්‍රීය නිර්මාණයක් ලෙස රචනා වී ඇත. මෙහි අන්තර්ගත තොරතුරු පරීක්ෂා කර බැලීමේ දී මහාවංසයේ මෙන් ක්‍රමානුකූලත්වයක් නැති අතර ශාස්ත්‍රීය පදනමට හුරු ඓතිහාසිකත්වය ගරු කරන වාර්තා ස්වරූපය දක්නට ලැබේ. දිපවංසයේ පරිච්ඡේද 22 කි. එහි බුදුන් වහන්සේගේ චරිතයේ සමහර සිදුවීම් ද උන්වහන්සේගේ ලංකාගමනය ද යන කරුණු විස්තර කිරීමෙන් පසු විජය රජතුමාගේ රාජ්‍ය කාලයේ පටන් මහසෙන් රජුගේ රාජ්‍ය කාලයේ අවසානය දක්වා ලංකා ඉතිහාසයේ තොරතුරු ඉදිරිපත් කරයි. එම තොරතුරු සඳහන් කිරීමේ දී ජනකතා හා විශ්වාස ආදිය ද එයට ඇතුළත් වී ඇත. දීපවංසය මහාවංසයට වඩා ප්‍රමාණයෙන් කුඩා වුවත් එහි අන්තර්ගත ඇතැම් කරුණු මහාවංසයේ දක්නට නොලැබේ. මහා සම්මත රාජ පරම්පරාවට අයත් ඇතැම් රජවරුන්ගේ නම්, ප්‍රථම ධර්ම සංඝායනාවේ දී ධර්මය පිටක වශයෙන් ගායනා කළ බව, පණ්ඩුවාසුදේව රජුගේ පුතුන් දස දෙනාගේ නම්, සංඝමිත්තා මෙහෙනින් වහන්සේ සමඟ වැඩම කළ අනිත් භික්ෂුණීන් වහන්සේගේ නම් ආදිය එබඳු කරුණු වලට උදාහරණය. මෙහි විවිධ භාෂා ශෛලීන්, වියරණ විශේෂ හා පුනරුක්ත ඇත. විධිමත් සැලසුමකින් තොර වීම ද මෙහි ලක්ෂණයකි. එම කරුණු වලින් හෙළි වන්නේ දීපවංසය එක් කතුවරයෙකුගේ කෘතියක් නොව කතුවරු කිහිපදෙනෙකුගේ කෘතියක් බව හෝ නොයෙක් අය ලියා තිබූ කොටස් එකට එක්කර කවරෙකු හෝ විසින් සකස් කළ සංග්‍රහයක් බවයි. එසේ කිරීමේ දී සංස්කරණයකින් තොරව ඒ ඒ කතුවරුන්ගේ හෝ සම්ප්‍රදායවල අදහස් ඒ අයුරින්ම ග්‍රන්ථ වලට ඇතුළත් කොට ඇත. මේ නිසා දෙයාකාරයකින් විස්තර වී ඇති එක් කරුණක් නම් රුවන්වැලිසෑය හා ලෝහ ප්‍රාසාදය සාදන ලද්දේ කවර රජු විසින් ද යන්නයි. එක් තැනෙක දුටුගැමුණු රජුගේ නමත් තවත් තැනක සද්ධාතිස්ස රජුගේ නමත් සඳහන් වේ. භික්ෂුණීන් වහන්සේ පිළිබඳව වෙනත් කෘතිවලට වඩා දීපවංසයේ විස්තර අන්තර්ගත බැවින් මෙය උන්වහන්සේලා විසින් රචනා කරන ලද්දකි යන්න තවත් අදහසකි. නමුත් භික්ෂුණියක් මෙය රචනා කළා නම් "සුනාථ භොන්තෝ, සුනාථ භන්තේ” (හිමිවරුනි අසව්) යන විධානාර්ථය බුදුරජාණන් වහන්සේ වදාල කරුණු අට අනුව භික්ෂුණියකට කිව නොහැක. දීපවංසය ගැන තොරතුරු පැවසීමේ දී මෙහි අන්තර්ගත තොරතුරු කෙටියෙන් සඳහන් කර ඇති බව පෙන්වා දිය හැකිය. උදාහරණයක් ලෙස මහාවංසයේ පරිච්ඡේද 11 කින් දුටුගැමුණු ගැන දක්වා ඇති කරුණු මෙහි දක්වා ඇත්තේ ගාථා 13 කිනි. එමෙන්ම නොයෙක් තැන්හී දෙබස් ඉදිරිපත්කර ඇත්තේ ඒ දෙබස කළ දෙදනාගේ නම් ගැන සඳහනක් නොකරමිනි. දීපවංසයේ කුමන ආකාරයේ දුර්වලතා පැවතිය ද එහි ඓතිහාසිකත්වය මැනිය යුත්තේ ඓත්හාසික සම්ප්‍රදායේ මුල්ම ප්‍රයත්නය ලෙස සලකාය.


මහාවංසය

ක්‍රි:ව හයවන සියවසේ පමණ මහා විහාර නිකායික භික්ෂුවක් වූ මහානාම හිමියන් අතින් මහාවංසය රචනා වී ඇති අතර එය දීපවංසයට වඩා උසස් සාහිත්‍ය කෘතියකි. මහාවංසය අද ද ලියවෙමින් පවතින කෘතියකි. නමුත් මහාවංසය යනුවෙන් අදහස් වන්නේ පළමු පරිච්ඡේදයේ සිට 37 වන පරිච්ඡේදයේ 52 වන ගාථාව දක්වා හෙවත් ආරම්භයේ ක්‍රි:පූ 6 වන සියවසේ සිට මහසෙන් රජතුමාගේ රාජ්‍ය කාලයේ අවසානය දක්වා (ක්‍රි:ව 301) කාල වකවානුව අලලා මහානාම හිමියන් ලිවූ කොටස යැයි සාම්ප්‍රදායානුකූල අදහසක් පවතී. එතැන් පටන් කොටස් චූලවංසය නමිනුත් හැදින්වේ. මෙලෙස නම් දෙකින් හැඳින්වීමට හේතු ඇති බවක් නොපෙනේ. මෙම ව්‍යවහාරය හඳුන්වා ප්‍රචලිත කරන ලද්දේ මහාවංසය ඉංග්‍රීසියට පරිවර්තනය කළ විල්හෙම් ගයිගර් විසිනි. චූලවංසය නමින් හැඳින්වෙන කොටස් වලදී සිදුව ඇත්තේ කතුවරයාගේ වෙනස් වීමක් පමණි. එබැවින් චූලවංසය නමින් හදුන්වා දෙන්නේ නොමැතිව මහාවංසයේ පළමු කොටස, දෙවන කොටස ආදී ලෙස හැඳින්වීම වඩා නිවැරදිය. මෙම පැවරුමේ දී මහාවංස චූලවංස භේදය නොසලකාහැර ඇත. මහාවංස කර්තෘම ග්‍රන්ථාරම්භයේදීම තමාට උපකාරී වූ මූලාශ්‍රයන් පිළිබඳව යම් ආකාරයක සඳහනක් සුළු වශයෙන් වුව ද කරයි. මහානාම හිමියන් මහාවංසය සංග්‍රහ කරන ලද්දේ සීහලට්ඨකතා මහාවංසයේ තිබූ අති දීර්ඝ ස්ථාන සංක්ෂිප්ත කිරීමත්, ඉතා සංක්ෂිප්තව ලියා තිබූ කොටස් විස්තරාත්මක වශයෙන් ඉදිරිපත් කිරීමත්, පුනරුක්තීන් බැහැර කිරීමත්ය යන අරමුණු ඇතිවය. බුදුරජාණන්වහන්සේ කළ විස්තරාත්මක දේශනා ඇතුළත් කර පුරාණ ආචාර්යවරුන් විසින් සිංහල භාෂාවෙන් ලියන ලද ගද්‍යමය අටුවා ග්‍රන්ථ සීහලට්ඨකතා මහාවංසය ලෙස හැඳින්වේ. මෙම සංශෝධිත මහාවංසය රචනා වූයේ පාලි භාෂාවෙනි. එසේ සිංහල වචන පාලියට පෙරලීම නිසා අවුල්සහගත ස්වභාවයක් ඇති වූ අවස්ථා ද තිබේ. නම් ආදියෙහි මේ තත්ත්වය දක්නට ඇත. වට්ඨගාමණි (මෙහි නියම පාලි පරිවර්තනය වනගාමණිය), දුට්ඨගාමණි (මෙහි නියම පාලි පරිවර්තනය ජෙට්ඨගාමණිය) ආදිය නිදසුන්ය. මෙසේ සංශෝධනය කිරීම පසු කාලීන උගතුන්ගේ විවේචනයට ලක් වූ බව වංසත්ථප්පකාසිනියෙන් හෙළිවේ. පාසානදීපවාසී උපතිස්ස තෙරුන් එබඳු විවේචකයෙකි. මීට අමතරව මහානාම හිමියන් මෙම සංස්කරණයේ දී වෙනත් මූලාශ්‍රවල එන ජනප්‍රවාද හා තොරතුරුද උපයෝගීකර ගත් බව මහාවංසයෙන් මෙන්ම මහාවංස ටීකාවෙන් ද හෙළිවෙයි. ඒවා නම් චේතියවංසට්ඨකතා, මහාබෝධිවංසට්ඨකතා, චූලසීහනාදසුත්තවණ්ණනා, සීහලනමක්ඛාරාවණ්ණනා, දීපවංසට්ඨකතා, රෝහණවංසට්ඨකතා, උත්තරවිහාරට්ඨකතා හා පුඤ්ඤපොත්ථක වැනි ග්‍රන්ථය. කවර විවේචනය එල්ල වුව ද තම සංස්කරණය වැඩි ශාස්ත්‍රීය අගයෙන් යුතු කෘතියක් ලෙස ඉදිරිපත් කිරීමට මහානාම හිමියන් සමත් වූ බව පෙනෙන්නට ඇත. මුල් ග්‍රන්ථයේ එන සෑම විස්තරයක්ම තම කෘතියට ඇතුළත් කිරීමට තරම් වැදගත් යැයි මහාවංස කර්තෘ නොසිතූ බව පැහැදිලිය. නිදසුනක් වශයෙන් දුටුගැමුණු කුමරු උපදින්නට පෙර ඔහුගේ මව වූ විහාරමහා දේවියට ඇතිවූ දොළදුකක් මෙහි සවිස්තරව දක්වා ඇත. එහෙත් තිස්ස කුමරු උපදින්නට පෙර බිසවට ඇති වූ දොළදුකක් ගැන මහාවංස කර්තෘ සඳහන් කර නැති නමුත් මෙම විස්තරය සීහලට්ඨකතා මහාවංසයේ තිබූ බව වංසත්ථප්පකාසිනියෙන් හෙළිවෙයි. මහාවංස කර්තෘගේ අදහස අනුව ඔහු වංසකතාව රචනා කළේ "පහන් සංවේගය හා හුදී ජන ප්‍රසාදය" සඳහාය. කර්තෘ බෞද්ධ භික්ෂුවක් වූ බැවින් මේ අදහස ගැන පුදුම විය යුතු නැත. රජවරු කොතෙකුත් උසස් තත්ත්වයක සිටිය ද අවසානයේ මරු හා ගිය බව මහාවංස කර්තෘ නිතරම සඳහන් කරයි. මහාවංසයේ ලෞකික ප්‍රවෘත්ති අඩංගු වෙතත් මහාවංස කර්තෘගේ අවධානය නිතරම යොමු වුනේ ආගමික ඉතිහාසය දෙසටය. පැරණි ශ්‍රී ලංකාවේ පැවති දේශපාලන තත්ත්වය හා ආර්ථික ජීවිතය පිළිබඳ කරුණු මහාවංසයේ තරමක් විරලය. මහා විහාරයට අනුග්‍රහය දැක්වූ රජවරුන්ට දැක්වූ පක්ෂග්‍රාහී බව මහාවංසයේ දුර්වලතාවයකි. මහා විහාරයේ ශ්‍රේෂ්ඨ අනුග්‍රාහකයෙකු වූ දුටුගැමුණු රජුට මෙහි වැදගත් තැනක් ලැබී ඇත. මහාවංසයේ පරිච්ඡේද 37 න් 11 ක්ම වෙන් වී ඇත්තේ දුටුගැමුණු රජුටය. එතුමාටත් වඩා අභියෝගයන්ට මුහුණ දුන් වලගම්බා වැනි රජවරුන් සම්බන්ධව හා මහා විහාරයට එරෙහිව කටයුතු කළ මහසෙන් වැනි රජවරුන් ගැන තොරතුරු සටහන්ව ඇත්තේ අඩුවෙනි. කෙසේ වුවත් තම කෘතියෙහි කිසිදු පුද්ගලයෙකු පිළිබඳ වැරදි සහගත තොරතුරු ඇතුළත් කිරීමට මහාවංස කතුවරයා උත්සාහ ගෙන නැත. සිදුව ඇත්තේ තොරතුරු අඩුවෙන් සටහන් වීම පමණි. ඉතිහාසය යන්නෙහි වර්තමාන අර්ථයට අනුව නම් මහාවංසය ඓතිහාසික කෘතියක් ලෙස සැලකිය නොහැකිය. එසේ වුවද මෙය ලංකාවේ පුරාණ ඉතිහාසය හැදැරීමට ඇති වැදගත් මූලාශ්‍රයක් වන මහාවංසය වංසකතා සාහිත්‍යයේ අග්‍රගණ්‍ය කෘතිය වන බවට සැකයක් නැත.


පූජාවලිය

පූජාවලි ග්‍රන්ථයේ කතුතුමා මයුරපාද පරිවේනාධිපති බුද්ධපුත්‍ර හිමියන්ය. නව අරහාදී බුදුගුණ අතර ඇති "අරහං” යන ගුණය විවරණය කරමින් මේ පොත ලියා ඇත. දෙවන පරාක්‍රමබාහු රජුට අනුග්‍රහ පිණිස ද සිංහල භාෂාව දන්නා සත් පුරුෂයන්ට වැඩ පිණිස ද දේව ප්‍රතිරාජ නම් ඇමතියාගේ ආරාධනයෙන් මෙය ලිවීම සිදුවිය. කතුවරයා විසින්ම ග්‍රන්ථ 24,000 ක්, බණවර 96 ක්, අක්ෂර 7,68,000 ක් යැයි සඳහන් කරන මෙම පූජාවලිය පරිච්ඡේද 34 කින් යුක්තය. මෙම පරිච්ඡේද අතරින් 33 වන පරිච්ඡේදය දක්වා බහුලව අන්තර්ගත වන්නේ බුදුරජාණන්වහන්සේ හා බුදු දහම පිළිබඳවය. 33 වන පරිච්ඡේදය ලක්දිව බුදු සසුන සඳහාත් 34 වන පරිච්ඡේදය ලක්දිව ඉතිහාසය සඳහාත් වෙන්ව තිබේ. නමුත් මුල් පරිච්ඡේද තුළ ද ලක්දිව හා සම්බන්ධ තොරතුරු සුළු වශයෙන් අන්තර්ගතය. එවැනි එක් අවස්ථාවකි සද්ධාතිස්ස රජුගේ ශ්‍රද්ධා භක්තියේ මහිමය පෙන්වන කතා පුවත. විජය රජුගේ සිට දඹදෙණි පැරතුම්බා රජුගේ අවසානය දක්වා මෙහි 34 වන පරිච්ඡේදයේ තොරතුරු අන්තර්ගතය. පූජාවලියේ ප්‍රධන මූලාශ්‍රයන් වූයේ බෞද්ධ ත්‍රිපිටක සාහිත්‍යය හා ජාතක කතා බව පෙනේ. උන්වහන්සේ විසින් තම ග්‍රන්ථයේ ඉතිහාසය සම්බන්ධ කොටස් ලිවීමේ දී මූලික මූලාශ්‍රය ලෙස තෝරාගෙන ඇත්තේ මහාවංසයයි. එහෙත් මහාවංසයේ දක්නට ඇති තොරතුරුවලට පටහැණි තොරතුරු මෙන්ම මහාවංසයේ දක්නට නොමැති තොරතුරු ද පූජාවලියේ දක්නට ඇත. මහසෙන් රජු විසින් වැව් දහසෙයක් බදින ලදැයි මහාවංසය පවසන අතර පූජාවලිය ඔහු වැව් දාහතක් බැදි බව සඳහන් කරයි. ඒ අනුව බුද්ධපුත්‍ර හිමියන් තම ග්‍රන්ථය ලිවීමේ දී වෙනත් මූලාශ්‍රයන් ද උපයෝගීකර ගන්නට ඇතැයි අනුමාන කළ හැකිය. පූජාවලියේ අන්තර්ගත ඓතිහාසික තොරතුරු දෙස බැලීමේ දී බොහෝ අවස්ථාවල සඳහන් වී ඇත්තේ රජුගේ නමත්, පාලන කාලයත්, රාජ්‍ය කාලය ගැන ඉද හිට ඉදිරිපත් කරන වැදගත් සිද්ධීනුත් පමණි. මෙහි කැපී පෙනෙන ලක්ෂණයක් නම් මහාවංසයේ පාලි ස්වරූපයෙන් සඳහන් කර ඇති රාජ නාම දේශීය ඌරුවකින් පූජාවලියට ඇතුළත් කිරීමයි. ධාතුසේන යන නම "දාසෙන්කැලි” යනුවෙනුත් තුන්වෙනි මහින්දයන් "හැලිගරවිල්හිස්කෑ සෙම් මිහිඳු” යනුවෙනුත් සඳහන් කර තිබීම මෙයට නිදසුනකි. ප්‍රධාන වශයෙන් පූජාවලියේ ඇත්තේ ඉතා සංක්ෂිප්ත ලංකා ඉතිහාසයක් වුව ද පැරණි ලංකා ඉතිහාසය හැදෑරීමේ දී මෙම ග්‍රන්ථට ද වැදගත් මූලාශ්‍රයක් ලෙස ප්‍රයෝජනයට ගත හැකිය.


රාජාවලිය

විජය රජු පටන් දෙවන විමලධර්මසූරිය රජු දක්වා වූ ලංකා ඉතිහාසය රාජාවලියට ඇතුළත් වේ. රාජාවලියේ කර්තෘ ගැන හෝ රචිත කාලය ගැන නිශ්චිත අදහසක් නැත. ග්‍රන්ථයෙහි අවසානයෙහි දෙවන විමලධර්මසූරිය රජු පිළිබඳව සඳහන් වී ඇති නිසා එය ලියන්නට ඇත්තේ දහඅටවන සියවසේ මුල් යුගයේ දී යැයි අනුමාන කළ හැකිය. මෙය එක් අයෙකුගේ කෘතියක් නොව කර්තෘන් කිහිපදෙනෙකුගේ රචනයක් යැයි ද අදහසකි. පොතේ එක් කොටසක එන "අප බුදුන්” යන වාක්‍යයත් තවත් කොටසක "අපගේ ස්වාමින් යේසුස් ක්‍රිස්තුස්” යනුවෙන් වාක්‍යයකුත් පැවතීම නිසා මෙම ග්‍රන්ථයේ එක් කොටසක් බෞද්ධයෙකු අතිනුත් අනෙක් කොටස ක්‍රිස්තු භක්තිකයෙකු අතිනුත් ලියවුනැයි ඇතැමුන්ගේ අදහසයි. මෙය නිශ්චිත අදහසක් නොවන අතර මෙසේ වීමට හේතුව කර්තෘ විවිධ මූලාශ්‍ර උපයෝගීකර ගැනීම විය හැකිය. මීට පෙර ලියවුනු සැම වංසකතාවකම පාහේ වැඩි අවධානය ආගම දෙසට යොමු වූ අතර රාජාවලී කර්තෘගේ සැලකිල්ල වඩාත්ම යොමු වී ඇත්තේ ලෞකික අංශය කෙරෙහිය. බුදුදහම ලංකාවට ගෙන ඒම සම්බන්ධව අවශ්‍යම තොරතුරු පමණක් දී ඇති ඇත. දුටුගැමුණු රජුගේ දේශපාලන ක්‍රියා මහාවංසයේ ආකාරයටම සවිස්තරව දී ඇති නමුත් ඔහුගේ ආගමික කටයුතු පිළිබඳ විස්තරය වාක්‍ය කිහිපයකින් ලියා ඇත. වට්ඨගාමිණී හා මහසෙන් රජුන්ගේ පාලන සමයන් ගැන ලියවී ඇත්තේ එකළ තිබූ ආගමික කැළඹිලි ගැන කිසිදු සඳහනක් නොකරමිනි. පැරණි වංසකතා කිසිවකත් සඳහන් නොවන සිදුවීම් ද මෙහි අන්තර්ගතය. මේ බව විජය කුවේණි කතාවෙන් පැහැදිලි වේ. රාජාවලිය රචනයේ දී ප්‍රධාන මූලාශ්‍රයක් වූයේ පූජාවලිය බව පෙනේ. නමුත් එක් එක් රජවරුන්ගේ රාජ වර්ෂ පිළිබඳව පමණක් මෙම ග්‍රන්ථ දෙක අතර මහත් පරස්පරයක් ඇති බව පෙනේ. රාජාවලියේ ඇති දිවයිනේ රාජවංශ නාමාවලියෙන් රජවරු කිහිප දෙනෙකුගේම නම් ගිලිහී ගොස් ඇත. මොවුන් ගෙන් සමහරෙකුගේ නම් වන්නි රාජාවලියේ සඳහන් වේ. (වන්නි රාජාවලිය යනු රාජාවලියේම ප්‍රාදේශීය පිටපතක් විය හැකිය) කර්තෘ විසූ කාලයට ආසන්න කාලය පිළිබඳව ලියා ඇති කොටසේ ඇති ප්‍රවෘත්ති ඇතැම් විට චූලවංසයේ එන ප්‍රවෘත්තිවලට වඩා විස්තරාත්මකය. එහෙත් පැරණි ඉතිහාසය යම්බන්ධව මේ තත්ත්වය දැකිය නොහැක.


වෙනත් වංසකතා

අවශේෂ පාලි හා සිංහල වංසකතා අතර බෝධීන් වහන්සේ, මහා ථූපය, දළදා වහන්සේ වැනි ශුද්ධ වස්තූන් අරබයා ලියන ලද විස්තර කතා ද වේ. පාලි බෝධිවංසය, පාලි ථූපවංසය, දාඨාවංසය හා සිංහල බෝධිවංසය, සිංහල ථූපවංසය, දළදා සිරිත ආදිය ඒවාට නිදසුන්ය. මෙම කෘති අරම්භයේ දී සිංහලෙන් ලියා පසුව සංශෝධන ස්වරූපයෙන් පාලි භාෂාවට පරිවර්තනය කර ඇත. සිහලෙන් ලිවූ කෘති නැති වී ගිය නිසා හෝ වෙනත් හේතු නිසා එම ග්‍රන්ථ නැවත වරක් සිංහල භාෂාවෙන් ලියා ඇත. සමහර විට එකම වස්තුවක් අරබයා එසේ ලියන ලද ග්‍රන්ථ කිහිපයක් දක්නට ලැබේ. උදාහරණයක් ලෙස දළදා සිරිත හා දළදා පූජාවලිය දැක්විය හැකිය. පොදුවේ මෙම කෘතින්හී සවිස්තරවූත් වැදගත්වූත් ඓතිහාසික තොරතුරු විරලය. පාලි බෝධිවංසය නැමති ග්‍රන්ථ නාමයෙන්ම කියවෙන පරිදි අනුරධපුරයේ ශ්‍රී මහා බෝධියේ ඉතිහාසය අලලා ලියවුනකි. දහවන සියවසේ අග භාගයේ ජීවත් වූ උපතිස්ස නම් හිමිනමක් විසින් ලියන ලද බැව් පිළිගැනේ. මෙය සිංහල මුල් ග්‍රන්ථයක පරිවර්ථනයක් බව කර්තෘම පවසයි. මෙම ග්‍රන්ථයෙහි සිංහල අනුවාදය සිංහල බෝධිවංසය නමින් ප්‍රකට විය. එය කුරුණෑගල සමයේ රජ කළ හතරවන පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලයේ විල්ගම්මුල සංඝරාජ හිමියන් විසින් රචිතය. පාලි ග්‍රන්ථයේ කරුණු සිංහල කෘතියෙන් ඉවත්කර නැතත් එය පාලි ග්‍රන්ථයේ හුදු පරිවර්තනයක්ම නොවේ. ථූපවංසය ලියැවී ඇත්තේ දිවයිනේ මහා ථූපය වූ රුවන්වැලි මහා සෑය මුල්කොට ගෙනය. මෙහි ද පාලි හා සිංහල පිටපත් දෙකක් දක්නට ලැබේ. මුලින් රචනා වූ පාලි ථූපවංසය ලියා ඇත්තේ වාචිස්සර නැමති භික්ෂූණ් වහන්සේ නමකි. එය පොළොන්නරු යුගයේ දී හෝ දඹදෙණි යුගයේ දී රචිතය. සිංහල ථූපවංසය පොළොන්නරු සමයෙන් මද කලකට පසුව රචනා කළ ග්‍රන්ථයක් ලෙස සැලකිය හැකිය. සිංහල ථූපවංසයේ කර්තෘ වූ පරාක්‍රම පණ්ඩිත විසූ කාලය ගැන නිසැක නිගමනයකට බැසීම දුෂ්කරය. සිංහල ථූපවංසය රචනා කිරීමේ දී පාලි ග්‍රන්ථය ඇසුරු කළ නමුත් පාලි ග්‍රන්ථයට සම්පූර්ණයෙන්ම වහල් වී නැත. මෙම ග්‍රන්ථයෙන් අඩකටත් වඩා යොදවා ඇත්තේ මහාථූපයේ ඉතිහාසය හා එය ගොඩනැගූ දුටුගැමුණු රාජ්‍ය කාලය විස්තර කිරීම සඳහාය. පාලි දාඨාවංසය ලියන ලද්දේ ලීලාවතී බිසවගේ කාලයේ දී පළමු වන ධම්මකිත්ති නම් තෙරවරයෙකු විසින් පරාක්‍රම නැමති සෙනෙවියාගේ ආරාධනයෙනි. පාලි දාඨාවංසයට විෂය වී ඇත්තේ කිත්සිරිමේඝවණ්ණ රජුගේ කාලය අවසානය දක්වා දළදා වහන්සේගේ ඉතිහාසයයි. මීට පසුව සිංහල රචකයින් විසින් දන්තධාතුව ගැන වඩා දීර්ඝ වූ කාලයක් අලලා සිංහල දළදාසිරිත ලිවූහ. ක්‍රි:ව දහහතරවැනි සියවස තරම් මෑත කාලයක දී පාලි ග්‍රන්ථයේ සම්ප්‍රදාය අනුව යමින් මෙය ලියවුනි. දන්තධාතූන් වහන්සේගේ ඉතිහාසය ලිවීමට ගත් තවත් ප්‍රයත්නයකි දළදා පූජාවලිය. මෙය පාලි දාඨවංසය අනුගමනය කරමින් ලියා ඇත. පාලි දාඨවංසයේ ඇතුළත් කරුණු වලට අමතරව දළදා පූජාවලියේ අවසාන පරිච්ඡේදය දළදා වහන්සේට ලක්දිව රජවරු විසින් කරන ලද පූජා පිළිබඳ විස්තරයක් සඳහා වෙන් වී ඇත. මෙහි සඳහන් අවසාන රජු සිවුවන පරාක්‍රමබාහු රජු නිසා මේ ග්‍රන්ථය ද ඔහුගේ රාජ්‍ය කාලයට පසුව ලියන ලද්දක් බව පැහැදිලිය. දළදා පූජාවලී කතු තුමා ලක්දිව ඈත අතීතය ගැන ලිවීමේ දී මහාවංසයෙන් ගාථා උපුටාගෙන ඇත. පාලි ලලාටධාතු වංසය තවත් වංසකතාවකි. මෙහි ද සිංහලෙන් හා පාලියෙන් ලියවුනු කෘති දෙකකි. එය දහවන හෝ එකොළොස්වන සියවසේ දී ලියන්නට ඇතැයි අනුමාන කෙරේ. එහි තේමාව වී ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ නළල් ධාතුව පිළිබඳ ඉතිහාසය පැවසීමයි. කර්තෘ අවිනිශ්චිතය. කාම්භෝජ්‍යා මහාවංසය මොග්ගල්‍යාන නැමති භික්ෂුවක් විසින් පොළොන්නරු යුගයේ දී රචනා කරන ලද්දකි. හත්ථවනගල්ල විහාරවංසය සිරිසඟබෝ රජුගේ චරිතයත් අත්තනගලු විහාරයේ ආරම්භය හා සංවර්ධනය විස්තර කෙරෙන්නකි. එය දඹණියේ පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී අනවමදර්ශී නම් සංඝරාජයානන් වහන්සේගේ ශිෂ්‍යයෙකු විසින් රචිත බව සඳහන් වේ.