Tuesday, August 17, 2010

පිරිතේ ආරම්භය හා විකාශනය

වර්තමාන පිරිත් ක්‍රමයේ ආදිතම අවස්ථා පිළිබඳ විමර්ශනය කරන විට එහි මූලාරම්භය ප්‍රාග් බෞද්ධ යුගය දක්වා සම්බන්ධ වන බව පෙනේ. “පරිත්ත “ යන වචනය ප්‍රාග් බෞද්ධ යුගයේ භාවිතා වූ ක්‍රම අතර දක්නට ලැබේ. විශේෂයෙන් ම ජාතක කථා ආශි‍්‍රතව ආරක්ෂාව සඳහා නොයෙක් මන්ත්‍ර ආදිය භාවිත වූ බවක් හා බහුලව ම ඒවා පිරිත් අර්ථයෙන් ක්‍රියාත්මක වන්නට ඇතැයි ද අනුමාන කළ හැකිය. සාමාන්‍යයෙන් පිරිත සඳහා උපයෝගි කර ගනු ලබන පිරිත් නූල්වැනි දේ ජාතක කථාවල දී ආරක්ෂාව සඳහා යොදා ගෙන ඇති බවක් පෙනී යයි.
එමෙන්ම සමහර පිරිත් සූත්‍ර වලට අයත් වන කොටස් වල ප්‍රාග් බෞද්ධ යම් යම් ඇදහිලි වල ඡායාවන් දැකගත හැකිවේ. එසේ වුවත් එහි එක එල්ලේම ඉදිරිපත් කළ නොහැකි අදහසකි. කෙසේ වෙතත් මෝර ජාතකය ආශ්‍රයෙන් පිරිත් පොතට ඇතුළත් වී ඇති මෝර පිරිතෙහි මුල් කොටසේ අන්තර්ගත වන්නේ සුර්ය වන්දනාවයි. මේ පිළිබඳව අටුවා මතය වන්නේ එය බ්‍රහ්ම වන්දනාව බවයි. එම පිරිතේ දෙවන කොටසට බුද්ධ වන්දනාව ඇතුළත් වන අතර, අටුවාව එය විග්‍රහ කරන්නේ “පරිත්ත” යනුවෙනි. ඒ අනුව එම වන්දනා ක්‍රමය තුළින් ආරක්ෂාව ලබා ගැනීම සඳහා උපයෝගී කර ගත් විධික්‍රමයක් දක්නට ලැබෙන බව උපකල්පනය කළ හැකිය.
පූජා චාරිත්‍රවලින් යුත් පරිත්‍රාණ දේශනාවක් මුල් වරට දක්නට ලැබෙන්නේ විශාලා මහ නුවර තුන් බිය දුරු කිරීම සඳහා බුදුන් වහන්සේ රතන සූත්‍රය දේශනා කළ අවස්ථාවේ දී ය. ඒ දේශනා අවස්ථාවල දී බලිකර්ම සඳහා යොදා ගන්නා උපචාර විධි යොදා ගැනීමට උපදෙස් දී තිබේ. එයින් බලි කර්මයකට සමාන සේ මෙය ආරම්භ කර තිබූ බව පෙනේ. ඒ නිසා එහි දී පිරිත් දේශනාව අංග සම්පූර්ණ පූජා චාරිත්‍ර විධියක් බවට පත්ව ඇති බව හා බුදුන් වහන්සේ ලවාම එය අනුමත කරවාගෙන ඇති බවත් නිගමනය කළ හැකිය.

ලක්දිව පිරිතේ ආරම්භය හා විකාශනය

ලක්දිව පිරිත පිළිබඳව විජය පුරාවෘත්තයේ යම් සඳහනක් මුල් වරට දක්නට ලැබේ. බුදුන් වහන්සේ දුන් උපදෙස් මත ශක්‍රයා විසින් මෙහෙයවන ලද උපුල්වන් දෙවිඳු පැවිදි වෙස් ගෙන ලංකාවට විජය ඇතුළු පිරිස පිටත් වන්නට සූදානම් වූ අවස්ථාවේ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පිරිත් පැන් ඉස පිරිත් නූල් බැඳ එන්නට ඉඩ සැලසු බවට වංසකථා සාක්ෂි දරයි. මේ පුරාවෘත්තයෙන් කරුණු රාශියක් පිළිබඳව යම් වැටහීමක් ලබා ගත හැක. ඉන් වැදගත්ම කාරණාව නම් ලංකාවට පැමිණි ආර්යයන් බෞද්ධයන් බව දැක්වීම ය. අනිත් කරුණ නම් ලංකාවේ ආර්ය ජනාවාස පිහිටුවීමට පෙර සිටම ඉන්දියාවේ දී ම ආර්යයන් පිරිත් භාවිත කර ඇති බවයි. එසේම සිංහල වර්ගයාගේ ආරම්භයේ සිටම සෙත් පිරිත් භාවිතය දැන සිටි බවද සනාථ කර ගත හැකිවේ.
මුල් කාලීන අවස්ථා පිළිබඳ මහාවංසය ආශි‍්‍රතව කරුණු පරීක්ෂා කර බලන විට සුලබව පිරිත් දේශනා කිරීමක් ගැන සාක්ෂි සොයා ගැනීම අපහසුය. දුටුගැමුණු අවධිය වන විට ලාංකීය බෞද්ධ ජනතාව පරිත්‍රාණ පූජා යම් තරමකින් තම ජීවන රටාවේ සුබ සිද්ධිය සඳහා දායක කරගත් බවක් දක්නට ලැබේ. ඒ යුගයේ දී මේ සඳහා භාවිතා කර ඇත්තේ “ධම්ම සජ්ක්‍ධායනා “ යන පදයයි.රුවන්වැලි සෑයේ ධාතු නිධානෝත්සවය නිමිති කරගෙන දුටුගැමුණු රජතුමා මෙම ධම්ම සජ්ඣායනාවක් සිදු කර ඇත.
මෙයින් පෙනී යන්නේ පැරණි කල මෙය ජනපි‍්‍රය නොවු බවකි. එසේ නැතිනම් මෙම වචනය ජනපි‍්‍රය නොවී තිබුණු බවයි. කෙසේ වුව ද මේ පිළිබඳව නිශ්චිත නිගමනයක් දීම අසීරු වුව ද මහා විහාරික හෝ අභයගිරි, ජේතවන දෙනිකාය අතින් හෝ පිරිත ජනපි‍්‍රය වූවායයි අනුමාන කළ හැකිය. බුද්ධ ඝෝෂ හිමියන්ගේ අටුවා තුළින් හා බුද්ධදත්ත හිමිගේ කෘති වලින් ඒ සඳහා යම් සාධකයක් ලබා ගත හැකිය.
ලාංකික පිරිත පිළිබඳව ප්‍රබල සාධකයක් දක්නට ලැබෙන්නේ 1 වන උපතිස්ස (ක්‍රි.ව. 362 - 409 ) රජුගේ කාල වකවානුවේදීය. ඒ කාලයේ ඇති වූ දුර්භික්ෂ හා රෝග බියක් සංසිඳුවා ගැනීම සඳහා රතන සූත්‍රය දේශනා කර ඇත. උත්කර්ෂවත් ලෙස පැවැත් වූ එම උත්සවය විශාලා මහනුවර පිරිත් දේශනයට සමානව පවත්වා ඇත.
මාර්ගය දෙපස සරසා බුද්ධ ප්‍රතිමාවක් තනා ඒ පිළිමයේ දෙඅත් මත ගලින් කළ පාත්‍රයක් තබා භික්ෂූන් පිරිවර කොට වීථී සංචාරය කරමින් මුළු නගරය පුරාම පිරිත් පැන් ඉස ඇත. එයින් මොහොතකට පසුව වර්ෂාව ලැබුණු බව මහාවංසය සඳහන් කරයි. මහාවංසයේ ගංගා රෝහණ වර්ණනාව ලෙස දැක්වෙන්නේ මෙම රතන සූත්‍ර දේශනාව බව වල්පොළ රාහුල හිමියන්ගේ අදහසයි. එසේම පිරිත් කීමෙන් ආරක්ෂාව සිදුවෙතැයි යන විශ්වාසය ඇතැම් විට උපතිස්ස රජුගේ දවසටත් වඩා පැරණි වන්නට හැකි බව ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතා ප්‍රකාශ කරයි. නමුත් උපචාර සහිත පිරිත් දේශනයක් ගැන ඓතිහාසික පුරාවෘත්තයේ සඳහන් වන්නේ 1 වැනි උපතිස්ස යුගයේ නිසා එය වැදගත් සාක්ෂියක් සේ සනිටුහන් කළ හැකිය. පසු කාලීන තිස් පැයේ පිරිත් වලට මෙහි ආභාෂය බොහෝ සෙයින්ම ලැබෙන්නට ඇතැයි නිශ්චය කළ හැකිය.
අනතුරුව පිරිත් උත්සවයක් ගැන සඳහන් වන්නේ iv වැනි අග්බෝ (ක්‍රි.ව. 638 - 674) රජුගේ කාලයේ දීය. නමුත් නිශ්චිත හේතුවක් හෝ විස්තරයක් ඒ පිළිබඳව සඳහන් නොවේ.
1 වැනි උපතිස්ස සමයට සමාන අයුරින් ii වැනි සේන (ක්‍රි.ව. 851 - 885) රාජ්‍ය කාලයේ පිරිත් උත්සවයක් පවත්වා ඇති බව මහාවංසයේ දැක්වෙයි. මෙම උත්සවය ද දුර්භික්ෂ සමය නැති කර රටට සෞභාග්‍යය උදාකර ලීම පිණිස සිදු කර ඇති බව සඳහන් වේ. මෙහි දී බුද්ධ ප්‍රතිමාව වෙනුවට අනඳ හිමියන්ගේ ප්‍රතිමාවක් උපයෝගී කරගෙන තිබේ. මේ සඳහා අනඳ ප්‍රතිමාව යොදා ගැනීම ඉතා උචිත ක්‍රියාවක් බව වල්පොළ රාහුල හිමියන්ගේ අදහසයි.
ඒ විශාලා මහනුවර පිරිත්දේශනා කර අවසන, බුද්ධ පාත්‍රයෙන් පැන් ඉසිමින් වීථී සංචාරය කළේ ආනන්ද හිමියන් බැවිනි.එසේම මෙම රාජ්‍ය සමයේ දීම රතන සූත්‍රය රන්පත් වල ලියූ බව ඓතිහාසික සාධක වලින් තහවුරු වෙයි. තුන් නිකායේම භික්ෂූන් වහන්සේලා සහභාගි කරවාගෙන සිදු කළ පිරිත් උත්සවයක් v වැනි කාශ්‍යප රජුගේ (ක්‍රි.ව.913 -923 ) රාජ්‍ය කාලය තුළ දක්නට ලැබේ.මේ තුළින් රෝ, බිය, දුක් පලවා හැරිය බවත් සඳහන් නමුදු මෙම පිරිත් උත්සවය කෙබදු අයුරින් පැවැත්වුවා ද යන්නට පැහැදිලි සාක්ෂි සෙවීම දුෂ්කර ය.
පිරිත් පිළිබඳ තවත් සඳහනක් vi වැනි මිහිදු රජුගේ මිහින්තලා සෙල් ලිපියෙහි දක්නට ලැබේ. මෙහි සඳහන් වන කරුණු අනුව එකල සිල්වත් භික්ෂූන් නිරන්තරයෙන් ම තම පරිහරණයට ගත යුතු පිරිත් කිහිපයක් භාවිතයේ තිබූ බව පෙනේ. ඒ අතරින් කරණීය මෙත්ත සූත්‍රයට සුවිශේෂත්වයක් හිමි ව ඇත. මේ කරුණු වලින් සනාථ වන්නේ් මේ කාලය වන විට පිරිත බොහෝ සමීප දහමක්ව තිබූ බවයි .
විශේෂයෙන්ම පොළොන්නරු යුගය වන විට ඉතා දියුණු චාරිත්‍ර විධි වලින් සුසංහිත පරිත්‍රාණ දේශනා දක්නට ලැබෙන බව වංශ කතා සාහිත්‍යය තුළින් තහවුරු වෙයි. මේ මතය වල්පොළ රාහුල හිමියන්ද සනාථ කරනු ලබයි. මහා පරාක්‍රමබාහු යුගයේ දී පිරිත් සජ්ඣායනා කිරීම සඳහා “පඤ්චසත්තක මන්දිර “ යනුවෙන් වෙන ම මණ්ඩපයක් තනා එහි දී පිරිත් පැන් හා පිරිත් නූල් බෙදා දී ඇත. නිශ්ශංක මල්ල රජුගේ “ නිශ්ශංකලතා මණ්ඩපය “ ද එසේ උපයෝගි කර ගනු ලැබූ මණ්ඩපයකි. පොළොන්නරු කතිකාවතේ සඳහන් කරුණු අනුව පැහැදිලි වන්නේ මහජනයා නිතර නිතර පිරිත් දේශනා කරවාගෙන ඇති බවයි. පිරිත වඩාත් ම ජනපි‍්‍රය දේශනා ක්‍රමයක් බවට දඹදෙණි යුගයේ පත්ව ඇති බව දඹදෙණි කතිකාවත් වල සඳහන් තොරතුරු වලින් සනාථ වේ. ඒ සාධක අනුව සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනා ක්‍රමය ඇරඹියේ මේ යුගයේ දි යැයි නිශ්චය කිරීමට පුළුවන.
කුරුණෑගල යුගයට අයත් දළදා සිරිතේ පිරිත් පිළිබඳ විශේෂ සටහනක් දක්නට ලැබේ. එනම් අභිනව රාජ්‍ය පාලකයකු රජ මාලිගයේ වාසය කිරීමට පැමිණෙන විට මහා සංඝ රත්නය ලවා පිරිත් කරවාගෙන පැන් ඉස්සවා ආරක්ෂාව ලබා ගත් බවයි. ඒ අනුව කුරුණෑගල යුගය වන විට රාජ්‍ය පාලකයින් තම විශේෂ අවස්ථා වලදි පිරිත් දේශනා කරවාගෙන සෙත් ප්‍රාර්ථනා කර ගත් බව පෙනී යයි. ඒ අනුව මේ යුගය වන විට පිරිත බොහෝ දුරට ජනපි‍්‍රය පූජා චාරිත්‍රයක් බවට පත්ව ඇති බව නිගමනය කළ හැකි වන්නේ විශේෂයෙන් ම දළදා චාරිත්‍ර වලදි පවා එය ආධාර කර ගැනීමට කටයුතු කර ඇති හෙයිනි.
කෝට්ටේ පැරකුම්බා සමයේ පැපිලියානේ සෙල්ලිපියේ පිරිත් උත්සවයන් ගැන සඳහන් වී තිබේ. එසේම උපුල්වන් විභීෂණ ආදි දෙවිවරුන්ට පූජා පවත්වන දේවාල වල භික්ෂූන් වහන්සේලා දිනපතා සවස දේවාලයට ගොස් රජ මාලිගාවේ දී රජුට පිරිත් කී පරිද්දෙන් පිරිත් කියා ඒ දෙවිවරු දිව්‍යානුභාවයෙන් වැජඹෙත්වා යි ප්‍රාර්ථනය කර ඇත.
රතන සූත්‍රය පිරිවහන කිරීමෙන් මේ කවර දෙවියෙකු ලවා හෝ තම අදහස ඉටු කරවා ගත හැකි බලයක් නායක තෙරවරුන්ට ඇතැයි යන විශ්වාසයක් එකල ලාංකික බෞද්ධ ජනතාව අතර තිබී ඇත. ඒ අනුව මේ කාලය වන විට පිරිත් චාරිත්‍ර හා දේව සංකල්ප අතර යම් කිසි සබැඳියාවක් තිබූ බව උපකල්පනය කළ හැකි ය.
පිරිතේ විකාශනය පිළිබඳව සලකා බලන විට එහි වඩාත් වෙනසක් දක්නට ලැබෙන්නේ මහනුවර යුගයේ දීය. විශේෂයෙන් ම මහායානික අදහස් හා දෙවියන් පිළිබඳ සංකල්ප ප්‍රබල ලෙස පිරිත් චාරිත්‍ර සමඟ බද්ධ වූ ආකාරයක් මෙකල දක්නට පු‍්‍රළුවන. මහනුවර යුගයේ දෙසු පිරිත් ද හින්දු ශාන්ති කර්ම ආදියට බෙහෙවින් සමාන විය. බලි තොවිල් වලදී ගන්නා බුලත්, නා දලු, කුස තණ, ආදි ද්‍රව්‍යයන් පිරිතක දී භාවිතයට ගන්නා ලදි. දෙවියන් යැදීම ද ශබ්ද පූජා පැවැත්වීම ද පිරිත සඳහා අත්‍යවශ්‍ය සාධක සේ සැලකිණි.
වර්තමාන ලාංකික බෞද්ධ සමාජය තුළ පිරිතේ ක්‍රියාත්මක ස්වරූපය විමර්ශනය කර විට බොහෝ සෙයින්ම සෙත්පිරිත් ක්‍රමය ජනපි‍්‍රය ක්‍රමයක් සේ ජනතාවට සමීප වී තිබේ. ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ සෑම සුබ කටයුත්තකදී මෙන් ම විපත් අවස්ථා වල දී ද ඒ පිහිටාධාරය පැතීම දක්නට ලැබේ. ඊට අමතරව තිස්පැයේ පිරිත් ක්‍රමය ද ජනපි‍්‍රය ව ඇත. සති පිරිත වැනි දීර්ඝ කාලයක් හා විශාල මුදලක් වැයවන පරිත්‍රාණ පූජා විහාරස්ථානය ආශි‍්‍රතව සිදු කරයි. 

ශාස්ත්‍රපති
උඩුබද්දාවේ අස්සජි හිමි

මහාචාර්ය නාබිරිත්තන්කඩවර ඤාණරතන හිමි - සමග පිළිසදරක්

කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන 
මහාචාර්ය නාබිරිත්තන්කඩවර ඤාණරතන හිමි -  සමග පිළිසදරක්

හාමුදුරුවනේ ලොව පුරා බෞද්ධයන් සම්බුදු තෙමඟුල ඉතා උත්කර්ෂයෙන් සමරනවා. මෙසේ වෙසක් උත්සවය සැමරීම සම්බන්ධ දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා නේද ?
ඔව්. බුද්ධෝත්පත්තියටත් කලින් පෝය දිනය උපෝසථ දිනයක් විදියටයි සැලකුණේ. බුදුන් වහන්සේගේ පහළවීම සමග විවිධ පෝය වලට අලුත් අර්ථ කථන ලැබුණා. එය සමාජ ගතවීමක් විදියට වෙසක් පෝය පදනම් කරගෙන බුද්ධ වර්ෂ ක්‍රමයකුත් ඇතිවෙලා තියෙනවා. කොහොම වුණත් සමාජයේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම ශිෂ්ට සම්පන්න මනුෂ්‍යයන් විදියට ප්‍රතිපත්ති ගරුක ලෙස ලෞකිකත්වයෙන් බැහැර වු දිනයක් තමයි පෝය දිනය. ත්‍රිපිටකයේ විවිධ ධර්ම දේශනා සිදු කළ ස්ථාන ගැන සඳහන් වුණාට ඒ දේශනා සිදු කළ දින පිළිබඳව සඳහනක් නෑ. ඒත් පසළොස්වක පෝය දිනවල කළ ධර්ම දේශනා පිළිබඳව විශේෂයෙන් සඳහන් වෙනවා. 
ඒ කියන්නේ පෝයට යම් වැදගත්කමක් ලැබිලා තිබුණා කියල අනුමාන කරන්න පුළුවන්. බුද්ධ කාලයේත් විශාඛාව ආදීන් පිරිවර සමග පසළොස්වක පෝය දිනවලට විහාරාරාමවලට ගොස් මල් පහන් පූජා පැවැත්වූ බව සඳහන් වෙනවා.
එහෙත් වෙසක් පෝයට වැදගත්කමක් ලැබුණේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව යි. ඒ වගේ ම වෙසක් දිනය ශ්‍රී ලාංකිකයන්ට වැදගත් වෙන්නේ මහින්දාගමනයෙන් පසුව යි. ඒ කාලයේ රට පාලනය කළ දේවානම්පියතිස්ස රජතුමා පාලකයෙකු ලෙස සිටියත් අභිෂේක ලැබුවේත් වෙසක් පෝය දිනයකයි.
ඒ වගේම අපේ ජාතියේ ආරම්භය සිදු වුයේත් වෙසක් පුර පසළොස්වක පෝය දිනයක කියලයි සිංහලයන් විශ්වාස කරන්නේ. මහා වංශයේ සඳහන් වන විදියට විජය කුමරු ලංකාවට පැමිණියේත් බුද්ධ පරිනිර්වාණය සිදු වූයේත් එක දිනකයි. මේ වාගේම දුටුගැමුණු රජතුමා වසර විසි හතරක් රාජ්‍ය කාලය පුරාම වෙසක් උත්සවය උත්සව ශ්‍රීයෙන් පැවැත්වූ බවත් භාතිකාභය වසභ වැනි රජවරුන් වෙසක් උත්සවය සෑම වසරකම පැවැත්වූ බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. රුවන්වැලි මහ සෑයේ මංගල ප්‍රතිෂ්ඨාපනය සිදු කළේත් වෙසක් දිනයක යි. මේ ආකාරයට වෙසක් උත්සවය ආගමික මෙන්ම සමාජීය වටිනාකමකින් යුතු උත්සවයක් බවට පත් වෙලා තියනවා.
ඒ වගේම වෙසක් උත්සව සැමරුමේ ස්වරූපයත් යුගයෙන් යුගයට විකාශනය වී ඇවිත් තියෙනවා නේද ?
ඔව්. දැන් බලන්න 9 වැනි සියවසේ සිටි රජවරු සම්මත කරල තිබුණා. මස්, මාළු, මත්පැන් ආදිය නගරයට ගෙන ඒම තහනම් කියලා. වර්තමානයේත් මේ දේවල් තියනවා. මේවා අපේ ඉතිහාසයේ තිබු සම්ප්‍රදායන්.
දන්සැල් සම්ප්‍රදාය ගත්තත් වෝහාරික තිස්ස, ජෙට්ඨතිස්ස, ගෝඨාභය වැනි රජවරුන්ගේ කාල වල වෙසක් පොහෝ දිනයට භික්ෂූන්ට දන්පැන් පිරිනැමු ආකාර විස්තර වෙනවා. ඒ වගේම ධ්ධ් වැනි මුගලන්, ධ්ධ් වැනි සේන වැනි රජවරුන් දුප්පතුන්ට ආහාරපාන බෙදා දී තිබෙන්නේත් මේ පොහොය චාරිත්‍රයක් ලෙස. ඒ වගේම පාහියන් දේශාඨන වාර්තාවලින් හෙළි වෙනවා අනුරාධපුර යුගයේ වෙසක් සැමරීමක් ලෙස මග දෙපස සිතුවම් වලින් අලංකාර කර තිබූ බව. පුරාණයේ සිට වෙසක් සැමරීමේ දී මූලිකත්වය ලැබුණේ ප්‍රතිපත්ති පූජාවට යි. වෙසක් උත්සවය සැණකෙළියක් බවට පත් වෙන්නේ පොළොන්නරු යුගයේ දීයි. ඒකට හින්දු බලපෑම ලැබෙන්න ඇති.පසු කාලීනව වෙසක් සැණකෙළි බැලීමට බොහෝ පිරිස් නගරවල වීදි සංචාරය කළ ආකාරයක් දැක ගන්න ලැබෙනවා. මට මතකයි අපි පුංචි කාලයේ අවුරුද්දටත් වඩා බලා සිටියේ වෙසක් එන කල්.ඒ මොකද වෙසක් උත්සවයේ තිබුණා විචිත්‍රවත් බවක්. අපි ගමේ නිදහසේ ඇවිදලා දන්සැල් භුක්ති විඳලා තොරණ, පහන්කූඩු බලලා මහත් විනෝදයක් ලැබුවා. හැබැයි වෙන පෝය වලට සිල් සමාදන් නොවුණත් වෙසක් පෝය දිනයට නම් හැමෝම වගේ සිල් සමාදන් වුණා.
කාලයක් ගත වෙද්දී වෙසක් දිනය රාජ්‍ය නිවාඩු දිනයක් බවට නිල වශයෙන් පත් වුණා. දැන් එය ශ්‍රී ලාංකිකයන්ගේ මැදිහත්වීම මත අන්තර්ජාතික නිවාඩු දිනයක් වී තිබෙනවා.කොහොම වුණත් අතීතයේ සිට වෙසක් දිනය නොනිල වශයෙන් නිවාඩු දිනයක් වෙලයි තිබුණේ.තුන්වැනි උදය රජු පිහිට වූ බදුලු සෙල්ලිපිය සඳහන් කරන විදියට පෝය දිනට වෙළඳාම් කරන අයට දඬුවමක් ලෙස මහියන්ගන විහාරයට තෙල් බද්දක් ගෙවීමට සිදු වුණා.ඒ කියන්නේ ඒ දිනයට නිවාඩු ගෙන ලෞකිකත්වයෙන් බැහැරවී සිටිය යුතු බවට තිබූ සම්ප්‍රදායයි.
මිනිසුන් ආමිස හා ප්‍රතිපත්ති කියන පූජාද්වයෙන්ම වෙසක් සැමරූ බවට පැහැදිලියි. මේ වෙසක් සැමරීම සමඟ බුදු දහමේ ගැඹුරු දර්ශනය සම්බන්ධ වුණේ කෙසේද ?
බුද්ධ ධර්මය පදනම් කරගෙනයි බෞද්ධ සංස්කෘතිය හා දර්ශනය ගොඩනැගෙන්නේ. දර්ශනය කියන්නේ මනුෂ්‍ය ජීවන පැවැත්ම වඩාත් අර්ථවත් කර ගැනීමට ඉදිරිපත් කළ දැක්මයි. පටිච්චසමුප්පාදය, චතුරාර්ය සත්‍ය, ආදිය අපි දර්ශනය ලෙස හඳුන්වනවා.මේ දාර්ශනික කාරණා මිනිසුන්ට ගෙනියන්න ඉවහල් වුණේ බෞද්ධ සංස්කෘතියයි. වෙසක් උත්සවයට වැඩි පුර සම්බන්ධ වෙලා තියෙන්නේ බෞද්ධ දර්ශනයට වඩා බෞද්ධ සංස්කෘතියයි.අපි මුලින් කතා කළ බොහෝ දේ අයත් වෙන්නේ සංස්කෘතිකාංගවලට යි. තොරණ, පහන් කුඩු, පෙරහර ආදී මේ සියල්ල නියෝජනය කරන්නේ බෞද්ධ සංස්කෘතියයි. බෞද්ධ සංස්කෘතිකාංග කල එළි බහින්නේ වෙසක් පොහෝ දිනයට යි.ඇතැම් කෙනෙක්ට වෙසක් සැරසිලිවලට යම් යම් දාර්ශනික අර්ථ නිරූපණ දෙන්න පුළුවන්. චෛත්‍යයෙන් ත්‍රිශික්ෂණ පිළිබිඹු වෙනවා වගේ අට පට්ටමෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබිඹු වෙනවා කියන්න පුළුවන්.ඒත් මේවා බෞද්ධයාගේ ශ්‍රද්ධාවත් නිර්මාණාත්මක හැකියාවත් පෙන්නුම් කරන අවස්ථා විදියටයි මම දකින්නේ. මේවා බෞද්ධ සංකේත විය යුතුත් නෑ. බෞද්ධ සංකේත ලෙස භාරගත යුතුත් නෑ.පහන්කූඩු දැන් ගත්තාම අට පට්ටම් නෙළුම් මල් විතරක් නෙවෙයි, ප්ලේන්, වල්ගතරු ආදියත් තියනවා. ඒ නිසා මේ දේවලින් දාර්ශනික අගයක් බලාපොරොත්තු වෙන්න බැහැ.දානය හා සීලය බෞද්ධ දර්ශනයේ මූලිකාංගය වුණත් එහි ගැඹුර තිබෙන්නේ භාවනාව තුළයි. ඒ නිසා වෙසක් උත්සවය හා සම්බන්ධයෙන් වැඩි නැඹුරුවක් දකින්න ලැබෙන්නේ බෞද්ධ සංස්කෘතියටයි.
වර්තමානයේ වෙසක් සැමරීම පැතිකඩ කීපයකින් සිදු වෙනවා නේද ?
වර්තමානයේත් අර කියපු අංග නැතුවා නෙවෙයි. ඒත් අද ඇතැම් දේවල් සීමාව ඉක්මවා ගිහින් තියනවා. ඒකට හොඳම උදාහරණය තමයි වෙසක් කාඩ් පත.ඇතැම් වෙසක් කාඩ් පත් හුවා දක්වන්නේ බුද්ධාලම්භන ප්‍රීතිය හෝ නිරාමිසය නොවෙයි ආදරය රාගය වැනි දේවල්. ඒ ඒවාට හොඳ වෙළෙඳ පොළක් ලබා ගන්නයි. ආර්ථිකය මුල් කරගෙන වෙසක් සමරණ එක හොඳ දෙයක් නෙවෙයි. ඒකෙන් මූලික අරමුණු යටපත් වෙනවා.තොරණක් වුණත් ජාතක කතාවක් හෝ වෙනත් බෞද්ධ සාහිත්‍යයේ වැදගත් කතාපුවතක් හරහා සමාජයට පණිවිඩයක් ලබාදීමට නිර්මාණය වුණත් නව තාක්ෂණය අනිසි ලෙස භාවිතා කිරීම හරහා එහි සරලබව හා චාම් බව නැතිවී තිබෙනවා. ඒ වගේම සිත් නිවාලන ජවනිකා වෙනුවට හැඟීම් අවුස්සන ජවනිකා එකතු වෙලා තියනවා.
සතර දිගින් එන ඕනෑම කෙනෙක්ට කුසගින්න නිවා ගන්න නොමිලයේ ආහාර වේලක් දෙන්නයි දන්සැල් පවත්වන්නේ. දැන් ඇතැම් පිරිස් වෙසක් ආසන්න වන විට සංවිධානාත්මකව දන්සැල් සඳහා ආධාර එකතු කරනවා.ඒ ඕනෑම කෙනෙක්ගේ කුසගිනි නිවීම සඳහා නොවෙයි. ඒ අයගේත් ඒ අයගේ පවුල්වල අයගේත් කුසගිනි නිවීමටයි. මෙවැනි දේවලින් අපේ සාරධර්ම විනාශ වෙනවා. අපි මේ උත්සව හා පුජා පැවැත්විය යුත්තේ කාටවත් කරදරයක් හිරිහැරයක් නොවෙන විදියටයි.ස්වභාවිකත්වයටවත් හානියක් නොකරන්න කියා දේශනා කළ උතුමන්ගේ තෙමඟුල සිහි කිරීමේදී අන් අයට හානියක් සිදු කරන්නේ් කොහොමද ? තොරණ නිර්මාණයේදී විශාල වශයෙන් පුවක් ගස් වලට හානි සිදු වෙනවා නම් ඊට විකල්පයක් සෙවිය යුතුයි. නැතුව මේවා අධෛර්යමත් වී නවතා දැමීම නොවෙයි කළ යුතු වෙන්නේ.
අපි අපේ අනන්‍යතාව තබාගෙන වෙසක් උත්සවය සැමරීම සඳහා ඔබ වහන්සේ දේශනා කරන්නේ මොන විදියේ ක්‍රමයක් ද ?
මේ කිසිවක් නීති මගින් පාලනය කරන්න බැහැ. මේ පිළිබඳ සමාජය දැනුවත් කර නිවැරැදි අවබොධයක් ලබාදී අවංකව වෙසක් සැමරීමට දායක කර ගැනීමටයි උත්සාහ කළ යුතු වෙන්නේ.පසුගිය තිස් වසරක යුද්ධය අපේ ජන ජීවිතයේ අනෙකුත් වැදගත් අවස්ථාවන්ට මෙන්ම වෙසක් උත්සවයටත් බලපෑම් එල්ල කර තිබුණා. මිනිස්සුන්ට නිදැල්ලේ එකතුවෙලා තොරණක් නරඹන්න දන්සැලක් පවත්වන්න අවස්ථාව ලැබුණෙ නෑ.ඒ නිසා විසිතුරු පහන් කූඩු වෙසක් තොරණ ආදිය නිර්මාණය වීම සීමා වුණා. දැන් ඒ සමය නිමාවී තිබෙන නිසා අපට නිදහසේ වෙසක් සමරන්න පුළුවන්.පසුගිය වකවානුවේ අප දුටුවා මිනිසුන් ප්‍රතිපත්ති පූජාවට වැඩි නැඹුරුවක් දක්වන බව. විශාල වශයෙන් මනුෂ්‍ය ඝාතන සිදුවන දුක්ඛදායක පුවත් නිතර අසන දකින යුගයක මිනිසුන්ට ජීවිතය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමේ අස්ථිර බව ගැඹුරින් කල්පනා වුණා.මරණයේ සෙවණැලි නිතර දකින සමාජයක මිනිසා නිතර වෙහෙර විහාර වලට රැස් වුණා. ප්‍රතිපත්තිමය වශයෙන් සිල් සමාදන් වී භාවනා කළා. මෙය ලංකා බෞද්ධ සංස්කෘතියේ සංවර්ධනාත්මක අවදියක් වුණා.
මෙසේ ආමිසයටත් වඩා ප්‍රතිපත්තියට මුලිකත්වය දුන් ජනතාව තවදුරටත් දිරිමත් කරලා වෙසක් දිනට පමණක් නෙවෙයි සියලු පෝය දිනවලටත් පමණක් නොවෙයි මුළු ජීවිත කාලයේ සෑම දිනක්ම ප්‍රතිපත්ති ගරුකව ජීවත්වන සමාජයක් බිහි කරන්න මේ වෙසක් පෝය ආරම්භයක් කර ගනිමු.


කලාවට හා සෞන්දර්යයට බුදු මඟ හිමි වන තැන

බුදු දහම වනාහී සර්ව අශුභවාදී දහමක් බව ඇතැම් නොවියත් විචාරකයන් ගේ මතයයි. චතුරාර්ය සත්‍ය, ත්‍රි ලක්ෂණය, පටිච්ච සමුප්පාද විවරණය ආදී උන්වහන්සේගේ ප්‍රධාන ඉගැන්වීම් වලටද තේමාව වූයේ දුක්ඛ සංකල්පයයි. එමඟින් පුද්ගලයා තව තවත් දුකෙහිම ගිල්වන බවත්, ඔහුව පරාජිත වූ - අකර්මන්‍යත්වයට පත් කරවන බවත් බුදු දහම සර්ව අශුභවාදයකැයි හුවා දක්වන පිරිසගේ අදහසයි.
‘ආනන්ද් කුමාරස්වාමි’ මහතා පවසන පරිදි බුදුරදුන් සෞන්දර්ය අගය කර නොමැති බවට කරුණු පෙන්වීමට උත්සාහ කරයි. ඔහු සිය මතය සහේතුකව සනාථ කරන්නටද යත්න දරයි. එහිදී ඔහු පහත සඳහන් කරුණු ගෙනහැර පා ඇත.
(1) (චුල්ලවග්ග පාලියේ චුද්දක වත්‍ථුව) - බුදුරදුන් විසින් ස්ත්‍රී - පුරුෂ රූප චිත්‍රයට නැගීම තහනම් කැර ඇත.
(2) (දසධම්ම සූත්‍රය) - භික්‍ෂූන්ට නිරතුරුවම “මම දුර්වර්ණ බවට පැමිණියෙමි. පි‍්‍රයමනාප දෙයින් වෙන් වුනෙමි..” ලෙසට මෙනෙහි කරන්නට නියම කර ඇත.
(3)(විසුද්ධි මාර්ගය) - ප්‍රතිමා හා චිත්‍ර ශිල්පීන්ව අගයන්නේ , ඔවුන් විසින් නිර්මාණය කළ දෙයින් මුසපත්ව - මුලාවට පත්වූ අය විසින් බව ද දැක්වේ. මෙකී කරුණු නිසා බුදුරදුන් සෞන්දර්යය රසාස්වාදය ප්‍රතික්ෂේප කළ බව කුමාරස්වාමි මහතා විසින් ප්‍රකාශ කර ඇත.
සත්‍ය වශයෙන්ම බුදු දහම යනු අශුභවාදයක් ද? එසේ නම් බුදු දහමින් සෞන්දර්යය හා කලාකෘති රසවිඳීම බැහැරකර තිබේද? යන්න අපි විචාර පූර්වකව විමසිය යුතු වෙමු. ඒ අනුව සෞන්දර්යය පිළිබඳව විමසීම සුදුසුය. සංස්කෘත “ධ්වන්‍යා ලෝකය” නමැති කෘතියට අනුව සෞන්දර්යය යන්නෙහි වචනාර්ථය වන්නේ :- ඉන්ද්‍රියානු භූතියෙන් යමක් ගැන සොම්නස් සහගත වින්දනයක් - අත්දැකීමක් ලැබීමයි.
පාලි ත්‍රිපිටකය තුළ යෙදෙන “රමණීය - විචිත්‍ර - මධුර - පාසාදික - මනෝම්‍ය ...” වැනි පර්යාය පද වලින්ද ගම්‍ය වන සරලම අරුත නම් සොඳුරු සිත්කලු බවයි.
මෙකී සෞන්දර්යය රසවින්දනය යන්න බෞද්ධ දෘෂ්ටිකෝණයට අනුව කෙසේ ෂවරණය කර තිබේද? මේ පිළිබඳව විමසීමේදී ඉහතින් දක්වාලු ආනන්ද කුමාරස්වාමිගේ මතය සදොස් වූවක් බව පළමුකොටම සනාථ කළ යුතුයි. ඒ අනුව:-
(1) බුදුරදුන් භික්‍ෂූන්ට අකැප බව දක්වාලූයේ ස්ත්‍රී - පුරුෂ සම්භෝගය නිරූපණය කරලන ‘පටිභාන චිත්‍ර’ ඇඳීම පමණි. ජබ්බග්ගිය හිමිවරු සිය විහාරය තුළ මෙම චිත්‍ර සිතුවම් කළ විටකදී, එය භික්‍ෂූත්වයට අකැප බව දැක්වූ බුදුරදුන් , 26 වන පාචිත්‍ය ශික්ෂාව පණවමින් එකී චිත්‍ර ඇඳීමද තහනම් කළහ. එසේම භික්‍ෂූණී ප්‍රාතිමෝක්ෂයෙහි සංගෘහිත 41 වන පාචිත්‍ය ශික්ෂාව මගින්ද පටිභාන චිත්‍ර වලින් සමන්විත විය හැකි රාජාගාර නැරැඹීමට යාමද තහනම් කර ඇත. එපමණක් ද නොව භික්‍ෂූන් විසින් නොපිළිගත යුතු වන ‘මජ්ජ - සාජ්ජ - ඉන්ධී - උසභ - චිත්තකම්ම “ දාන පහ අතුරින් චිත්තකම්ම දාන යනුද පටිභාන චිත්‍රයි. එය “ මෙථුන ධම්ම සමායෝජිතානි ඉත්ථි පුරිස රූපානි...” ලෙසට ‘සාරසංග්‍රහයෙහි’ විග්‍රහව ඇත.
ඒ අනුව නරඹන්නා තුළ කාමුක හැඟීම් උද්දීපනය කරන, සරාගික හැඟුම් උපදවාලන චිත්‍ර ඇඳීම හා නැරැඹීමම පමණක් භික්ෂූන්ට අකැපය. මාලකර්ම - ලතා කර්ම - මකර දන්තාදී චිත්‍ර රසවිඳී මෙහිලා භික්ෂුවට කිසිදු තහනමක් නැත.
2.භික්ෂූන් තුළ තමන් සහ තමාගෙන් පරිබාහිර ලෝකයා ගැන යථාවබෝධයක් ඇති කරලීමත්, භික්ෂූන්ගේ ආකල්පමය වෙනසක් ඇතිකරලීමත් අරභයා බුදුරදුන් අනිත්‍ය - දුක්ඛ සහගතතාවන් ගැන මෙනෙහි කරන්නට ‘දසධම්ම සූත්‍රයේ’ දී අනුදැන වදාළහ.
3.විසුද්ධිමග්ගය රචනාවූයේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර දහසකටත් පසුවය. එහිදී බුද්ධ භාෂිතය තරමක් වෙනස් වී එහි සංගෘහිත වන්නටද ඇත. එසේම ඉන් තහනම් කර ඇත්තේ ද පෙරකී කාමෝද්දීපිත කලා නිර්මාණයන් රසවිඳීම පමණි.
අංගුත්තර නිකායෙහි එන ‘නිබ්බේධික සූතුරෙහි දී ස්වභාව සෞන්දර්යය රසවිඳ , එකී සුන්දරත්වයෙහි ඇලීම හෙවත් ලෞකික සෞන්දර්ය රසාස්වාදය වෙනුවට ඕලාරික නොවූ - නිරාමිස වූ ආධ්‍යාත්මික සෞන්දර්යය රසාස්වාදයම ඇගයේ. මෙම තත්ත්වය ථෙර - ථෙරි ගාථා වලින්ද මනාව තහවුරු වේ. නිදසුන් ලෙස:-
කාලපුට තෙරුන් විසින් සිදුකළ සොබා සෞන්දර්යය වර්ණනය දැක්විය හැක.”...සුනිල ගෙල ඇති - මනා සිළු ඇති - මනා පිල් ඇති විසිතුරු පක්ෂීහු (මොණරු) මේඝ ගර්ජනා හේතුවෙන් උද්දාමයට පැමිණ මධුර රාවයෙන් නාද කරති. එම මිහිරි නාදය ධ්‍යාන වඩන්නාගේ සිත් ඇදගනී.
තවද බුදු පියාණන් වහන්සේ කිඹුල්වතට වැඩමවාගනු පිණිස කාළුදායි තෙරුන් කළ ඇරයුමෙහිද අන්තර්ගත වන්නේ අපූර්වතම වු සෞන්දර්යය වර්ණනාවකි.
“අංගාරිනෝදාති දුමා භදන්තේ
එලේසිනෝ ඡදනං විප්පහාය
තෙ අච්චිමන්තෝව පහාසයන්ති
සමයො මහාවීර - භගීරසානං...”
යනුවෙන් “ඵල බලාපොරොත්තුවෙන් කොළ හැළුණු ගස් ගිනි අඟුරු මෙන් දිසෙයි. ඇතැම් ගස් ගිනි සිළු මෙන් ප්‍රභාෂ්වරය. තවත් ගස්වල මල් පිපී හාත්පසම සුන්දරවී ඇත. “...දැක්වේ. මෙකී වර්ණනාවන් තුළදී සොබා දහමේ වූ අපූරු චමත්කාරය දැක පහන් සංවේගයක් ඇතිකර ගැනීමත්, ශාන්ත රසය නිදහසේ අත්විඳීමත් හැරෙන්නට කාමුක හැඟීම් උපදවාගෙන, තෘෂ්ණා චෛතසික මධ්‍යයේ එකී අපූර්වත්වය රසවිඳීමක් කිසිම විටකවත් සිදුවී නැත.
බෝසතාණන් වහන්සේ විසින් සොබා සෞන්දර්යය ඇගයූ අවස්ථා ගැන විමසා බැලීමේදී ‘අරිය පරියේසන සුතුර” වැදගත් වේ. “තක්‍ෂද්දසං රමණියං භූමිභාගං, පාසාදිකංච වන ඝණ්ඩං නදිංච සංදන්තිඞ සෙතක සපතිත්ථ”..... ලෙසට “.. මේ භූමි භාගය ඉතා රමණීයය වන ලැහැබද ප්‍රසාද ජනකයඞමනා කොටු ඇති සුදුවැලි තලාමැදින් ගලනා නදියද සිත් සනසාලයි...”වර්ණිකය.
එසේම භික්‍ෂූන් වහන්සේලාගේ වාසය පිණිස බුදුරදුන් අනුදැන වදාළ ‘ආරාම’ ද වැදගත්ය.
මේ ධාතුවෙන් නිපන්මෙහි ගැබ්ව ඇති වචනාර්ථය නම් සිත් අලවන, මල් ඵල සහිත ස්ථානය යනුයි.”මනෝරථපූරණි’ අටුවාවට අනුව ‘පුෂ්ප ඵලාදිය නිසාත්, ගොදුරු ගමට ඉතා දුර හෝ ළඟද නොවූ, භික්‍ෂූන්ට විවිධ දෙසින් මෙහි විත් සිත් අලවා විසිය හැකි ස්ථානයම ආරාම යයි” ... ධම්මපදයෙහිදී:-
“රමණීයානි අර ඤ්ඤාණි -
යත්‍ථන රමතී ජනො
විතරාගා රමෙස්සන්ති -
නතෙ කාම ගවේසිනො...” යනුවෙන් වන ගාථා පාඨයද මෙහිලා වටී. ඒ අනුව පුහුදුන් නෙත්සිත් ඇද නොගන්නා රමණීයවූ ආරණ්‍යයන් චීතරාගීහු සුන්දර ලෙස දකිති. මක්නිසාදයත්, ඔවුන් කාම ගවේෂීන් නොවන හෙයිනි. මේ අනුව සොබා සෞන්දර්යය රසවිඳීම බුදුදහමින් ප්‍රතික්‍ෂේප නොවූ බව ගම්‍යමාන වේ.
“නතේ කාමායානි චිත්‍රානි ලෝකෙ -
සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ
තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලෝකෙ -
අෙත්‍ථා ධීරා විනයන්ති ඡන්දං”
යන ගාථාවද වටී. ලොව ඇති විචිත්‍ර - විසිතුරු දෙය කාමය නොවේ. යමකු තුළ එවැනි විචිත්‍ර දෙයක් නිසා සරාගික සංකප්ප පහළවේ නම් එකී සංකප්පයන් කාමයන් වේ. බුදුදහමින් කාමය මිස සෞන්දර්යය විචිත්‍රත්වය කිසිදු විටක බැහැර නොකළ බව අපට වටහාගත හැකිය. තවද කලා කෘතියක් හෝ සොබා සෞන්දර්යයේ චමත්කාරයන් හෝ රසවිඳීමේදී එකී විචිත්‍ර දෙය පිළිබඳව ඇලීම් - බැඳීම් සහිතව ඉඳ, ඒ පිළිබඳව තෘෂ්ණා සම්ප්‍රයුක්තවීමද නොකළ යුතු බව බුදු දහමින් අවධාරණය කර ඇත. එනම් “ආස්සාද - ආදීනව - නිස්සාරණ” යන ක්‍රමවේදයන්ට අනුව කලා නිර්මාණ රසවිඳීම ගිහියාට තබා විමුක්ති මඟට පිළිපන් භික්‍ෂූ සංඝයාට වුවද අකැප දෙයක් නොවේ.
මානව රස වින්දනයට ඉවහල් වන්නාවු නිර්මාණයන් අතරින් ‘කලාව‘ මූලිකය. කලාවෙන් සිදු වන්නේ ආනන්දයෙන් - ප්‍රඥාව කරා යාමකි. නමුත් ඊ.බී. හැවල්” මහතා පවසන පරිදි ‘සංගීතය - චිත්‍ර මූර්ති ආදී වූ කලාවන් වනාහි චතුසත්‍යවබෝධයට හානිකරවූ ලෞකික පාශයන් ය.” නමුත් සත්‍ය එය නොවේ. බෞද්ධ කලාව සතුව සදාචාර දර්ශනයක් ඇත. ඇතැමුන් ‘කලාව - කලාව සඳහා පමණක්” බව පවසති. නමුත් බෞද්ධ කලාවට උපයෝගිතාවක් ඇත. එහි පරමාර්ථය නිර්වාණය සාක්ෂාත් කර ගැනීමයි. පුද්ගලයා නිර්වාණගාමී මඟට යොමු කරමින් විමුක්ති සාධනය සඳහා දිරි දීම බෞද්ධ කලාවේ උපයෝගිතාවයි. බුදු දහම තුළ අන්තර්ගත යථාර්ථ විග්‍රහය - ඤාණ දර්ශනය අතිශයින්ම ගැඹුරුය. චතුරාර්ය සත්‍ය - ත්‍රිලක්ෂණ ධර්මය වැනි ගැඹුරු හර ධර්මයන් පුහුදුන් මනසට එක්වරම ග්‍රහණය කරගත නොහැකිය. ඒ නිසාම ඥානය ලබනු වස් - ප්‍රඥා පරිපාකය සඳහා අනුගමනය කළ යුතු වන මඟ සරලත්වයෙන් ඇරැඹී සංකීර්ණත්වය කරා දිවෙන ආනුපුබ්බී ක්‍රමයට සැකසී ඇත. ඒ අනුව ශ්‍රද්ධාව උවසු සිත්හි උපදවාගෙන, එකී ශ්‍රද්ධාව ආශ්‍රය කර ගනිමින් ශීලය - සමාධිය වඩවාලමින් ප්‍රඥාව ලබාගත යුතුය. මෙම ශ්‍රද්ධාව ඇති කරගැනීමට චෛත්‍ය - බුද්ධ ප්‍රතිමා දී මුර්ති කලා නිර්මාණත්, බුදු සිරිත හා බැඳීගත් විහාරීය බිතු සිතුවම් මහෝපකාරී වේ.
එසේම කුසලාකුසල ක්‍රියාවන්ට අනුරූපව විපාකදීම්ද සහිත බව පැවසෙන “ කම්මස්සකතා සම්මාදිට්ඨිය” යනු අරි මඟෙහි දැක්වෙන සම්මා දිට්ඨියෙහි මූල ප්‍රභේදයකි. මෙකී කමීය හා කර්මානුරූපීව විපාකදීම හා සබැඳුණු ඉගැන්වීම් අනුසාරයෙන් පුද්ගල චර්යාවන් සදාචාර සම්පන්න කරලිය හැකිය. එමගින් යහපත් සමාජ පරිසරයක් නිර්මාණය කළ හැකිය. මෙකී සද්කාර්යෙහිදීද බෞද්ධ කලා නිර්මාණයන්ට හිමි වනුයේ සුවිශේෂී ස්ථානයකි. විහාරීය බිතු සිතුවම්හි චිත්‍රණය කර ඇති දිව්‍ය ලෝක අපාය යම රජු වැනි චිත්‍ර මඟින් පුද්ගල මනසට හා නැණසට සියුම්ව සිහිපත් කරනුයේ සදාචාර ධර්මයන්ගෙන් අනූන වීමේ අගය තහවුරු කරමිනි. මේ අනුව කම්මස්සකතා සම්මාදිට්ඨිය පිළිබඳව බොදුනුවන්ට නිසියාකාර දැනුවත් භාවයක් ඇතිකරලීම සඳහාද බෞද්ධ කලා කෘතින් උපකාරි වේ.
බුදු දහම හා බද්ධ වු කලා සම්ප්‍රදායක් ද මේ වනවිට බිහිව ඇත. ඒ සඳහා මහායාන බුදුදහමේ ආභාසයත්, එසේම බුදු දහමේ සංකල්ප වඩාත් ප්‍රතිඵල දායක ලෙස ජනයා අතරට ගෙනයනු වස් සංකේත බවට පත්කරලීමත්, රාජ - රාජ මහා මාත්‍යයින්ගේ හා වාණිජ ප්‍රජාවගේත් දායකත්වය ලැබීමත් මූලිකවම හේතු විය.
ලාංකේය නුතන සමාජ සංස්ථාව දෙසට යොමු වන්නේ නම් එවිටද හෙළ කලා නිර්මාණබුදු දහමේ ආශිර්වාදය හා ආභාසය ලබමින් විරාජමානව පවතිනු දක්නට ලැබේ. රුවන්වැලි මහ සෑය, අභයගිරිය වැනි මහ සෑ රදුන් සේම, අවුකන බුදු පිළිමය, අනුරපුර සමාධි බුදු පිළිමය වැනි අද්විතීය වූ කලා නිර්මාණයන් අපේ කලා කරුවන්ගේ සියුම් තාක්ෂණ ක්‍රම වේදයත්, අසමසම වූ කලා කෞෂල්‍යත්, නිවුණු සැනසුණු ආධ්‍යාත්මික ශික්ෂණයත් මුළු මහත් ලෝකයාටම මොනවට පෙන්නුම් කරයි. තරගකාරි ජීවන රටාවකට අවතීර්ණව කාර්ය බහුලවූ දිවි ගෙවාලන සමාජයකට ඕලාරිකවු හැඟීම් උද්දීපනය කරමින්, කාමුකත්වය ඉස්මතු කරලන කලා කෘතින් රසවිඳීම සඳහා නොව, ලැබෙන ඉසිඹුවකදී වුව දැක පහන් සංවේග උපදවාලන - සිත් පහන් සුපහන් කරලන - සිතට සැනසුමක් හා නිරාමිස පී‍්‍රතියක් දනවන බුදු පිළිම වහන්සේ නමක්, මහ සෑයක්, වන්දනා කරන්න; එහි වූ ශාන්ත රසය නිසංසලව විඳගන්න. එවිට ඔබටම හැඟී යාවි බුදු දහම දුක හා බැඳුණු අශුභවාදී දහමක් නොව වන්දනීයවූ යථාර්ථවාදී වූ දහමක්ම බව. 

 සුභාෂිණී ධම්මිකා - ගඟුල්දෙණිය

භාරතීය බෞද්ධ පඩිවරු

 බෞද්ධ ධර්මාචාර්ය - බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය පොතේ - 11 පාඩම බලන්න. පොත පෙරලන්න. http://www.dahamsayura.org

ඒ උතුම් ශ්‍රී සද්ධර්මය රැකුණු හැටි

ගෞතම ශාක්‍ය මුණීන්ද්‍රයන් වහන්සේගේ සුවාසූ දහසක් ධර්මස්කන්ධය හඳුන්වන්නේ ත්‍රිපිටකය නමිනි. මෙම ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කිරීමෙන් පසුව අංග 04 කට බෙදේ. පාලි, පෙල, අටුවා, ටීකා, ටිප්පණි යනු විසිනි. මෙයින් පාලි පෙළ, අටුවා යන අංග දෙක පිළිබඳව විමසන විට එය අවස්ථා කිහිපයකට පැහැදිළිව වර්ග කළ හැකිය.

1. දඹදිව භාණක අවධිය
2. ලක්දිව භාණක අවධිය
3. හෙළටුවා අවධිය – අ. ග්‍රන්ථාරූඪ අවධිය
4. බුද්ධඝෝෂ පාලි අවධිය
5. ටීකා අවධිය යනුවෙනි.
සර්වඥයන්වහන්සේ සව් කෙලෙසුන් නසා බුදු බව ලැබීමෙන් පසුව පහළ කළ ‘අනේක ජාති සංසාරං’ යන උදාන වාක්‍යයේ සිට පිරිනිවන් පාන්නට මොහොතකට කලින් වදාළ ‘හන්දදානි භික්ඛවේ ආමන්තයාමි’ ආදී වූ පශ්චිම බුද්ධ වචනය දක්වා වසර 45 ක් තුළ වදාළ සර්වඥ භාසිත වැඩි හරියක් දරාගෙන සිටියේ සැරියුත් තෙරුන් හා ආනන්ද තෙරුන්ය. ආනන්ද තෙරුන් බුදුන්ගෙන් ලත් වර අටෙන් එකක් වූයේ භාග්‍යවතුªන් වහන්සේ යම් යම් තැන් වලදී දේශනා කරන ධර්ම නැවත ආනන්ද හිමියන්ටද දේශනා කළ යුතුය යන වරයකි. 
 
තථාගතයන් විසින් කෙටියෙන් කරන ලද ධර්ම දේශනා විස්තර කර දේශනා කරන්න යැයි බොහෝ විට නියම කළේ සැරියුත් හිමියන්ටය. මාතෘ දිව්‍යරාජයාට දෙසූ අභිධර්මය සම්පූර්ණයෙන්ම ආපසු දේශනා කළේ සැරියුත් හිමියන්ට බව සඳහන්ව ඇත. භාග්‍යවතුන් වහන්සේට ඤාණ 73 ක් පැවති අතර සැරියුත් හිමියන්ට ඤාණ 67 ක් පැවති බව සඳහන්ව ඇත.

බුද්ධ පරිනිර්වාණයත් සමගම පෘථග්ජන භික්ෂූන් අතර මතවාද උද්ගත වූ අතර සමහර මතවාද බුදුන් දවස පටන් පැවති ඒවාය. සඟ සසුනේ එවැනි අරගල කළ භික්ෂූන් අතර දේවදත්ත, සුනඛත්ත, සාති, සුභද්‍ර ආදීහු කැපී පෙනෙති. 

තථාගතයන් පිරිනිවන අවස්ථාවේත් තවත් කිහිප පලකදීත් වදාරා ඇත්තේ ‘යො ඛො ආනන්ද මයා ධම්මොච විනයොච දෙසිතො පඤ්ඤත්තො සො වො මමච්චයෙන සÀවා’ ආනන්දය මා විසින් යම් ධර්මකුත් විනයකුත් දෙසිත ද එය මාගේ අවෑමෙන් ඔබගේ සාතෘ වේ යන්නයි. එම නිගමනය භාරගත් මහා කාෂ්‍යප, ආනන්ද, උපාලි මහ රහතුන්ගේ එකම වගකීම හා යුතුකමව පැවැත්තේ ඒ ත්‍රිපිටක බුද්ධ වචනය ආරක්ෂා කරමින් එය පරපුරෙන් පරපුරට ගෙන යාමට මංපෙත් විවර කිරීමයි. ඒ මංපෙත් විවර කිරීමේ ව්‍යායාමය පළමුවන සංගායනාව නමින් සම්මත වී ඇත.

පළමුවන සංගායනාව සිදු කළේ බුද්ධ පරිනිර්වානයෙන් දින 90 කට පසුව රජගහ නුවර වේහාර පර්වත ප්‍රාන්තයේ සප්තපර්ණී ගුහාවේදී පන්සියයක් රහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙනි. මෙම සංගායනාවට සැරියුත් හිමියන් නොසිටීම පාඩුවක් වූ අතර අජාසත්තගේ දායකත්වය සංගායනාවට රාජකීයත්වයක් හා ආණචක්‍ර පැවැත්මක් ඇති කළේය.

මෙම පළමුවන සංගායනාවේදී විසිරී තිබුණු ධර්මය එක්සත් කිරීම, විනය ස්ථාපිත කිරීම, සූත්‍ර ධර්ම කොටස් 05 කට බෙදීම, එම කොටස් අනාගතය සඳහා රැක ගැනීම සඳහා භාණකවරු පත් කිරීම ආදී දේ ඉටු විය. පසු කලකදී භාණකවරු දහ අට ගණනක් වූ බව සඳහනි.

1. පරාජිකා භාණක 2. පාචිත්තිය භාණක
3. චුල්ලවග්ග භාණක 4. මහාවග්ග භාණක
5. පරිවාර භාණක 6. දීඝ භාණක
7. මජඣිම භාණක 8. සංයුත්ත භාණක
9. අංගුත්තර භාණක 10. බුද්දක භාණක
11. ධම්මසඩ්ගණී භාණක 12. විභඩ්ග භාණක
13. පුග්ගල අඤ්ඤත්ති භාණක 14. ධාතුකථා භාණක
15. යමක භාණක 16. පට්ඨාන භාණක
17. ජාතක භාණක 18. කථාවත්‍ථු භාණක
ආනන්ද හිමියන්ගේ ශිෂ්‍ය පිරිස දීඝ භාණකවරු වූ අතර සැරියුත් හිමියන්ගේ සිසු පිරිස මජඣිම භාණකවරු වූහ. මහා කාශ්‍යප හිමියන්ගේ සිසු පිරිස සංයුක්ත භාණකවරුන් වූ අතර අනුරුද්ධ හිමියන්ගේ සිසු පිරිස අංගුත්තර භාණකවරු ලෙස පෙනේ. විනය පිටකය උපාලි තෙරුන්ගේ සිසු පිරිසට භාරවිය.

බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ගෙවුණු තැන කාලාශෝක රජුගේ දායකත්වයෙන් විශාලා මහ නුවර වාලුකාරාමයේදී යස රේවත සබ්බකාමී රහතන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් රහතුන් වහන්සේලා සත් සියයක් සහභාගීව දෙවන සංගායනාව සිදු විය. දෙවන සංගායනාවෙන් විනය පිළිබඳ ආරවුලක් සංසිදුනා මිස ත්‍රිපිටකයට අලුත් බලපෑමක් නොවීය. දෙවන සංගායනාවෙන් පසුව නිල වශයෙන් සංඝයා නිකාය වශයෙන් බෙදී ගියේය.

බුදුන් පිරිනිවී අවුරුදු 218 කට පසුව විශාල ප්‍රතිලාභ ගෙනදුන් තුන්වන සංගායනාව සිදු විය. ධර්මාශෝක දායකත්වයෙන් රහතන් වහන්සේලා දහසකගේ සහභාගීත්වයෙන් පැළලුප් නුවරදී සිදු වූ මෙම සංගායනාවේ ප්‍රතිඵල බෙහෙවින් ඵල දැරීය. මේ වන විට වසර දෙසිය ගණනක් භික්ෂූන් වහන්සේලා ත්‍රිපිටක ධර්මය කට පාඩමෙන් රැකගෙන විත් තිබුණි. මොග්ගලීපුත්ත තිස්ස රහතන් වහන්සේගේ නායකත්වයෙන් සිදු වූ මෙම සංගායනාවේදී ත්‍රිපිටක බුද්ධ ධර්මය විභජ්ජවාදය නමින් පාරිශුද්ධත්වයට පත් විය. දේශ දේශාන්තර වලට සද්ධර්මය පැතිර ගියේ මෙම සංගායනාවේ ප්‍රතිඵල වශයෙනි. තුන්වන සංගායනාවට සහභාගී වූයේ ත්‍රිපිටකය කට පාඩමින් දරාගෙන ආ දඹදිව පළමුවන භාණක පරම්පරාවයි.

තුන්වන සංගායනාවෙන් පසුව විභජ්ජවාදී බුදු දහමද රැගෙන මිහිඳු හිමියෝ ලක්දිව වැඩම වූහ. දේවානම් පියතිස්සගේ රාජ්‍යානුග්‍රහයෙන් මුල බැසගත් ලංකා බුද්ධ ශාසනයේ ලංකා සඟ සසුන මහා අරිට්ඨගෙන් ඇරඹිණ. මිහිඳු හිමියන් විසින් කට පාඩමින් ගෙන ආ ත්‍රිපිටකය ලංකා භික්ෂු පරපුර උගත්හ. ඒ දෙවන භාණක පරපුරයි. පාලියෙන් ත්‍රිපිටකය උගත් භික්ෂූන් වහන්සේලාට සිංහලෙන් ජනයාට පැහැදිලි කරන්නට සිදු විය. ඒ සඳහා පාලි සූත්‍ර වලට සිංහලෙන් අටුවා ලියන්නට වූහ. ඒ අටුවා හැඳින්වූයේ හෙළටුවා නමිනි.
හෙළටුවා යුගය

‘තත්ථ තත්ථ භගවතෝ පවත්තිකා පකිණ්ණක දේසනා අට්ඨකථා’ යනුවෙන් සාරත්ථදීපනී සංයුත්ත නිකාය අට්ඨකථාවේ සඳහන් වේ. බුදු රදුන් විසින් ඒ ඒ තන්හිදී පවත්වන ලද ප්‍රකීර්ණක දේශනාවම අට්ඨකථාවේ යනු එහි අදහසයි.

‘භගවතො පකිණ්ණක දේසනාව භූතාව සුත්තානුලෝම භූතාව අට්ඨකථා’ යනුවෙන් බුදු රදුන්ගේ ප්‍රකීර්ණක දේශනාද සුත්තානු ලෝමයද අටුවා වී යැයි විමති විනෝදනී විනය ටීකාවේ සඳහන් වේ.
තව දුරටත් ‘සම්මා සම්බුද්ධනෙම හි තිණණං පිටකානං අත්ථ සංවණ්ණනාක්කමො හාසිතො යං පකිණ්ණක දේස නාති වුච්චති’ යනුවෙන් අංගුත්තර නිකාය ටීකාවේ එන විස්තරයෙන් කියන්නේ තුන් පිටකයේ අර්ථ සංවණ්ණනා ක්‍රමයට අටුවා යයි තථාගතයන් විසින්ම වදාළ බවයි.
අත්ථසාලිනී නම් ධම්මසංගණී අටුවාව කියන්නේ බුදු රදුන් විසින් කරන ලද අට්ඨකථා, අටුවා සැරියුත් තෙරුන් උගෙන මහා කාශ්‍යප හිමියන්ට වදාළ බවයි.
සුමංගල විලාසිනී දීඝ නිකාය අට්ඨකථාව පැහැදිලි කරන්නේ පළමුවන සංගායනාවේදී ත්‍රිපිටකය සංගායනා කොට අනතුරුව ඒ ත්‍රිපිටකයේ අර්ථ ප්‍රකාශ කරනු සඳහා බුදුන් වදාළ ප්‍රකීර්ණක කථායෙන් නගාගෙන අටුවාද සංගායනා කළ බවයි.
මෙසේ උදාහරණ දැක්වූයේ හෙළටුවා ලිවීමේ ප්‍රාරම්භක අවස්ථාවේද මිහිඳු හිමියන්දවසම භාණකවරුන් අතින්ම සිදුවන්නට ඇත යන්න පැහැදිලි කිරීමටය.
මිහිඳු හිමියන්ගෙන් ත්‍රිපිටක ධර්මයත් අටුවා මූල ධර්මයත් උගත් සිංහල හාමුදුරුවරුන් ගිහි වියතුනුත් හෙළටුවා ලියූ බව පිළිගත යුතුය.

මහා වංශයේ සඳහන් ‘මිහිඳු හිමියන් විසින් සිංහල භාෂාවෙන් කරන ලද ශුද්ධ වූ සිහලාර්ථ කථා’ යන යෙදුමෙන්ද ‘මගද විසින් වැටෙමින් ආ බුදුකැලි අටුවා හෙළදිව ඇජුරො හෙළ බසින් තැබූහ’ යනුවෙන් කසුප් මහ රජු ලියා ඇති සැටියෙන්ද නිගමනය වන්නේ සිංහල ඇදුරන් විසින් හෙළටුවා ලියූ බවයි. 

එසේ හෙළටුවා ලීවේ අලුතින් බුදු දහම උගන්නා සිංහල ගිහි පැවිදි පරපුරට බුදු දහම උගැන්වීම සඳහාය.ඒ හෙළටුවා යුගයයි. මෙය අනුරාධපුර යුගයේ මුල් කාල පරිච්ඡේදයයි.

මෙසේ භාණකවරුන් විසින් කට පාඩමින් ගෙන එන ලද ත්‍රිපිටක සහ අටුවා මෙසේ මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ඒමේ දුෂ්කරතාවය සාගත ඇතිවීම, යුද්ධ කලකෝලාහ වර්ධනය වෙමින් සාමය කඩවීම ආදී හේතූන් සාක්ෂරතාවය යම් ප්‍රමාණයකට දියුණු වී ලේඛන කලාව දියුණු වීම ආදී හේතූන් නිසා මතු පරපුරේ ප්‍රයෝජනය සඳහා ත්‍රිපිටකය ලියා තබන්නට අපේ හාමුදුරුවරු පෙළඹුණහ. මේ වන විට භාණකවරුද හිඟ වූ බව පෙනේ. එකල සිටි භික්ෂූන් අතරින් ‘මහා නින්දේසය’ කට පාඩම් තිබුණේ එක නමකට පමණි. ඒ භික්ෂු නමද දුශ්ශීලයෙකු නිසා සිල්වතුන් විසින් ඈත් කර සිටියහ. 

එහෙත් ‘මහා නිද්දේසය’ රැක ගත යුතු හෙයින් සාමණේරවරයකු ඒ දුසිල් මහණ වෙත යවා මහා නිද්දේසය උගෙන ලියා තිබූ බව සඳහන් වීමෙන් පැහැදිලි වන්නේ මුඛ පරම්පරා ගතව ගෙන ඒම අනතුරට භාජනය වී ඇති බවය. මේ හේතූන් මත වලගම්බා රාජ්‍ය සමයේදී බු. ව. 455 දී මෙතෙක් කට පාඩමින් ගෙනා ත්‍රිපිටකය හෙළටුවා මාතලේ ආලෝක විහාරයේදී ග්‍රන්ථාරූඪ කළහ. ඒ වූ කලී බුදු දහම මතු පරපුරට ගෙන යාම සඳහා කරන ලද උත්තරීතර සේවාවයි. මෙයින් පසුව බු. ව. 953 – 975 කාලය අතරත බුද්ධඝෝෂ හිමියන් විසින් හෙළටුවා පාලි භාෂාවට නගා ඇත. මෙ සමහරු විනාශයක් ලෙස සලකතත් බුද්ධඝෝෂ හිමියන්ගේ උත්සාහය නිසා අදත් පිරිසිදු ථෙරවාදය පාලියෙන් ලංකාවේ තිබේ. ඕනෑම රටක වියතෙකුට ඕනෑම අවශ්‍ය භාෂාවකට එය පරිවර්තනය කර ගත හැකිය. පාලි භාෂාව වෙනස් වීම් වලට භාජනය නොවී අදත් පවත්නා බැවිනි.

ලාංකික භික්ෂූන් විසින් ග්‍රන්ථාරූඪ කරන ලද පොත්ද, බුද්ධඝෝෂ විසින් පාලියෙන් ලියන අටුවා පොත්ද සීමිත පිටපත් ගණනක් අපේ පැරණි පන්සල් වල පොත්ගුල් වල සුවඳ දුම් පූජා ලබමින් වැඩ සිටියහ. භාවිත කළේ සීමිත පිරිසකි. පරිහරණය කළේ කලාතුරකිනි. මේ තත්ත්වයෙන් ගලවා වැඩි දෙනෙකුට අට්ඨකථා භාවිතා කිරීමට හැකි වන පරිදි අතීතයේ වැඩ සිටි සංඝ නේතෲන් වහන්සේලා ලවා ශුද්ධ කරවා මුද්‍රණය කරවා අනාගත පරපුරට දායාද කළේ හේවාවිතාරන පවුල විසිනි. ඒ ව්‍යවහාර වර්ෂ එක්දහස් නවසිය තිස් ගණන්වලය. එම සේවාවෙන් බෞද්ධ අතිවිශාල උගත් පිරිසකට අටුවා කියවීමේ භාග්‍යය උදා විය. පාලි ත්‍රිපිටකය වරින් වර තැනින් තැන එකක් දෙකක් මුද්‍රිතව තිබුණද පුළුල් වශයෙන් ගිහි පැවිදි දෙජනතාව අතරම භාවිත වූයේ නැත. පිරිවෙන් වලද, විශ්ව විද්‍යාල වලද, ප්‍රාචීන විභාග සඳහාද භාවිතා වුයේ තෝරාගත් සූත්‍ර කීහිපයකි. එම සීමිත තත්ත්වය නැති කරමින් පුළුල් ජනතාවට සිංහලෙන් ත්‍රිපිටකය කියවන්නට මග සැලසුනෙ බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් කට්ටලය එළි දැකීමෙන් පසුවය. එය ත්‍රිපිටකය ඊ ළඟ පරපුරට අයත් කර දුන් මහා දායාදයකි. විශිෂ්ට ධර්ම කථිකයෙකු වීමටත්, පරිපූර්ණ බෞද්ධයයෙකු වීමටත් ත්‍රිපිටක පෙළ සහිතව අටුවාවද හදාළ යුතු වේ. වසර 1500 ක කාලය තුළ අපේ සිංහල බෞද්ධයන්ට පාලි අටුවා සිංහලෙන් කියවා තේරුම් ගැනීමේ වාසනාව උදා නොවිනි. වත්මන් පරපුරටද අනාගත පරපුරටද ඒ වාසනාව හා ශක්තිය ලබා දුන්නේ නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගිනි. 2008 වසරේදී ආරම්භ කළ අටුවා සිංහලට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය පොත් පනහකින් සමන්විතව මේ වන විට අවසන් කර ඇත.
අපේ මාතෘකාව අනුව දැන් අප එන්නේ ටීකා අවධියටයි. අනුරාධපුර රාජධානිය බිඳ වැටීමෙන් පසු ක්‍රි. ව. 1017 දී පොළොන්නරු රාජධානිය ආරම්භ විය. මෙම යුගයේ ප්‍රතාපවත් රජෙකු වූ මහා පරාක්‍රමබාහු රජු විසින් (ක්‍රි. ව. 1153) මහා සංඝ සංශෝධනයක් කරවා තුන් නිකාය එක්සත් කර දිඹුලාගල කාශ්‍යප ස්ථවිරයන් සංඝ නේතෲ තත්ත්වයට පත් කර පාලි අටුවා වලට ටීකා ලියන ලෙස භික්ෂූන්ට නියම කළහ. ඒ අනුව පොළොන්නරු යුගයේදී ටීකා ලියවිණ. එදා සිට අද දක්වා මෙම ටීකා ග්‍රන්ථ මුද්‍රණය වූයේ වත් භාවිත වූයේ වත් නැත. ත්‍රිපිටකයට අයත් අංග 4 සම්පූර්ණ කිරීම අනාගත පරපුර වෙත බුදු දහම වව්‍යාප්ත වීමේදී උපස්තම්භක වන හෙයින් පරපුරෙන් පරපුරට මෙම දායාදය හිමි කර දීම සඳහා මෙතෙක් කල් සොයා ගත නොහැකිව තිබූ ටීකා තිහක් පමණ දැනට සොයා ගෙන පරිවර්තනය කරමින් පවතී. එයද බුදුදහම පරපුරෙන් පරපුරට ගෙන යාමේ අරමුණ සාර්ථක කිරීම සඳහා සකල බෞද්ධ ජනතාව වෙතම බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ගත් හිතකාමී පියවරකි.

සතරවන අංගය වන ටිප්පණී යන්නෙන් පොත් නැත. ටිප්පණී යනු අමාරු වචන වඩාත් පැහැදිලි කොට ඒවා යෙදී ඇති තැන් දැක්වීමය. අනාගත ලෝක බෞද්ධ පරපුර වෙත බුදු දහම ගෙන යාමේ අනෙක් ව්‍යාපෘතිය පාලි අටුටා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමය. එංගලන්තයේ පාලි බෞද්ධ සංගමයද අරඹා අත්හල ව්‍යාපෘතියක් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් අද ආරම්භ කර ඇත. මේ හැම ව්‍යාපෘතියකින්ම පරපුරෙන් පරපුරට බුදු දහම ගෙන යාමට ගන්නා උත්සාහයේදී අඩු පාඩු පැත්තක්ද ඇත. අනාගත බෞද්ධ ලෝකයේ ඇැති වන බෞද්ධ දහම් පිපාසය සංසිදුවීමට ආයතන ලංකාවේ නැති වීම ඒ අඩුවයි. 2600 සම්බුද්ධ ජයන්ති මන්දිරයේ ඉදිකිරීම් කටයුතු අරඹා ඇත්තේ ඒ අඩුව සපුරාලීමටය. මහල් 12 කින් යුත් මෙම ගොඩනැගිල්ලේ විදේශීය බෞද්ධයන්ට පැමිණ ත්‍රිපිටක ධර්මය පර්යේෂණය කිරීමට අලුත් දේ ලිවීමට පූර්ණ පහසුකම් ඇත. බෞද්ධ සම්මන්ත්‍රණ පැවැත්වීම සඳහා ඉඩ කඩ වෙන් වේ.

බුදු දහමේ වටිනාකමේ අගය වැඩි වන්නේ එය ව්‍යාප්ත ව විවෘත වූ පමණටය. ඒ අනුව ලංකාවෙන් ලෝකයට බුදු දහම විවෘත කර දීම මෙම ව්‍යායාමයේ අරමුණයි. පර්යේෂකයන්ට අවශ්‍ය සියලු පහසුකම් මෙහි ලබාදෙනු ඇත. කතෝලිකයන් බුදු දහම ආක්‍රමණය කරන්නේ යැයි බැණ වැදීම නොව බුදු දහම ව්‍යාප්ත කිරීම හා ලෝකයට උගැන්වීම අපේ වැඩ පිළිවෙළ විය යුතුය. අඳුරට ගොරවමින් සිටිනවාට වඩා එක පහනක් දැල්වීම වටනේය.
නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ
අටුවා අංශයේ සම්බන්ධීකාරක
විජිතනන්ද සරත්චන්ද්‍ර මහතා දිණමිණට ලියූ ලිපියකි.

හෙළටුවා යුගය

‘තත්ථ තත්ථ භගවතෝ පවත්තිකා පකිණ්ණක දේසනා අට්ඨකථා’ යනුවෙන් සාරත්ථදීපනී සංයුත්ත නිකාය අට්ඨකථාවේ සඳහන් වේ. බුදු රදුන් විසින් ඒ ඒ තන්හිදී පවත්වන ලද ප්‍රකීර්ණක දේශනාවම අට්ඨකථාවේ යනු එහි අදහසයි.

‘භගවතො පකිණ්ණක දේසනාව භූතාව සුත්තානුලෝම භූතාව අට්ඨකථා’ යනුවෙන් බුදු රදුන්ගේ ප්‍රකීර්ණක දේශනාද සුත්තානු ලෝමයද අටුවා වී යැයි විමති විනෝදනී විනය ටීකාවේ සඳහන් වේ.


තව දුරටත් ‘සම්මා සම්බුද්ධනෙම හි තිණණං පිටකානං අත්ථ සංවණ්ණනාක්කමො හාසිතො යං පකිණ්ණක දේස නාති වුච්චති’ යනුවෙන් අංගුත්තර නිකාය ටීකාවේ එන විස්තරයෙන් කියන්නේ තුන් පිටකයේ අර්ථ සංවණ්ණනා ක්‍රමයට අටුවා යයි තථාගතයන් විසින්ම වදාළ බවයි.


අත්ථසාලිනී නම් ධම්මසංගණී අටුවාව කියන්නේ බුදු රදුන් විසින් කරන ලද අට්ඨකථා, අටුවා සැරියුත් තෙරුන් උගෙන මහා කාශ්‍යප හිමියන්ට වදාළ බවයි.


සුමංගල විලාසිනී දීඝ නිකාය අට්ඨකථාව පැහැදිලි කරන්නේ පළමුවන සංගායනාවේදී ත්‍රිපිටකය සංගායනා කොට අනතුරුව ඒ ත්‍රිපිටකයේ අර්ථ ප්‍රකාශ කරනු සඳහා බුදුන් වදාළ ප්‍රකීර්ණක කථායෙන් නගාගෙන අටුවාද සංගායනා කළ බවයි.


මෙසේ උදාහරණ දැක්වූයේ හෙළටුවා ලිවීමේ ප්‍රාරම්භක අවස්ථාවේද මිහිඳු හිමියන්දවසම භාණකවරුන් අතින්ම සිදුවන්නට ඇත යන්න පැහැදිලි කිරීමටය.


මිහිඳු හිමියන්ගෙන් ත්‍රිපිටක ධර්මයත් අටුවා මූල ධර්මයත් උගත් සිංහල හාමුදුරුවරුන් ගිහි වියතුනුත් හෙළටුවා ලියූ බව පිළිගත යුතුය.


මහා වංශයේ සඳහන් ‘මිහිඳු හිමියන් විසින් සිංහල භාෂාවෙන් කරන ලද ශුද්ධ වූ සිහලාර්ථ කථා’ යන යෙදුමෙන්ද ‘මගද විසින් වැටෙමින් ආ බුදුකැලි අටුවා හෙළදිව ඇජුරො හෙළ බසින් තැබූහ’ යනුවෙන් කසුප් මහ රජු ලියා ඇති සැටියෙන්ද නිගමනය වන්නේ සිංහල ඇදුරන් විසින් හෙළටුවා ලියූ බවයි.


එසේ හෙළටුවා ලීවේ අලුතින් බුදු දහම උගන්නා සිංහල ගිහි පැවිදි පරපුරට බුදු දහම උගැන්වීම සඳහාය.ඒ හෙළටුවා යුගයයි. මෙය අනුරාධපුර යුගයේ මුල් කාල පරිච්ඡේදයයි.


මෙසේ භාණකවරුන් විසින් කට පාඩමින් ගෙන එන ලද ත්‍රිපිටක සහ අටුවා මෙසේ මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ඒමේ දුෂ්කරතාවය සාගත ඇතිවීම, යුද්ධ කලකෝලාහ වර්ධනය වෙමින් සාමය කඩවීම ආදී හේතූන් සාක්ෂරතාවය යම් ප්‍රමාණයකට දියුණු වී ලේඛන කලාව දියුණු වීම ආදී හේතූන් නිසා මතු පරපුරේ ප්‍රයෝජනය සඳහා ත්‍රිපිටකය ලියා තබන්නට අපේ හාමුදුරුවරු පෙළඹුණහ. මේ වන විට භාණකවරුද හිඟ වූ බව පෙනේ. එකල සිටි භික්ෂූන් අතරින් ‘මහා නින්දේසය’ කට පාඩම් තිබුණේ එක නමකට පමණි. ඒ භික්ෂු නමද දුශ්ශීලයෙකු නිසා සිල්වතුන් විසින් ඈත් කර සිටියහ.


එහෙත් ‘මහා නිද්දේසය’ රැක ගත යුතු හෙයින් සාමණේරවරයකු ඒ දුසිල් මහණ වෙත යවා මහා නිද්දේසය උගෙන ලියා තිබූ බව සඳහන් වීමෙන් පැහැදිලි වන්නේ මුඛ පරම්පරා ගතව ගෙන ඒම අනතුරට භාජනය වී ඇති බවය.


මේ හේතූන් මත වලගම්බා රාජ්‍ය සමයේදී බු. ව. 455 දී මෙතෙක් කට පාඩමින් ගෙනා ත්‍රිපිටකය හෙළටුවා මාතලේ ආලෝක විහාරයේදී ග්‍රන්ථාරූඪ කළහ. ඒ වූ කලී බුදු දහම මතු පරපුරට ගෙන යාම සඳහා කරන ලද උත්තරීතර සේවාවයි.


මෙයින් පසුව බු. ව. 953 – 975 කාලය අතරත බුද්ධඝෝෂ හිමියන් විසින් හෙළටුවා පාලි භාෂාවට නගා ඇත. මෙ සමහරු විනාශයක් ලෙස සලකතත් බුද්ධඝෝෂ හිමියන්ගේ උත්සාහය නිසා අදත් පිරිසිදු ථෙරවාදය පාලියෙන් ලංකාවේ තිබේ. ඕනෑම රටක වියතෙකුට ඕනෑම අවශ්‍ය භාෂාවකට එය පරිවර්තනය කර ගත හැකිය. පාලි භාෂාව වෙනස් වීම් වලට භාජනය නොවී අදත් පවත්නා බැවිනි.


ලාංකික භික්ෂූන් විසින් ග්‍රන්ථාරූඪ කරන ලද පොත්ද, බුද්ධඝෝෂ විසින් පාලියෙන් ලියන අටුවා පොත්ද සීමිත පිටපත් ගණනක් අපේ පැරණි පන්සල් වල පොත්ගුල් වල සුවඳ දුම් පූජා ලබමින් වැඩ සිටියහ. භාවිත කළේ සීමිත පිරිසකි. පරිහරණය කළේ කලාතුරකිනි. මේ තත්ත්වයෙන් ගලවා වැඩි දෙනෙකුට අට්ඨකථා භාවිතා කිරීමට හැකි වන පරිදි අතීතයේ වැඩ සිටි සංඝ නේතෲන් වහන්සේලා ලවා ශුද්ධ කරවා මුද්‍රණය කරවා අනාගත පරපුරට දායාද කළේ හේවාවිතාරන පවුල විසිනි. ඒ ව්‍යවහාර වර්ෂ එක්දහස් නවසිය තිස් ගණන්වලය. එම සේවාවෙන් බෞද්ධ අතිවිශාල උගත් පිරිසකට අටුවා කියවීමේ භාග්‍යය උදා විය.


පාලි ත්‍රිපිටකය වරින් වර තැනින් තැන එකක් දෙකක් මුද්‍රිතව තිබුණද පුළුල් වශයෙන් ගිහි පැවිදි දෙජනතාව අතරම භාවිත වූයේ නැත. පිරිවෙන් වලද, විශ්ව විද්‍යාල වලද, ප්‍රාචීන විභාග සඳහාද භාවිතා වුයේ තෝරාගත් සූත්‍ර කීහිපයකි. එම සීමිත තත්ත්වය නැති කරමින් පුළුල් ජනතාවට සිංහලෙන් ත්‍රිපිටකය කියවන්නට මග සැලසුනෙ බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් කට්ටලය එළි දැකීමෙන් පසුවය. එය ත්‍රිපිටකය ඊ ළඟ පරපුරට අයත් කර දුන් මහා දායාදයකි.


විශිෂ්ට ධර්ම කථිකයෙකු වීමටත්, පරිපූර්ණ බෞද්ධයයෙකු වීමටත් ත්‍රිපිටක පෙළ සහිතව අටුවාවද හදාළ යුතු වේ. වසර 1500 ක කාලය තුළ අපේ සිංහල බෞද්ධයන්ට පාලි අටුවා සිංහලෙන් කියවා තේරුම් ගැනීමේ වාසනාව උදා නොවිනි. වත්මන් පරපුරටද අනාගත පරපුරටද ඒ වාසනාව හා ශක්තිය ලබා දුන්නේ නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගිනි. 2008 වසරේදී ආරම්භ කළ අටුවා සිංහලට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය පොත් පනහකින් සමන්විතව මේ වන විට අවසන් කර ඇත.


අපේ මාතෘකාව අනුව දැන් අප එන්නේ ටීකා අවධියටයි. අනුරාධපුර රාජධානිය බිඳ වැටීමෙන් පසු ක්‍රි. ව. 1017 දී පොළොන්නරු රාජධානිය ආරම්භ විය. මෙම යුගයේ ප්‍රතාපවත් රජෙකු වූ මහා පරාක්‍රමබාහු රජු විසින් (ක්‍රි. ව. 1153) මහා සංඝ සංශෝධනයක් කරවා තුන් නිකාය එක්සත් කර දිඹුලාගල කාශ්‍යප ස්ථවිරයන් සංඝ නේතෲ තත්ත්වයට පත් කර පාලි අටුවා වලට ටීකා ලියන ලෙස භික්ෂූන්ට නියම කළහ. ඒ අනුව පොළොන්නරු යුගයේදී ටීකා ලියවිණ. එදා සිට අද දක්වා මෙම ටීකා ග්‍රන්ථ මුද්‍රණය වූයේ වත් භාවිත වූයේ වත් නැත. ත්‍රිපිටකයට අයත් අංග 4 සම්පූර්ණ කිරීම අනාගත පරපුර වෙත බුදු දහම වව්‍යාප්ත වීමේදී උපස්තම්භක වන හෙයින් පරපුරෙන් පරපුරට මෙම දායාදය හිමි කර දීම සඳහා මෙතෙක් කල් සොයා ගත නොහැකිව තිබූ ටීකා තිහක් පමණ දැනට සොයා ගෙන පරිවර්තනය කරමින් පවතී. එයද බුදුදහම පරපුරෙන් පරපුරට ගෙන යාමේ අරමුණ සාර්ථක කිරීම සඳහා සකල බෞද්ධ ජනතාව වෙතම බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ගත් හිතකාමී පියවරකි.


සතරවන අංගය වන ටිප්පණී යන්නෙන් පොත් නැත. ටිප්පණී යනු අමාරු වචන වඩාත් පැහැදිලි කොට ඒවා යෙදී ඇති තැන් දැක්වීමය.


අනාගත ලෝක බෞද්ධ පරපුර වෙත බුදු දහම ගෙන යාමේ අනෙක් ව්‍යාපෘතිය පාලි අටුටා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමය. එංගලන්තයේ පාලි බෞද්ධ සංගමයද අරඹා අත්හල ව්‍යාපෘතියක් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් අද ආරම්භ කර ඇත. මේ හැම ව්‍යාපෘතියකින්ම පරපුරෙන් පරපුරට බුදු දහම ගෙන යාමට ගන්නා උත්සාහයේදී අඩු පාඩු පැත්තක්ද ඇත.


අනාගත බෞද්ධ ලෝකයේ ඇැති වන බෞද්ධ දහම් පිපාසය සංසිදුවීමට ආයතන ලංකාවේ නැති වීම ඒ අඩුවයි. 2600 සම්බුද්ධ ජයන්ති මන්දිරයේ ඉදිකිරීම් කටයුතු අරඹා ඇත්තේ ඒ අඩුව සපුරාලීමටය. මහල් 12 කින් යුත් මෙම ගොඩනැගිල්ලේ විදේශීය බෞද්ධයන්ට පැමිණ ත්‍රිපිටක ධර්මය පර්යේෂණය කිරීමට අලුත් දේ ලිවීමට පූර්ණ පහසුකම් ඇත. බෞද්ධ සම්මන්ත්‍රණ පැවැත්වීම සඳහා ඉඩ කඩ වෙන් වේ.


බුදු දහමේ වටිනාකමේ අගය වැඩි වන්නේ එය ව්‍යාප්ත ව විවෘත වූ පමණටය. ඒ අනුව ලංකාවෙන් ලෝකයට බුදු දහම විවෘත කර දීම මෙම ව්‍යායාමයේ අරමුණයි. පර්යේෂකයන්ට අවශ්‍ය සියලු පහසුකම් මෙහි ලබාදෙනු ඇත. කතෝලිකයන් බුදු දහම ආක්‍රමණය කරන්නේ යැයි බැණ වැදීම නොව බුදු දහම ව්‍යාප්ත කිරීම හා ලෝකයට උගැන්වීම අපේ වැඩ පිළිවෙළ විය යුතුය. අඳුරට ගොරවමින් සිටිනවාට වඩා එක පහනක් දැල්වීම වටනේය.

බුද්ධඝෝෂ හිමියන්ගේ ජීවන තොරතුරු

බුද්ධඝෝෂ හිමියන් භාරත බෞද්ධ සාහිත්‍යයේ අතිශ්‍රේෂ්ඨ ග්‍රන්ථ කර්‍තෘවරුන් අතර බොහෝ විචාරකයන්ගේ පැසැසුමට ලක්වූ කීර්තිදරයෙකි. රීස් ඩෙවිඩ්ස් ප්‍රකාශ කරන පරිදි "ඔහුගේ දක්ෂතාව ගැන කිසිම සැකයක් නොවේ. එයට සම වූයේ ඔහුගේ ප්‍රතිභාව (originality) නිදහස් චින්තනය ගැන දැනට කිසිම සාධකයක් නොවේ "දෙදහස් පන්සිය වසරක බොදු සමය (2500 years of Buddhism) යන ග්‍ර‍න්ථය ලියන පී.ටී.බාප්ට් සදහන් කරන පරිදි "බුද්ධඝෝෂ හිමි වැනි තවත් ශ්‍රේෂ්ඨ නාමයක් නැති බව බෝහෝ දුරට ස්ථීරව කිව හැකිය. එම හිමියන් විසින් රචිත පොත්පත් සංඛ්‍යාව මෙන්ම එහි වටිනාකම ගැන සැලකීමේදී තනි පුද්ගලයකු ‍ මෙවැනි සේවයක් කිරීමට සමත් වූයේ කෙසේද යන වග විශ්වාස කිරිම අසීරු වේ." මහාවංශය තුළින් බුද්ධ‍ඝෝෂ හිමියන්ගේ තරමක ජීවන තොරතුරු දැනගත හැකිය.එමෙන්ම බුද්ධඝෝසුප්පත්ති, ගන්ධවංශ, ශාසනවංශ ආදි කෘතිවලද කරුණු ස්වල්ප වශයෙන් සදහන් ඇත.මහාවංශයේ සදහන් පරිදි බුද්ධඝෝෂ හිමියන් උපත ලබාතිබෙන්නේ බුද්ධගයාව ආසන්නයේ බව සදහන් වේ.

"බෝධි මණ්ඩ සමීපම්හි ජාතො බ්‍රාහ්මණ මාණවො"
තවත් සමහරෙක් උන්වහන්සේ බුරුමයෙ හෝ තායිලන්තයේ උපත ලැබු බව පවසයි.කෙසේ නමුත් බුද්ධගයාවේ දීර්ඝ කාලයක් වාසය කර ඇත.
"විජ්ජාසිප්පකලා‍වෙදී-තීසු වෙදේසු පාරගො"
ගිහි කාලයේ ත්‍රිවේදයේ පරතෙරට ගිය විද්‍යා ශිල්ප කලාවන් පිළිබද මනා දැනුමක් ඇති බමුනෙක්ය.විසුද්ධි මාර්ගයේ බුද්ධඝෝෂ යන සැදුන සැටි විස්තර කර තිබේ.
"බුද්ධඝොසොති ගරූහි ගහිත නාමදෙ‍යෙන"
බුදුරජාණන් වහන්සේගේ මෙන් මුඛ ශබ්දය ඇති හෙයින් බුද්ධඝෝෂ යන නම තැබූ බව කියවේ.
"බුද්ධඝොසොති ඝොසොහි බුද්ධො විය මහීතලෙ"

බුද්ධඝෝෂ හිමියන්ගේ මව සහ පියා කේසි බමුණා සහ කෙසිනි බැමිණිය බව මහාවංශයේ දක්වා තිබේ. මේ දෙදෙනා "ඝෝෂ" නම් ගමේ ජීවත් වූ නිසා ‍ඝෝෂ යන කොටස යොදා ඇති බව සිතිය හැකිය. මේ හිමියන් ලංකාවට පැමිණීමට පෙර නාගර්ජුනීකොණ්ඩ වල සිටි බව "බුද්ධඝෝසුප්පත්ති" කෘතියෙහි සඳහන් වේ. මහාවංශයේ සඳහන් කරන්නේ උතුරු දඹදිව ජීවත් වූ බවය. එයට හේතුව නම් ඒ ප්‍රදේශය දැක පැහැදිළිව විස්තර කර තිබීමය. සම්මෝහවිනෝදනී විභංගට්ඨකථාවේ සඳහන් කරනනේ මේ හිමියන් දෙමළ බවය.
"මාතා දමිළී පිතා අන්‍ධකො කෙසං ජාතො ධාරකො සචේ මාතු කථං පඨමං සුනාති දමිළ භාසං භවිස්සතිසචේ පිතු කථං පඨමං සුනාති අන්‍ධක භාසං භවිස්සති" යනුවෙන් හෙළටුවාවලද මේ හිමියන් දෙමළ සහ බ්‍රහ්මණ වංශිකයෙක් බව සඳහන් වෙයි. බුද්ධඝෝෂ හිමියන්ගේ චරිත කථාව මහාවංශය, බුද්ධඝෝසුප්පත්ති කථාව,ගන්‍ධවංශය ආදී කෘති වල සඳහන් පරිදි පාලි සාහිත්‍යයේ ද සඳහන් කර ඇත. ඝෝෂ ග්‍රාමයේ කේසි යන පවුල ගම් ප්‍රධානියන්ය. මේ කාලයේ රහත් තෙරනමක් සිංහල අටුවා පාලි බසට හරවා ගැනීමට සමර්ථයෙක් සොයමින් සිටියි. එහිදී දිව්‍ය ලෝකයේ ඝෝෂ නම් දෙවියෙක් පිළිබඳ දැනගෙන සක්‍ර දෙවියන්ට මේ පිළිබඳ දන්වා ඝෝෂ දෙවියන්ට මනුලොව උපදින ලෙස ආරාධනා කරයි. ඊට පසුව කේසිනීට දාව මෙම ඝෝෂ උප්පත්තිය ලැබුවාය.

" සත්වෙනිදා ඝෝෂ දෙව්පුත් කේසිනී බැමිනියගේ කුසැ පිළිසිඳ ගති. දස මසක් ඇවෑමෙන් ඒ කුමරු ඒ කුමරු බිහි වූ විට ගෙදර කව්,බොව් ආදී ශබ්දයන් නැගු බැවින් ඒ කුමරුට ඝෝෂ යැයි නම් තැබූහ" යනුවෙන් බුද්ධඝෝසුප්පත්තියේ සඳහන්ව ඇත. "පැරණි ලක්දිව බෙෳද්ධ ඉතිහාසය" නම් කෘතියේ අදිකාරම් මහතා පවසන පරිදි බුද්ධ ශාසනය තව කාලයක් පවත්වාගෙන යෑම සඳහා උන්වහන්සේ පහළ වූ බවය. ඝෝෂ කුමරුගේ උප්පත්තියෙන් අනතුරුව ත්‍රිවේදයේ පර‍තෙරට ගොස් රජුට පවා අපසු වචන තේරුම් කරදීමට තරම් සමත් වූහ. දිනක් ඝෝෂ කුමරුගේ නිවසට පැමිණි තෙරනමක් තමන්ගේ පුටුවේ වාඩිවී සිටිනවා දැක උන්වහන්සේට බැනවදිනවා.

"ඔබ වේදය හෝ අන්කිසි මන්ත්‍රයක් දනී දැයි ඇසීය" පැමිණෙන තෙරුන් වහන්සේ වේදය දන්න බව කියමින් ඔබ අභිධර්මය දන්නව ද? යනුවෙන් විචාරයි. ඒවාට පිළිතුරු දීමට නොහැකි වන කුමරු දෙමාපියන්ට ඒ පිළිබඳ පවසා ඉගෙනගෙන සිවුරු අරින බව කියමින් පැවිදි වීමට අවසර ඉල්ලාගෙන පැවිදි වී තුන් මාසයකින් මුළු ත්‍රිපිටකයම කළේය. බුද්ධඝෝෂ නමින් රහත් තෙරනමක් උපාධ්‍යාය වශයෙන් සිට පැවිදි වී විසි වයස් සම්පූර්ණ වීමෙන් උපසම්පදාව ලබානෙ ඇත. ඉන් අනතුරුව එක් අවස්ථාවක තම ආචාර්ය්‍යවරයා ධර්මයෙන් පැරදවීමට උත්සහ ගෙන ඇත. රහත් තෙරුන් මෙය කල් ඇතිව දැනගෙන බුද්ධඝෝෂ හිමියන්ට එසේ කිරිම වැරදි වැඩක් බව පවසා ලංකාවට ගොස් බුද්ධ වචනය පාලියට හරවා ගෙන එවයි කියා නියෝග කර ඇත.

බුද්ධඝෝෂ හිමියන් මහානාම රජ දවසේ (ක්‍රි.ව.407-429) ලංකාවට පැමිණී බව අනුමාන හැකි වූ නමුත් පාලි සාහිත්‍යය කෘතියේ බුද්දත්ත හිමියන් පවසන්නේ මෙසේය. "සිරිනිවාස නම් රජුගේ රාජ්‍යෝද‍යෙන් 20වැනි වර්ෂයෙහි විශුද්ධි මාර්ගය ලියන්නට පටන්ගෙන 21 වෙනි වර්ෂයේදී නිමකළ බවයි. බුද්ධඝෝෂ හිමියන්ගේ විනය අටුවා‍වෙහි මේ බව සඳහන් වන බව බුද්ධදත්ත හිමියන් පවසයි. මහාචාර්ය මලලසේකර මහතා පවසන්නේ සිරිනිවාස සිරිකුණ්ඩ නම මහානාම රජුටම භාවිතා කර ඇති බවය. මේ අනුව බුද්ධඝෝෂ හිමි ලංකාවට වැඩම කළ කාල සීමාව සැක සහිත වූ නමුත් ක්‍රි.ව.5 වැනි සියවසේ ලංකාවේ වාසය කළ බවට සාක්‍ෂි ඇත.

බුද්ධඝෝෂ හිමියන්ගේ ශාස්ත්‍රීය සේවාව

රීස් ඩේවිඩ්ස් සහ ඩී.ටී.බාප්ට් ප්‍රකාශ කරන ආකාරයට බුද්ධඝෝෂ හිමියන් මෙවැනි අටුවා රැසක් කෙලෙස ලීවාද යන්න පිළිබඳ පුදුම සහගත දෙයක් ලෙස කරුණු දක්වා ඇත. බුද්ධඝෝෂ හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලැබුන බවට සාක්‍ෂි මහාවංශයේ ඇත. මේ හිමියන් මුළු ත්‍රිපිටකයටම අටුවා ග්‍රන්ථ රචනා කර ඇත. එම කෘති නම්

ත්‍රිපිටක ග්‍රන්ථය අටුවා ග්‍රන්ථය
විනය පිටකය සමන්තපාසාදිකා විනය අටුවාව
ප්‍රාතිමෝක්‍ෂය කංඛාවිතරණී අටුවාව
දීඝ නිකාය සුමංගලවිලාසිනී අටුවාව
මජ්ඣිම නිකාය පපඤ්චසූදනී අටුවාව
සංයුත්ත නිකාය සාරත්‍ථප්පකාසිනී අටුවාව
අංගුත්තර නිකාය මනෝරථපූරණී අටුවාව
ඛුද්දක පාඨය විනයත්‍ථප්පකාසිනී අටුවාව
ධම්මපදය ධම්මපදට්ඨකථාව
සුත්තනිපාතය පරමත්‍ථජෝතිකා අටුවාව
ජාතක ජාතකට්ඨකථාව
ධම්මසංගිනී ප්‍රකරණය අත්‍ථසාලිනී අටුවාව
විභංග ප්‍රකරණය සම්මොහවිනෝදනී අටුවාව
කථාවත්‍ථු ප්‍රකරණය
පුග්ගලපඤ්ඤත්ති ප්‍රකරණය
ධතුකථා ප්‍රකරණය පඤ්චප්පකරණට්ඨකථාව
යමක ප්‍රකරණය
පට්ඨාන ප්‍රකරණය
ඉහත සඳහන් කෘති ලිවීමට පෙ‍ර බුද්ධඝෝෂ හිමියන් ලංකාවට පැමිණි අවධියේම ලි‍යන ලද කෘතිය වන්නේ විශුද්ධිමාර්ගයයි එයද අටුවා ස්වරූපයෙන් රචනා කර ඇත. ඉහත කෘති අතරින් ඇතැම් කෘතිවල කතෘ පිළිබඳ ගැටලු පැවතුන ද බොහෝදෙනාගේ පිළිගැනීම බුද්ධඝෝෂ හිමියන් මේ සියලු කෘති රචනා කළ බවය. බුද්ධඝෝෂ හිමියන් මුලින්ම සම්පාදනය කරන ලද විශුද්ධිමාර්ගය අනුරාධපුර විහාරවාසී ආචාර්ය සංඝපාල තෙරුන්ගේ ආරධනාවෙන් ලියා ඇත. අටුවා පාලි භාෂාවට පරිවර්ථනය කිරීමට පෙර බුද්ධඝෝෂ හිමියන්ගේ දැණුම පරික්‍ෂා කිරීමට මේ කෘතිය ලිවීමට පැවරූ බව සඳහන් වේ. මේ සඳහා
"සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො"
යන ගථාව ප්‍රස්තුතය වශයෙන් තබාගෙන මේ කෘතිය රචනා කර ඇත.

සමන්තපාසාදිකා විනයට්ඨකථාව

විනය පිටකය සඳහා කරන ලඳ අටුවාව සමන්තපාසාදිකාව නම් වේ. සිරිනිවාස නම් රජුගේ විසිවෙනි රාජ්‍ය වර්ෂයේදී බුද්ධසිරි නම් තෙරැන් වහනසේගේ ආරාධනයෙන් මේ කෘතිය රචනා කර ඇත. මෙහි නිදාන කථාවේ බුද්ධ ශාසනයේ සංක්‍ෂිප්ත ඉතිහාසය සඳහන් සඳහන් වේ. ධර්ම සංගායනා තුන සිදු වූ ආකාරය, ලක්දිවට බුදු දහම ගෙනා සැටි අනුරාධපුර මහා විහාරය පිහිට වූ සැටි, ලාංකික භික්‍ෂු සංඛ්‍යාව අධික වීම සමඟ මිහිඳු හිමියන් ලාංකීය භික්‍ෂූන් හා ධර්ම සංගායනයක් පැවැත්වීම ආදී තොරතුරු එහි සඳහන්ය.

සුමංගලවිලාසිනී අට්ඨකථාව

මෙය දීඝ නිකා‍යට කරන ලඳ අට්ඨකථාවයි. සුමංගල පිරිවෙ‍නේ වාසය කළ දාඨානාග මහ තෙරුන්ගේ ආධනාවෙන් කරන ලදි. "සුමංගල පිරිවෙනේ නම මුල්කොට "සුමංගලවිලාසිනී" යැයි නම තැබුවා සේ පෙනේ"

පපඤ්චසූදනී අට්ඨකථාව

මජ්ඣිම නිකායට කරණ ලඳ අටුවාව පපඤ්චසූදනී යයි. මෙම කෘතිය ලිවීමට ආරධනා කරන්නේ බුද්ධඝෝෂ හිමියන් දඹදිව වැඩ වසන සමයේ මයුර රූප පටුනෙහි එක්තැනක විසූ බුද්ධමිත්ත නම් තෙරුන් වන්‍හසේය.

සාරත්‍ථප්පකාසිනී අට්ඨකථාව

සංයුත්ත නිකායට ලියන ලඳ අටුවාව සාරත්‍ථප්පකාසිනිය වන අතර ජොතිපාල නම් තෙරුන්ගේ ආරාධනාවෙන් මෙය ලියාඇත. මෙහි බණවර හැත්තෑ අටක් ඇත. මෙහි තෙරුන් වහන්සේලාගේ චරිත කථා සහ කොසොල් රජු අල්ලස් ගත් සැටි මෙහි අවසානයේ සඳහන් වේ.

මනෝරථපූරනී අට්ඨකථාව

අංගුත්තර නිකායට ලියන ලඳ අටුවාවට ජෝතිපාල හිමියන්ගේ සහ ජීවක උපාසකයාගේ ආරාධනය ලැබී ඇත. මෙහි බණවර 84 කි.

[සංස්කරණය] පරමත්‍ථජෝතිකා අට්ඨකථාව

මෙය ප්‍රමාණයෙන් ඉතා කුඩා අටුවා ග්‍රන්ථයකි. මෙය ඛුද්දක නිකායට අයත් ඛුද්දකපාඨ ග්‍රන්ථයට සම්පාදනය කර ඇත. ඇතැම් පිරිස් මෙය බුද්ධඝෝෂ හිමියන්ගේ කෘතියක් නොවන බව කියයි.

[සංස්කරණය] ධම්මපදට්ඨකථාව

ධම්මපදයට ලියන ලඳ අට්ඨකථාව ධම්මපදට්ඨකථාවයි. මෙහි අඩංඟු ගාථා 423 ට කථා වස්තු දෙසිය අනූනවයක් රචනා කොට ඇත. ධම්මපදය බෞද්ධයනගේ හස්තසාර ග්‍රන්ථයයි.

ජාතකට්ඨකථාව

බුද්ධමිත්ත තෙරුන් විසින් සහ මහිංසාසක නිකායෙහි බුද්ධදේව තෙරුන්ගේ ආධනාවෙන් මෙම කෘතිය ලියා ඇත. පන්සිය පනස් ජතකකථා හා එහි ගාථාවන් ඇතුලත් කරමින් ලියන ලඳ මෙය විශාම අටුවා ග්‍රන්ථයයි.

කංකාවිතරණී අට්ඨකථාව

ප්‍රාතිමෝක්‍ෂය හෙවත් භික්‍ෂූන් වහන්සේලා සඳහා පණවා ඇති විනය ශික්‍ෂාපද විග්‍රහ කරමින් ලියන ලඳ කෘතිය කංකාවිතරණී අට්ඨකථාවය. මෙය සෝණ නැමති තෙර කෙනෙකුගේ ආරාධනාවෙන් ලියා ඇත.

අත්‍ථසාලිනී අට්ඨකථාව

ධම්මසංගනී ප්‍රකරණයට ලයන ලඳ අටුවාව අත්‍ථසාලිනියයි. මහාචාර්ය බාපන් මහතා‍ මෙය බුද්ධ‍ඝෝෂ හිමියන්ගේ කෘතියක් නොවන බව කියයි. මෙය බණවර විසිතුනකින් සමන්විතය.

සම්මෝහවි‍නෝදනී අට්ඨකථාව

විභංගප්‍රකරණය සඳහා ලියන ලඳ අටුවාව සම්මොහවිනෝදනියයි මෙහි බණවර හතළස් එකක් ඇත.

පඤ්චප්‍රකරන අට්ඨකථා

කථාවත්‍ථු, පුග්ගලපඤ්ඤත්ති, ධාතුකථා, යමක, හා පට්ඨාන යන ප්‍රකරන ග්‍රන්ථ පහටම ලියන ලඳ අටුවාව ඤ්චප්‍රකර අට්ඨකථාවය. මෙලෙස අටුවාචාර්ය බුද්ධඝෝෂ හිමියන් ඉහත දැක්වූ අටුවා පරිවර්තනය කරමින තමන්ගේ අදහසක් ප්‍රකාශ කරනවා නම් "අයං පන මෙ අත්තනොමති" යනුවෙන් යොදා තමඅදහස ප්‍රකාශ කර ඇත.බුද්ධඝෝෂ හිමියන් අටුවා කරණයේදී ලක්දිව තමා වැඩි ස්ථාන රාජ්‍ය පාලනය පිළිබඳව දඅඳහස් ඇතුලත්කර ඇත. විදේශිකයෙකු වූ බුද්ධඝෝෂ හිමියන් ලංකාවට පැමිණ තමා ලබා සිටි ත්‍රිවේද දැණුම, ත්‍රිපිටක දැණුම උපයෝගී කරගෙන ත්‍රිපිටකයෙන් අඬකටත් වැඩිය අටුවා රචනා කර ඇත. බුද්ධඝෝෂ හිමියන් සියලු පඬිවරුන් අගය කරන ශ්‍රේෂ්ඨ පඬිවරයා බවට පත් වූයේ මේ නිසාය.

වංසකථාවලින් හෙළිවෙන අනුරාධපුරයේ දේශපාලනික ඉතිහාසය

හැදින්වීම
අනුරාධපුර යුගය ගැන තොරතුරු ලැබෙන මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. ඒ සාහිත්‍ය මූලාශ්‍ර හා පුරා විද්‍යා මූලාශ්‍ර වශයෙනි. ඓතිහාසික සිද්ධි වල කාලයත් එම සිදුවීම් විස්තර කරන සාහිත්‍ය මූලාශ්‍ර රචනා වූ කාලයත් අතර බොහෝවිට පරතරයක් තිබේ. නමුත් පුරා විද්‍යා මූලාශ්‍ර අදාල සිද්ධිය හා සමකාලීන නිසා එම මූලාශ්‍ර වඩා විශ්වසනීයත්වයකින් යුක්තය. සාහිත්‍ය මූලාශ්‍ර වලට වඩා පුරා විද්‍යා මූලාශ්‍ර වල විශ්වසනීයත්වය පෙන්වන තවත් සාධකයක් නම් සාහිත්‍ය මූලාශ්‍ර බොහෝ විට සුළු සිද්ධීන් වටා ගෙතුනු ප්‍රබන්ධ වීමත් පුරා විද්‍යා මූලාශ්‍ර බොහෝවිට යම් සිදුවීමක් ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කරන වාර්තා වීමත්ය. මෙම සාහිත්‍ය මූලාශ්‍ර රචනා කිරීමේ දී එම ග්‍රන්ත කතෘවරුන්ගේ රචි අරුචිකම් හා ඔවුන් වාසය කළ වටපිටාව වැනි කරුණු එම ප්‍රබන්ධ වලට බලපා ඇත. එවැනි හේතු නිසා ඒවායේ අන්තර්ගත ඓතිහාසික බීජය වටා නොයෙක් කරුණු ගෙතී ඇති බව පැහැදිලි වේ. පුරා විද්‍යා මූලාශ්‍ර සම්බන්ධව මෙම දුර්වලතාවය දැකීමට අඩුය. කෙසේ වෙතත් සිංහලයාගේ ඉතිහාසය අඛණ්ඩව ගොඩනගා ගැනීමට උපයෝගීකර ගත හැක්කේ සාහිත්‍යමය මූලාශ්‍රය. සාහිත්‍ය මූලාශ්‍ර වල ඇති කරුණු වල සත්‍ය අසත්‍ය බව නිශ්චිතවම හදුනා ගැනීමේ දී පුරා විද්‍යා මූලාශ්‍ර උපකාරී වේ.


වංසකතා

යම් රටක හෝ පුද්ගලයන්ගේ හෝ පුද්ගලයෙකුගේ හෝ යම්කිසි වස්තුවක හෝ වෙනත් එවැනි දෙයක හෝ පරම්පරාගත
කතාව විස්තර කරන ග්‍රන්ථ වංසකතා නම් වේ. සිංහලයෝ පෞඪ ලේඛන සම්ප්‍රදායකට හිමිකම් ඇති ජාතියකි. සිංහලයා අවුරුදු 2500 කට වඩා ඈත කාලයක සිට අද දක්වාම ලංකාවේ ඓතිහාසික සිදුවීම් අඛණ්ඩව වාර්තාකර ඇත. එවැනි වාර්තාවන් ලෝකයේ වෙනත් කිසිදු ජාතියකට හිමිනොවේ. පාලි භාෂාවෙන් ලියවී ඇති දැනට ඉතිරිව ඇති පැරණිම වංසකතා ක්‍රි:ව සිවුවන හෝ පස්වන සියවසට අයත් වේ. මෙම ග්‍රන්ථ මුලින් සිංහල භාෂාවෙන් ලියා තිබී පසුව පාලි භාෂාවට පරිවර්තනය කරන ලද ඒවාය. මෙහි දී මුල් ග්‍රන්ථ නොයෙක් වෙනස්කම් වලට ලක්වන්නට ඇත. අවාසනාවන්ත කරුණ වන්නේ මෙසේ ග්‍රන්ථ පරිවර්තනය කිරීමෙන් පසු මුල් සිංහල ග්‍රන්ථ අභාවයට යාමයි. මෙම වංසකතා වල කතුවරු බොහෝදුරට භික්ෂූණ් වහන්සේලා වීම නිසා බෞද්ධ ආගමික පසුතලයක් මේවායේ ගැබ්ව ඇත. මේ නිසා සමහර අවස්ථා වල දී මේවා වර්තමාන සංකල්ප අනුව අංග සම්පූර්ණ ඉතිහාස ග්‍රන්ථ ලෙස හැඳින්විය නොහැක. එනිසා ඉතිහාසඥයින් මේවායෙන් තොරතුරු ගැනීමේ දී කල්පනාකාරී විය යුතුය. එමෙන්ම මෙම වංසකතා වල තොරතුරු ප්‍රධාන වශයෙන් අනුරපුර රජ පවුල වටා ගෙතී තිබීම තවත් ලක්ෂණයකි.


අනුරාධපුර යුගය ගැන තොරතුරු ලැබෙන ප්‍රධාන වංසකතා

අද ඉතිරිව ඇති වංසකතා ඒවා ලියා ඇති භාෂාව අනුව සලකන විට ආකාර දෙකකි. එනම් පාලි වංසකතා හා සිංහල වංසකතා යනුවෙනි. පාලි වංසකතා අතර දීපවංසය, මහාවංසය, ධාතුවංසය, දාඨාවංසය ආදිය වේ. සිංහල වංසකතා අතර පූජාවලිය, සිංහල ථූපවංසය, දළදා සිරිත, රාජාවලිය ආදිය වේ. මෙම වංසකතා අතරින් සමහරක් ගැන විස්තරයක්, එනම් ලියවුනු කාලය, රචකයා, අන්තර්ගතය ආදී කරුණු මෙසේය.


දීපවංසය

පාරම්පරික ඓතිහාසික වාර්තා මගින් ලංකා ඉතිහාසය ලියන්නට ගත් පළමු ප්‍රයත්නය ලෙස දීපවංසය සැලකිය හැකිය. මහාවංසය රචනා කිරීමට පෙර එනම් ක්‍රි:ව සිවුවන සියවසේ සිට පස්වන සියවස දක්වා වූ කාලයේ දීපවංසය ලියවී ඇත. සම්ප්‍රදායානූකූල පිළිගැනීම වී ඇත්තේ දැනට ඉතිරිව ඇති පැරණිම ලාංකික ග්‍රන්ථය දීපවංසය බවයි. මහාවංසය රචනා කිරීමේ දී මූලාශ්‍ර කර ගත් ග්‍රන්ථ අතර දීපවංසය ද එකකි. මහාවංසය වූකලී දීපවංසයේ අට්ඨකතාවය යන අදහස සමහර අය අතර ඇතිවීමට තරම් මෙම ග්‍රන්ථ දෙක අතර සමානත්වයක් දැකිය හැකිය. මෙම ග්‍රන්ථය රචනා කිරීමේදී ඒ සඳහා කුමක් මුල් වුනාද යන්න පිළිබඳව විවිධ මත ප්‍රකාශ වී ඇත. දීපවංසය උසස් සාහිත්‍ය කෘතියක් ලෙස ගිනිය නොහැක. ඓතිහාසික සාහිත්‍ය කෘති අතර මුලින්ම ලියවුනු මෙහි දුර්වලතා බොහෝය. මෙම දුර්වලතා හොදින් කැපී පෙනෙන්නේ මහාවංසය සමග සංසන්දනය කර බලනවිටය. මහාවංසය සාහිත්‍ය කෘතියක එන වර්ණනීය ස්වරූපයෙන් රචනා වී ඇති අතර දීපවංසය ඓතිහාසික පදනම ගත් ශාස්ත්‍රීය නිර්මාණයක් ලෙස රචනා වී ඇත. මෙහි අන්තර්ගත තොරතුරු පරීක්ෂා කර බැලීමේ දී මහාවංසයේ මෙන් ක්‍රමානුකූලත්වයක් නැති අතර ශාස්ත්‍රීය පදනමට හුරු ඓතිහාසිකත්වය ගරු කරන වාර්තා ස්වරූපය දක්නට ලැබේ. දිපවංසයේ පරිච්ඡේද 22 කි. එහි බුදුන් වහන්සේගේ චරිතයේ සමහර සිදුවීම් ද උන්වහන්සේගේ ලංකාගමනය ද යන කරුණු විස්තර කිරීමෙන් පසු විජය රජතුමාගේ රාජ්‍ය කාලයේ පටන් මහසෙන් රජුගේ රාජ්‍ය කාලයේ අවසානය දක්වා ලංකා ඉතිහාසයේ තොරතුරු ඉදිරිපත් කරයි. එම තොරතුරු සඳහන් කිරීමේ දී ජනකතා හා විශ්වාස ආදිය ද එයට ඇතුළත් වී ඇත. දීපවංසය මහාවංසයට වඩා ප්‍රමාණයෙන් කුඩා වුවත් එහි අන්තර්ගත ඇතැම් කරුණු මහාවංසයේ දක්නට නොලැබේ. මහා සම්මත රාජ පරම්පරාවට අයත් ඇතැම් රජවරුන්ගේ නම්, ප්‍රථම ධර්ම සංඝායනාවේ දී ධර්මය පිටක වශයෙන් ගායනා කළ බව, පණ්ඩුවාසුදේව රජුගේ පුතුන් දස දෙනාගේ නම්, සංඝමිත්තා මෙහෙනින් වහන්සේ සමඟ වැඩම කළ අනිත් භික්ෂුණීන් වහන්සේගේ නම් ආදිය එබඳු කරුණු වලට උදාහරණය. මෙහි විවිධ භාෂා ශෛලීන්, වියරණ විශේෂ හා පුනරුක්ත ඇත. විධිමත් සැලසුමකින් තොර වීම ද මෙහි ලක්ෂණයකි. එම කරුණු වලින් හෙළි වන්නේ දීපවංසය එක් කතුවරයෙකුගේ කෘතියක් නොව කතුවරු කිහිපදෙනෙකුගේ කෘතියක් බව හෝ නොයෙක් අය ලියා තිබූ කොටස් එකට එක්කර කවරෙකු හෝ විසින් සකස් කළ සංග්‍රහයක් බවයි. එසේ කිරීමේ දී සංස්කරණයකින් තොරව ඒ ඒ කතුවරුන්ගේ හෝ සම්ප්‍රදායවල අදහස් ඒ අයුරින්ම ග්‍රන්ථ වලට ඇතුළත් කොට ඇත. මේ නිසා දෙයාකාරයකින් විස්තර වී ඇති එක් කරුණක් නම් රුවන්වැලිසෑය හා ලෝහ ප්‍රාසාදය සාදන ලද්දේ කවර රජු විසින් ද යන්නයි. එක් තැනෙක දුටුගැමුණු රජුගේ නමත් තවත් තැනක සද්ධාතිස්ස රජුගේ නමත් සඳහන් වේ. භික්ෂුණීන් වහන්සේ පිළිබඳව වෙනත් කෘතිවලට වඩා දීපවංසයේ විස්තර අන්තර්ගත බැවින් මෙය උන්වහන්සේලා විසින් රචනා කරන ලද්දකි යන්න තවත් අදහසකි. නමුත් භික්ෂුණියක් මෙය රචනා කළා නම් "සුනාථ භොන්තෝ, සුනාථ භන්තේ” (හිමිවරුනි අසව්) යන විධානාර්ථය බුදුරජාණන් වහන්සේ වදාල කරුණු අට අනුව භික්ෂුණියකට කිව නොහැක. දීපවංසය ගැන තොරතුරු පැවසීමේ දී මෙහි අන්තර්ගත තොරතුරු කෙටියෙන් සඳහන් කර ඇති බව පෙන්වා දිය හැකිය. උදාහරණයක් ලෙස මහාවංසයේ පරිච්ඡේද 11 කින් දුටුගැමුණු ගැන දක්වා ඇති කරුණු මෙහි දක්වා ඇත්තේ ගාථා 13 කිනි. එමෙන්ම නොයෙක් තැන්හී දෙබස් ඉදිරිපත්කර ඇත්තේ ඒ දෙබස කළ දෙදනාගේ නම් ගැන සඳහනක් නොකරමිනි. දීපවංසයේ කුමන ආකාරයේ දුර්වලතා පැවතිය ද එහි ඓතිහාසිකත්වය මැනිය යුත්තේ ඓත්හාසික සම්ප්‍රදායේ මුල්ම ප්‍රයත්නය ලෙස සලකාය.


මහාවංසය

ක්‍රි:ව හයවන සියවසේ පමණ මහා විහාර නිකායික භික්ෂුවක් වූ මහානාම හිමියන් අතින් මහාවංසය රචනා වී ඇති අතර එය දීපවංසයට වඩා උසස් සාහිත්‍ය කෘතියකි. මහාවංසය අද ද ලියවෙමින් පවතින කෘතියකි. නමුත් මහාවංසය යනුවෙන් අදහස් වන්නේ පළමු පරිච්ඡේදයේ සිට 37 වන පරිච්ඡේදයේ 52 වන ගාථාව දක්වා හෙවත් ආරම්භයේ ක්‍රි:පූ 6 වන සියවසේ සිට මහසෙන් රජතුමාගේ රාජ්‍ය කාලයේ අවසානය දක්වා (ක්‍රි:ව 301) කාල වකවානුව අලලා මහානාම හිමියන් ලිවූ කොටස යැයි සාම්ප්‍රදායානුකූල අදහසක් පවතී. එතැන් පටන් කොටස් චූලවංසය නමිනුත් හැදින්වේ. මෙලෙස නම් දෙකින් හැඳින්වීමට හේතු ඇති බවක් නොපෙනේ. මෙම ව්‍යවහාරය හඳුන්වා ප්‍රචලිත කරන ලද්දේ මහාවංසය ඉංග්‍රීසියට පරිවර්තනය කළ විල්හෙම් ගයිගර් විසිනි. චූලවංසය නමින් හැඳින්වෙන කොටස් වලදී සිදුව ඇත්තේ කතුවරයාගේ වෙනස් වීමක් පමණි. එබැවින් චූලවංසය නමින් හදුන්වා දෙන්නේ නොමැතිව මහාවංසයේ පළමු කොටස, දෙවන කොටස ආදී ලෙස හැඳින්වීම වඩා නිවැරදිය. මෙම පැවරුමේ දී මහාවංස චූලවංස භේදය නොසලකාහැර ඇත. මහාවංස කර්තෘම ග්‍රන්ථාරම්භයේදීම තමාට උපකාරී වූ මූලාශ්‍රයන් පිළිබඳව යම් ආකාරයක සඳහනක් සුළු වශයෙන් වුව ද කරයි. මහානාම හිමියන් මහාවංසය සංග්‍රහ කරන ලද්දේ සීහලට්ඨකතා මහාවංසයේ තිබූ අති දීර්ඝ ස්ථාන සංක්ෂිප්ත කිරීමත්, ඉතා සංක්ෂිප්තව ලියා තිබූ කොටස් විස්තරාත්මක වශයෙන් ඉදිරිපත් කිරීමත්, පුනරුක්තීන් බැහැර කිරීමත්ය යන අරමුණු ඇතිවය. බුදුරජාණන්වහන්සේ කළ විස්තරාත්මක දේශනා ඇතුළත් කර පුරාණ ආචාර්යවරුන් විසින් සිංහල භාෂාවෙන් ලියන ලද ගද්‍යමය අටුවා ග්‍රන්ථ සීහලට්ඨකතා මහාවංසය ලෙස හැඳින්වේ. මෙම සංශෝධිත මහාවංසය රචනා වූයේ පාලි භාෂාවෙනි. එසේ සිංහල වචන පාලියට පෙරලීම නිසා අවුල්සහගත ස්වභාවයක් ඇති වූ අවස්ථා ද තිබේ. නම් ආදියෙහි මේ තත්ත්වය දක්නට ඇත. වට්ඨගාමණි (මෙහි නියම පාලි පරිවර්තනය වනගාමණිය), දුට්ඨගාමණි (මෙහි නියම පාලි පරිවර්තනය ජෙට්ඨගාමණිය) ආදිය නිදසුන්ය. මෙසේ සංශෝධනය කිරීම පසු කාලීන උගතුන්ගේ විවේචනයට ලක් වූ බව වංසත්ථප්පකාසිනියෙන් හෙළිවේ. පාසානදීපවාසී උපතිස්ස තෙරුන් එබඳු විවේචකයෙකි. මීට අමතරව මහානාම හිමියන් මෙම සංස්කරණයේ දී වෙනත් මූලාශ්‍රවල එන ජනප්‍රවාද හා තොරතුරුද උපයෝගීකර ගත් බව මහාවංසයෙන් මෙන්ම මහාවංස ටීකාවෙන් ද හෙළිවෙයි. ඒවා නම් චේතියවංසට්ඨකතා, මහාබෝධිවංසට්ඨකතා, චූලසීහනාදසුත්තවණ්ණනා, සීහලනමක්ඛාරාවණ්ණනා, දීපවංසට්ඨකතා, රෝහණවංසට්ඨකතා, උත්තරවිහාරට්ඨකතා හා පුඤ්ඤපොත්ථක වැනි ග්‍රන්ථය. කවර විවේචනය එල්ල වුව ද තම සංස්කරණය වැඩි ශාස්ත්‍රීය අගයෙන් යුතු කෘතියක් ලෙස ඉදිරිපත් කිරීමට මහානාම හිමියන් සමත් වූ බව පෙනෙන්නට ඇත. මුල් ග්‍රන්ථයේ එන සෑම විස්තරයක්ම තම කෘතියට ඇතුළත් කිරීමට තරම් වැදගත් යැයි මහාවංස කර්තෘ නොසිතූ බව පැහැදිලිය. නිදසුනක් වශයෙන් දුටුගැමුණු කුමරු උපදින්නට පෙර ඔහුගේ මව වූ විහාරමහා දේවියට ඇතිවූ දොළදුකක් මෙහි සවිස්තරව දක්වා ඇත. එහෙත් තිස්ස කුමරු උපදින්නට පෙර බිසවට ඇති වූ දොළදුකක් ගැන මහාවංස කර්තෘ සඳහන් කර නැති නමුත් මෙම විස්තරය සීහලට්ඨකතා මහාවංසයේ තිබූ බව වංසත්ථප්පකාසිනියෙන් හෙළිවෙයි. මහාවංස කර්තෘගේ අදහස අනුව ඔහු වංසකතාව රචනා කළේ "පහන් සංවේගය හා හුදී ජන ප්‍රසාදය" සඳහාය. කර්තෘ බෞද්ධ භික්ෂුවක් වූ බැවින් මේ අදහස ගැන පුදුම විය යුතු නැත. රජවරු කොතෙකුත් උසස් තත්ත්වයක සිටිය ද අවසානයේ මරු හා ගිය බව මහාවංස කර්තෘ නිතරම සඳහන් කරයි. මහාවංසයේ ලෞකික ප්‍රවෘත්ති අඩංගු වෙතත් මහාවංස කර්තෘගේ අවධානය නිතරම යොමු වුනේ ආගමික ඉතිහාසය දෙසටය. පැරණි ශ්‍රී ලංකාවේ පැවති දේශපාලන තත්ත්වය හා ආර්ථික ජීවිතය පිළිබඳ කරුණු මහාවංසයේ තරමක් විරලය. මහා විහාරයට අනුග්‍රහය දැක්වූ රජවරුන්ට දැක්වූ පක්ෂග්‍රාහී බව මහාවංසයේ දුර්වලතාවයකි. මහා විහාරයේ ශ්‍රේෂ්ඨ අනුග්‍රාහකයෙකු වූ දුටුගැමුණු රජුට මෙහි වැදගත් තැනක් ලැබී ඇත. මහාවංසයේ පරිච්ඡේද 37 න් 11 ක්ම වෙන් වී ඇත්තේ දුටුගැමුණු රජුටය. එතුමාටත් වඩා අභියෝගයන්ට මුහුණ දුන් වලගම්බා වැනි රජවරුන් සම්බන්ධව හා මහා විහාරයට එරෙහිව කටයුතු කළ මහසෙන් වැනි රජවරුන් ගැන තොරතුරු සටහන්ව ඇත්තේ අඩුවෙනි. කෙසේ වුවත් තම කෘතියෙහි කිසිදු පුද්ගලයෙකු පිළිබඳ වැරදි සහගත තොරතුරු ඇතුළත් කිරීමට මහාවංස කතුවරයා උත්සාහ ගෙන නැත. සිදුව ඇත්තේ තොරතුරු අඩුවෙන් සටහන් වීම පමණි. ඉතිහාසය යන්නෙහි වර්තමාන අර්ථයට අනුව නම් මහාවංසය ඓතිහාසික කෘතියක් ලෙස සැලකිය නොහැකිය. එසේ වුවද මෙය ලංකාවේ පුරාණ ඉතිහාසය හැදැරීමට ඇති වැදගත් මූලාශ්‍රයක් වන මහාවංසය වංසකතා සාහිත්‍යයේ අග්‍රගණ්‍ය කෘතිය වන බවට සැකයක් නැත.


පූජාවලිය

පූජාවලි ග්‍රන්ථයේ කතුතුමා මයුරපාද පරිවේනාධිපති බුද්ධපුත්‍ර හිමියන්ය. නව අරහාදී බුදුගුණ අතර ඇති "අරහං” යන ගුණය විවරණය කරමින් මේ පොත ලියා ඇත. දෙවන පරාක්‍රමබාහු රජුට අනුග්‍රහ පිණිස ද සිංහල භාෂාව දන්නා සත් පුරුෂයන්ට වැඩ පිණිස ද දේව ප්‍රතිරාජ නම් ඇමතියාගේ ආරාධනයෙන් මෙය ලිවීම සිදුවිය. කතුවරයා විසින්ම ග්‍රන්ථ 24,000 ක්, බණවර 96 ක්, අක්ෂර 7,68,000 ක් යැයි සඳහන් කරන මෙම පූජාවලිය පරිච්ඡේද 34 කින් යුක්තය. මෙම පරිච්ඡේද අතරින් 33 වන පරිච්ඡේදය දක්වා බහුලව අන්තර්ගත වන්නේ බුදුරජාණන්වහන්සේ හා බුදු දහම පිළිබඳවය. 33 වන පරිච්ඡේදය ලක්දිව බුදු සසුන සඳහාත් 34 වන පරිච්ඡේදය ලක්දිව ඉතිහාසය සඳහාත් වෙන්ව තිබේ. නමුත් මුල් පරිච්ඡේද තුළ ද ලක්දිව හා සම්බන්ධ තොරතුරු සුළු වශයෙන් අන්තර්ගතය. එවැනි එක් අවස්ථාවකි සද්ධාතිස්ස රජුගේ ශ්‍රද්ධා භක්තියේ මහිමය පෙන්වන කතා පුවත. විජය රජුගේ සිට දඹදෙණි පැරතුම්බා රජුගේ අවසානය දක්වා මෙහි 34 වන පරිච්ඡේදයේ තොරතුරු අන්තර්ගතය. පූජාවලියේ ප්‍රධන මූලාශ්‍රයන් වූයේ බෞද්ධ ත්‍රිපිටක සාහිත්‍යය හා ජාතක කතා බව පෙනේ. උන්වහන්සේ විසින් තම ග්‍රන්ථයේ ඉතිහාසය සම්බන්ධ කොටස් ලිවීමේ දී මූලික මූලාශ්‍රය ලෙස තෝරාගෙන ඇත්තේ මහාවංසයයි. එහෙත් මහාවංසයේ දක්නට ඇති තොරතුරුවලට පටහැණි තොරතුරු මෙන්ම මහාවංසයේ දක්නට නොමැති තොරතුරු ද පූජාවලියේ දක්නට ඇත. මහසෙන් රජු විසින් වැව් දහසෙයක් බදින ලදැයි මහාවංසය පවසන අතර පූජාවලිය ඔහු වැව් දාහතක් බැදි බව සඳහන් කරයි. ඒ අනුව බුද්ධපුත්‍ර හිමියන් තම ග්‍රන්ථය ලිවීමේ දී වෙනත් මූලාශ්‍රයන් ද උපයෝගීකර ගන්නට ඇතැයි අනුමාන කළ හැකිය. පූජාවලියේ අන්තර්ගත ඓතිහාසික තොරතුරු දෙස බැලීමේ දී බොහෝ අවස්ථාවල සඳහන් වී ඇත්තේ රජුගේ නමත්, පාලන කාලයත්, රාජ්‍ය කාලය ගැන ඉද හිට ඉදිරිපත් කරන වැදගත් සිද්ධීනුත් පමණි. මෙහි කැපී පෙනෙන ලක්ෂණයක් නම් මහාවංසයේ පාලි ස්වරූපයෙන් සඳහන් කර ඇති රාජ නාම දේශීය ඌරුවකින් පූජාවලියට ඇතුළත් කිරීමයි. ධාතුසේන යන නම "දාසෙන්කැලි” යනුවෙනුත් තුන්වෙනි මහින්දයන් "හැලිගරවිල්හිස්කෑ සෙම් මිහිඳු” යනුවෙනුත් සඳහන් කර තිබීම මෙයට නිදසුනකි. ප්‍රධාන වශයෙන් පූජාවලියේ ඇත්තේ ඉතා සංක්ෂිප්ත ලංකා ඉතිහාසයක් වුව ද පැරණි ලංකා ඉතිහාසය හැදෑරීමේ දී මෙම ග්‍රන්ථට ද වැදගත් මූලාශ්‍රයක් ලෙස ප්‍රයෝජනයට ගත හැකිය.


රාජාවලිය

විජය රජු පටන් දෙවන විමලධර්මසූරිය රජු දක්වා වූ ලංකා ඉතිහාසය රාජාවලියට ඇතුළත් වේ. රාජාවලියේ කර්තෘ ගැන හෝ රචිත කාලය ගැන නිශ්චිත අදහසක් නැත. ග්‍රන්ථයෙහි අවසානයෙහි දෙවන විමලධර්මසූරිය රජු පිළිබඳව සඳහන් වී ඇති නිසා එය ලියන්නට ඇත්තේ දහඅටවන සියවසේ මුල් යුගයේ දී යැයි අනුමාන කළ හැකිය. මෙය එක් අයෙකුගේ කෘතියක් නොව කර්තෘන් කිහිපදෙනෙකුගේ රචනයක් යැයි ද අදහසකි. පොතේ එක් කොටසක එන "අප බුදුන්” යන වාක්‍යයත් තවත් කොටසක "අපගේ ස්වාමින් යේසුස් ක්‍රිස්තුස්” යනුවෙන් වාක්‍යයකුත් පැවතීම නිසා මෙම ග්‍රන්ථයේ එක් කොටසක් බෞද්ධයෙකු අතිනුත් අනෙක් කොටස ක්‍රිස්තු භක්තිකයෙකු අතිනුත් ලියවුනැයි ඇතැමුන්ගේ අදහසයි. මෙය නිශ්චිත අදහසක් නොවන අතර මෙසේ වීමට හේතුව කර්තෘ විවිධ මූලාශ්‍ර උපයෝගීකර ගැනීම විය හැකිය. මීට පෙර ලියවුනු සැම වංසකතාවකම පාහේ වැඩි අවධානය ආගම දෙසට යොමු වූ අතර රාජාවලී කර්තෘගේ සැලකිල්ල වඩාත්ම යොමු වී ඇත්තේ ලෞකික අංශය කෙරෙහිය. බුදුදහම ලංකාවට ගෙන ඒම සම්බන්ධව අවශ්‍යම තොරතුරු පමණක් දී ඇති ඇත. දුටුගැමුණු රජුගේ දේශපාලන ක්‍රියා මහාවංසයේ ආකාරයටම සවිස්තරව දී ඇති නමුත් ඔහුගේ ආගමික කටයුතු පිළිබඳ විස්තරය වාක්‍ය කිහිපයකින් ලියා ඇත. වට්ඨගාමිණී හා මහසෙන් රජුන්ගේ පාලන සමයන් ගැන ලියවී ඇත්තේ එකළ තිබූ ආගමික කැළඹිලි ගැන කිසිදු සඳහනක් නොකරමිනි. පැරණි වංසකතා කිසිවකත් සඳහන් නොවන සිදුවීම් ද මෙහි අන්තර්ගතය. මේ බව විජය කුවේණි කතාවෙන් පැහැදිලි වේ. රාජාවලිය රචනයේ දී ප්‍රධාන මූලාශ්‍රයක් වූයේ පූජාවලිය බව පෙනේ. නමුත් එක් එක් රජවරුන්ගේ රාජ වර්ෂ පිළිබඳව පමණක් මෙම ග්‍රන්ථ දෙක අතර මහත් පරස්පරයක් ඇති බව පෙනේ. රාජාවලියේ ඇති දිවයිනේ රාජවංශ නාමාවලියෙන් රජවරු කිහිප දෙනෙකුගේම නම් ගිලිහී ගොස් ඇත. මොවුන් ගෙන් සමහරෙකුගේ නම් වන්නි රාජාවලියේ සඳහන් වේ. (වන්නි රාජාවලිය යනු රාජාවලියේම ප්‍රාදේශීය පිටපතක් විය හැකිය) කර්තෘ විසූ කාලයට ආසන්න කාලය පිළිබඳව ලියා ඇති කොටසේ ඇති ප්‍රවෘත්ති ඇතැම් විට චූලවංසයේ එන ප්‍රවෘත්තිවලට වඩා විස්තරාත්මකය. එහෙත් පැරණි ඉතිහාසය යම්බන්ධව මේ තත්ත්වය දැකිය නොහැක.


වෙනත් වංසකතා

අවශේෂ පාලි හා සිංහල වංසකතා අතර බෝධීන් වහන්සේ, මහා ථූපය, දළදා වහන්සේ වැනි ශුද්ධ වස්තූන් අරබයා ලියන ලද විස්තර කතා ද වේ. පාලි බෝධිවංසය, පාලි ථූපවංසය, දාඨාවංසය හා සිංහල බෝධිවංසය, සිංහල ථූපවංසය, දළදා සිරිත ආදිය ඒවාට නිදසුන්ය. මෙම කෘති අරම්භයේ දී සිංහලෙන් ලියා පසුව සංශෝධන ස්වරූපයෙන් පාලි භාෂාවට පරිවර්තනය කර ඇත. සිහලෙන් ලිවූ කෘති නැති වී ගිය නිසා හෝ වෙනත් හේතු නිසා එම ග්‍රන්ථ නැවත වරක් සිංහල භාෂාවෙන් ලියා ඇත. සමහර විට එකම වස්තුවක් අරබයා එසේ ලියන ලද ග්‍රන්ථ කිහිපයක් දක්නට ලැබේ. උදාහරණයක් ලෙස දළදා සිරිත හා දළදා පූජාවලිය දැක්විය හැකිය. පොදුවේ මෙම කෘතින්හී සවිස්තරවූත් වැදගත්වූත් ඓතිහාසික තොරතුරු විරලය. පාලි බෝධිවංසය නැමති ග්‍රන්ථ නාමයෙන්ම කියවෙන පරිදි අනුරධපුරයේ ශ්‍රී මහා බෝධියේ ඉතිහාසය අලලා ලියවුනකි. දහවන සියවසේ අග භාගයේ ජීවත් වූ උපතිස්ස නම් හිමිනමක් විසින් ලියන ලද බැව් පිළිගැනේ. මෙය සිංහල මුල් ග්‍රන්ථයක පරිවර්ථනයක් බව කර්තෘම පවසයි. මෙම ග්‍රන්ථයෙහි සිංහල අනුවාදය සිංහල බෝධිවංසය නමින් ප්‍රකට විය. එය කුරුණෑගල සමයේ රජ කළ හතරවන පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලයේ විල්ගම්මුල සංඝරාජ හිමියන් විසින් රචිතය. පාලි ග්‍රන්ථයේ කරුණු සිංහල කෘතියෙන් ඉවත්කර නැතත් එය පාලි ග්‍රන්ථයේ හුදු පරිවර්තනයක්ම නොවේ. ථූපවංසය ලියැවී ඇත්තේ දිවයිනේ මහා ථූපය වූ රුවන්වැලි මහා සෑය මුල්කොට ගෙනය. මෙහි ද පාලි හා සිංහල පිටපත් දෙකක් දක්නට ලැබේ. මුලින් රචනා වූ පාලි ථූපවංසය ලියා ඇත්තේ වාචිස්සර නැමති භික්ෂූණ් වහන්සේ නමකි. එය පොළොන්නරු යුගයේ දී හෝ දඹදෙණි යුගයේ දී රචිතය. සිංහල ථූපවංසය පොළොන්නරු සමයෙන් මද කලකට පසුව රචනා කළ ග්‍රන්ථයක් ලෙස සැලකිය හැකිය. සිංහල ථූපවංසයේ කර්තෘ වූ පරාක්‍රම පණ්ඩිත විසූ කාලය ගැන නිසැක නිගමනයකට බැසීම දුෂ්කරය. සිංහල ථූපවංසය රචනා කිරීමේ දී පාලි ග්‍රන්ථය ඇසුරු කළ නමුත් පාලි ග්‍රන්ථයට සම්පූර්ණයෙන්ම වහල් වී නැත. මෙම ග්‍රන්ථයෙන් අඩකටත් වඩා යොදවා ඇත්තේ මහාථූපයේ ඉතිහාසය හා එය ගොඩනැගූ දුටුගැමුණු රාජ්‍ය කාලය විස්තර කිරීම සඳහාය. පාලි දාඨාවංසය ලියන ලද්දේ ලීලාවතී බිසවගේ කාලයේ දී පළමු වන ධම්මකිත්ති නම් තෙරවරයෙකු විසින් පරාක්‍රම නැමති සෙනෙවියාගේ ආරාධනයෙනි. පාලි දාඨාවංසයට විෂය වී ඇත්තේ කිත්සිරිමේඝවණ්ණ රජුගේ කාලය අවසානය දක්වා දළදා වහන්සේගේ ඉතිහාසයයි. මීට පසුව සිංහල රචකයින් විසින් දන්තධාතුව ගැන වඩා දීර්ඝ වූ කාලයක් අලලා සිංහල දළදාසිරිත ලිවූහ. ක්‍රි:ව දහහතරවැනි සියවස තරම් මෑත කාලයක දී පාලි ග්‍රන්ථයේ සම්ප්‍රදාය අනුව යමින් මෙය ලියවුනි. දන්තධාතූන් වහන්සේගේ ඉතිහාසය ලිවීමට ගත් තවත් ප්‍රයත්නයකි දළදා පූජාවලිය. මෙය පාලි දාඨවංසය අනුගමනය කරමින් ලියා ඇත. පාලි දාඨවංසයේ ඇතුළත් කරුණු වලට අමතරව දළදා පූජාවලියේ අවසාන පරිච්ඡේදය දළදා වහන්සේට ලක්දිව රජවරු විසින් කරන ලද පූජා පිළිබඳ විස්තරයක් සඳහා වෙන් වී ඇත. මෙහි සඳහන් අවසාන රජු සිවුවන පරාක්‍රමබාහු රජු නිසා මේ ග්‍රන්ථය ද ඔහුගේ රාජ්‍ය කාලයට පසුව ලියන ලද්දක් බව පැහැදිලිය. දළදා පූජාවලී කතු තුමා ලක්දිව ඈත අතීතය ගැන ලිවීමේ දී මහාවංසයෙන් ගාථා උපුටාගෙන ඇත. පාලි ලලාටධාතු වංසය තවත් වංසකතාවකි. මෙහි ද සිංහලෙන් හා පාලියෙන් ලියවුනු කෘති දෙකකි. එය දහවන හෝ එකොළොස්වන සියවසේ දී ලියන්නට ඇතැයි අනුමාන කෙරේ. එහි තේමාව වී ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ නළල් ධාතුව පිළිබඳ ඉතිහාසය පැවසීමයි. කර්තෘ අවිනිශ්චිතය. කාම්භෝජ්‍යා මහාවංසය මොග්ගල්‍යාන නැමති භික්ෂුවක් විසින් පොළොන්නරු යුගයේ දී රචනා කරන ලද්දකි. හත්ථවනගල්ල විහාරවංසය සිරිසඟබෝ රජුගේ චරිතයත් අත්තනගලු විහාරයේ ආරම්භය හා සංවර්ධනය විස්තර කෙරෙන්නකි. එය දඹණියේ පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී අනවමදර්ශී නම් සංඝරාජයානන් වහන්සේගේ ශිෂ්‍යයෙකු විසින් රචිත බව සඳහන් වේ.

දහම් පාසැල් ගිහින් නැද්ද ?

එන්න අපේ දහම් පාසැලට මෙතනින්  www.dahamsayura.org       

ශ්‍රී දළදා වහන්සේ වැඩම කරවීම

ධාතු පූජාව
 
බෞද්ධ සමාජයෙහි බුදුරජාණන් වහන්සේ අරමුණු කොට ගෙන ශාරීරික, පාරිභෝගික, උද්දේශික යන ත්‍රිවිධ චෛත්‍යයන් (ධාතූන්) වන්දනා කිරීමේ සිරිත දීර්ඝ ඉතිහාසයක් හරහා දිවෙන්නකි. දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වන වාර්තාවකට අනුව බුද්ධ පරිනිරිවාණයෙන් පසුව රාජ රාජ මහා මාත්‍යවරු උන්වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කොට චෛත්‍යයන් ගොඩ නැඟූහ. එම සූත්‍රයේම සඳහන් වන අන්දමට බුදුරදුන්ගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසුව උන්වහන්සෙගේ ශාරීරික ධාතූන් බෙදා ගැනීම පිළිබඳව රජවරුන් අතර අර්බූදයක් ඇති විය. එම අවුල සංසිඳී ඇත්තේ ද්‍රෝණ නම් බමුණාගේ මැදිහත් වීමෙනි. රජවරුන්ගේ ඉල්ලීම පරිදි ද්‍රෝණ බමුණා බුදුරජාණන් වහන්සේගේ භෂ්මාවශේෂ රජවරුන් අතරේ සමසේ බෙදා දුන්නේය. අනතුරුව ඒ ඒ රජවරු තම තමන්ගේ රාජධානිවල එම ධාතූන් තැන්පත් කොට චෛත්‍යයන් ගොඩනැගූහ. මගධයෙහි අජාසත් රජතුමා, විසාලාවේ ලිච්ඡවින්, කපිලවස්තුවෙහි ශාක්‍යයන් ආදීන් බුදුරදුන්ගේ ධාතු තැන්පත් කොට ස්තූප දහසක් ගොඩනැගූ බව පරිනිර්වාණ සූත්‍රයෙන් විස්තර වෙයි.

පරිනිර්වාණ සූත්‍රයේ අවසානයෙහි එන ගාථාවේ සඳහන් වන පරිදි භෂ්මාවශේෂ වලින් නැලි හතක් දඹදිව වැසියන්ගේ පූජාවට පාත්‍රවී  ඇත. රාමගාමයෙහි වූ අනෙක් නැලිය නාරජුන්ගේ පූජාවට පාත්‍ර විය. එක් දළඳාවක් තාවතිංසයෙහිද, තව එකක් ගන්ධාර පුරයෙහිද, තව එකක් කාලිංග රජුගේ විජිතයෙහිද, අනෙක නාලොව වෙයි. දන්ත ධාතූන් වහන්සේලා සතළිහද, කේශධාතූන් වහන්සේලා හා ලෝම ධාතුද, එක එක බැගින් දෙවියෝ ගෙන ගියහ.

 ධාතු බෙදීයාම පිළිබඳවත්, ධාතූන් වහන්සේලා වන්දනා කිරීම හා ඉන් ලැබෙන අන්සස් ගැනත්, දීඝ නිකායේ මහා පරිනිර්වාණ සූත්‍රය හැරුණු විට, මුල් නිකාය හතරෙහිම සඳහන් නොවේ. එම සූත්‍රයේ කාලනිර්ණය ගැන සලකන විට එම ධාතු පූජාව බුදුරදුන් විසින් අනුදත් පූජාවක් ලෙස සැලකිය නොහැකි බවත්, එය කලකට පසුව බෞද්ධයන් අතර ආමිස පූජාව ව්‍යාප්ත වී යාමේ ප්‍රතිඵලයක් වශයෙන් තහවුරු වූවක් විය හැකි බවත් ඇතැම් පඬිවරු විශ්වාස කරති. එසේ වුවත්, ධාතු පූජාව පිළිබඳවත් එහි අනුසස් ගැනත්, බෞද්ධ සාහිත්‍යයෙහි දක්නට ලැබේ. ඛුද්ධක නිකායට අයත් අපදාන පාළියෙහි මේ පිළබඳව බහුලව විස්තර වේ. එමෙන්ම සුමංගල විලාසිනිය, පපංච සුදනිය, මනෝරථ පූරණිය වැනි අටුවාවන්හි විස්තර ඇතුළත් වේ. තවද විමානවත්ථු ප්‍රකරණය, මිලින්ද ප්‍රශ්නය, බුද්ධ වංසය වැනි ග්‍රන්ථවලද ධාතු පූජාව ගැන විස්තර වේ.

සුමංගල විලාසිනියේ සඳහන් වන අන්දමට, ද්‍රෝණ බමුණා රැස්වූවන්ගේ ප්‍රමාදයක් බලා දකුණු දළඳාවක් හිස් වැස්ම අතර සඟවා ගනියි. ඒ දුටු ශක්‍රයා, එය සොරකම් කොට, දෙව්ලොවට ගෙන ගොස් සිළුමිණි සෑයෙහි නිදන් කරයි. එම අටුවාවෙහිම එන විස්තර අතර අජාසත් රජතුමා තමන්ට ලැබුණු ධාතූන් වහන්සේලා රජගහ නුවරට ගෙන යමින් කරන ලද පූජෝපහාර පිළිබඳ තොරතුරු, ද වැදගත් වේ. ඒ හැර ධාතු කොටස් ලැබුණු අනෙක් රජවරුද තම තමන්ගේ බල පමණින් ධාතුන් වහන්සේලා තම රාජධානිවලට වැඩමවා ගෙනවුත්, ස්තූප බැඳ පූජා කළ අන්දම එහි විස්තර වේ. පුරා විද්‍යාත්මක කැණීම් වලින්ද එසේ ගොඩ නඟන ලදැයි සැලකෙන ශාක්‍යයන්ගේ ස්තූපයක් මතුකර ගෙන ඇත. “භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මේ ශරීර නිධානය මනාභක්ති ඇති සහෝදරියන් හා පුත්‍ර දාරාවන් සහිත ශාක්‍යයන්ගේට” යන අදහස ඇති ශිලා ලේඛනයක්ද, එම ස්ථූප අසලින් සොයාගෙන ඇත. ඒ අනුව බුද්ධ පරිනිර්වාණයෙන් පසු ධාතු නිදන් කොට ස්ථූප ගොඩනැංවීය. යන පුරාවෘත්තයේ සත්‍යයක් මතුවී පෙනේ.

ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර විසූ බුදුවරුන්ගේ ධාතූන් වහන්සේලා ගැනත් එම ධාතු පූජාවේ යෙදී සිටියවුන් ගැනත් තොරතුරු අපදාන පාළියේ සඳහන් වෙයි. ධාතු පූජාවේ අනුසස් පෙන්වන එක් තැනක මෙසේ සඳහන් වෙයි. “...... යමෙක් ජීවමාන වූ ලෝකනායක බුදුරදුන් පුදන්නේ නම්, එසේම පිරිනිවී බුදුරදුන්ගේ අබැටක් පමණ වූ ධාතූන් වහන්සේ නමකුදු පුදන්නේ නම් චිත්තප්පසාදය සම වූ කල්හි පින ද සමානය. මහත් බවට ගියේද වේ. එහෙයින් සෑයක් කොට සර්වඥ ධාතූන් පුදනු මැනවි. .......” විමාන වත්ථුවෙහි සඳහන් පරිදි බුදුරදුන් පිදීමත් පිරිනිවනෙන් පසු ධාතුන් වහන්සේලා පිදීමත් සමඵල ඇති පුණ්‍ය ක්‍රියාවකි. චෛත්‍යයක් වැඳීමට බෝධියක් වැඳීමට ගිය විට එයින් මෛත්‍රී සහගත කාය කර්මයක් සිදුවන අතර චෛත්‍යයක් හා බෝධියක් වැඳීමට යමුයයි කී කල්හි මෛත්‍රී සහගත   වචී කර්මයක් සිදුවේ. චෛත්‍යයක් වැඳීම ඊටත් වඩා ලොකු පින්කමකි. චෛත්‍යයක් වන්දනා කිරීමට පහන් සිතින් ගිය කෙනෙකු අතර මගදී මළහොත් ඔහු එකෙණෙහිම දෙව්ලොව ඉපදෙන්නේ යයිද සුමංගල විලාසිනියේ සඳහන් වේ. අනෙක් අතට චෛත්‍යයක් කැඩීම දෙමාපියන් මැරීම ආදී ආනන්තරීය කර්මයක් මෙන්ම බැරෑරුම් පාපයක් ලෙස මනෝරත පූරණියෙහි සඳහන් වේ. බුදුරජාණන් වහන්සේගේ දළදාව ලක්දිවට වැඩම වූයේ ක්‍රි. ව. 360 සිරිමේඝවර්ණ රාජ්‍ය සමයේදීය. මේ වන විට බුදු සමය මේ දිවයිනෙහි පිහිටුවා සියවස් හයක් පමණ ගතවී තිබුණි. එහෙත් මීට බොහෝ කලකට පෙරසිටම ලක් වැසියන් ධාතු පූජා කිරීමේ සිරිත අනුගමනය කොට ඇත.

දළදාව වැඩම වීමට පෙර ලක්දිව ධාතු පූජාව

එහි ඉතිහාසය මහින්දාගමනයටත් පෙර බුද්ධ කාලය දක්වා ඈතට දිවෙන්නෙකි. සිදුහත් බෝසතුන් බුද්ධත්වයට පත්ව සත් සති ගත කරන සමයේ දඹදිව උක්ඛලා ජනපදයේ උපන් තපස්සු, භල්ලුක වෙළඳ දෙබෑයන්ට බුදුරදුන් විසින් ප්‍රදානය කරන ලද කේශ ධාතූන් වහන්සේලා ලංකාවේ ගිරිහඬු සෑයෙහි තැන්පත් කරන ලද බවත් වංසකතාවේ සඳහන් වේ. ඒ පුවත නිර්වද්‍ය නම් ක්‍රි.පූ. 6වන සියවස තරම් ඈත අවධියක සිට ලක්වැසියන් අතර ධාතු වන්දනාව ජනප්‍රියව පැවති බව සිතිය හැකිය. එමෙන්ම බුද්ධත්වයෙන් නවවන මස මහියංගණයට වැඩම වූ අවස්ථාවේ මහා සුමන දේවතාවාගේ ඉල්ලීම පරිදි බුදුරදුන් හිස පිරිමැද කෙස් මිටක් දුන් බවත්, එම කේශ ධාතූන් නිදන් කොට සත්රියන උස මහියංගණ දාගැබ ගොඩනැංවූ බවත් මහා වංසයේ සඳහන් වේ. බුද්ධ පරිනිර්වාණයෙන් පසු සරභූ තෙරණුවන් විසින් ගෙනෙන ලද ග්‍රීවා ධාතුන් වහන්සේ ද එම දාගැබයෙහි නිදන් කළ බවත් වංසකතාව තව දුරටත් සඳහන් කරයි.

බුදුරදුන්ගේ ධාතු චෛත්‍යයන් වන්දනා කිරීම බොහෝ සෙයින් ජනප්‍රියව පැවතියේ ධර්මාශෝක යුගයේදීය. අජාසත් රජතුමා විසින් ගොඩනංවා තිබුණු ධාතු චෛත්‍යකින් ධාතූන් වහන්සේලා ලබා ගත් අශෝක රජතුමා එම ධාතු තැන්පත් කොට මුළු දඹදිව පුරාම අසූහාර දහසක් දාගැබ් බැන්ද වූ බව සුමංගල විලාසිනියෙහි සඳහන් වේ. මුළුමනින්ම සලකා බලන විට මේ පුවතේ ඓත්හාසික තත්ත්වය කුමක් වුවද අශෝක යුගය වන විට දඹදිව ධාතු වන්දනාව ජනප්‍රියව පැවති බව සිතීමට ඉඩ තිබේ. එසේ නම් අශෝක රජතුමාගේ ධර්ම විජය ව්‍යාපාරය යටතේ මෙරටට වැඩම වූ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූතයන් වහන්සේලා විසින් ධාතු වන්දනාව ගැන ලක්වැසියන් තුළ හැඟීම් ඇති කරන්නට ඇතැයි සිතිය හැකිය. “ධාතූන් වහන්සේ නමක් දැකීම තථාගතයන් වහන්සේ දැකීමක් ලෙස මිහිඳු මාහිමියන් පවසා ඇත. උන්වහන්සේ මෙරටට වැඩමවා නොබෝ දිනකින්ම බුදුරදුන්ගේ ශාරීරික ධාතු තැන්පත් කොට ස්තූපයක් කරවීමේ අදහස දෙවනපෑතිස් රජතුමාට දන්වා ඇත. ඒ අනුව දෙවන පෑතිස් රජතුමා විසින් බුදුරජාණන් වහන්සේගේ අකු ධාතුව ඇතුළුව ධාතූන් වහන්සේලා මෙරටට වැඩමවා අනුරාධපුරයෙහි ථූපාරාම දාගැබ ඉදිකොට එහි තැන්පත් කරවන ලද බව මහාවංසය සඳහන් කරයි.

ධාතූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ලෙස සලකා පූජා පැවැත්වීම දෙවන පෑතිස් සමයේ පටන්ම මෙරට වැසියන් අතර තහවුරුව පැවති බව වංසකතා අනුව සිතිය හැකිය. දුටුගැමුණු රාජ්‍ය සමය වනවාට මේ පිළිවෙත කෙතරම් දුරට ජනප්‍රියව පැවතියේද යත් රජුගේ කුන්තායුධයේ පවා ධාතූන් වහන්සේලා තැන්පත් වූහ. දුටුගැමුණු රජතුමා විසින් ගොඩනංවන ලද මහා ථූපයේ තැන්පත් කිරීමට සොණුත්තර තෙරණුවන් විසින් නාගලෝකයෙන් ධාතූන් වහන්සේලා ගෙන එන ලද බවත්, එම ධාතූන් වහන්සේට ලංකා රාජ්‍ය සත්දිනක් පූජා කළ බවත් මහාවංසය සඳහන් කරයි. මහසෙන් රජු දවස බුදුරදුන්ගේ පඨී ධාතුව ගෙනවුත් ස්ථූපයක තැන්පත් කරන ලද බව පූජාවලිය සඳහන් කරයි. ක්‍රි. ව. 4 වන සියවසේදී ලංකාවට දළදා වහන්සේ වැඩමවන විට ධාතු පූජාව පිළිබඳ කෙබඳු භක්තිමත් පසුබිමක් තිබුණිදැයි මේ අනුව අපට සිතාගත හැකිය. දළදා වහන්සේගේ ඉතිහාසයත් ලංකාවේදී ඒ සඳහා කෙරෙන පුදපූජා හා වත් පිළිවෙත් ගැනත් විමසා බලන විට දන්ත ධාතූන් වහන්සේ කෙරෙහි පවත්නා අති මහත් ගෞරවය තේරුම් ගත හැකිය.

දළදා පුවත

දළදා වහන්සේ පිළිබඳ තොරතුරු හැදෑරීමට ඉවහල් වන මූලාශ්‍ර කිහිපයක් අප සතුව ඇත. විශේෂයෙන්ම මහාවංසය, දාඨාවංසය, ධාතුවංසය, දළදා සිරිත, දළදා පූජාවලිය, පූජාවලිය, රාජාවලිය ආදී සාහිත්‍යමය මූලාශ්‍රද වැදගත් වේ. ඒ හැරුන විට ශිලා ලේඛන හා වෙනත් පුරා විද්‍යාත්මක නටබුන්ද සාහිත්‍යමය මූලාශ්‍රවල එන තොරතුරු සනාථ කරන අතර දළදා වහන්සේ පිළිබඳ ඇතැම් ප්‍රවෘත්තිවල ඓතිහාසිකත්වයද, තහවුරු කරන බව කිව හැකිය.

දළදා වහන්සේ ලක්දිව වැඩම වීම පිළිබඳ පුරා වෘත්තය සම්පූර්ණයෙන්ම වාගේ සංග්‍රහ වී ඇති පැරණිම ග්‍රන්ථය දාඨාවංසයයි. ලීලාවතී රැජිනගේ රාජ්‍ය සමයේ විසූ පරාක්‍රම නම් ඇමතියකුගේ ආරාධනාවෙන් දාඨාවංසය කළ බව එම ග්‍රන්ථයේම සඳහන් වේ. මෙහි කතුවරයන් වහන්සේ නම් ටීකාචාර්ය, ශාරිපුත්‍ර මාහිමියන්ගේ ශිෂ්‍ය වූ ධර්ම කීර්ති නම් තෙර කෙනෙකි. එම දාඨාවංසයෙහි සදහන් විස්තරයට අන්ව බුදුරදුන්ගේ ශ්‍රී දේහය ආදාහනය කළ චිතකයෙන් ඛෙම නම් රහතන් වහන්සේ විසින් ගන්නා ලද වම් දළදා වහන්සේ කළිඟුරට දන්තපුරයෙහි බඹදත් නම් රජුහට භාර කරන ලදි. මේ පුවත සුළු වෙනස්කම් සහිතව තායි ජනප්‍රවාදයන්හිද දක්නට ලැබෙයි. බඹදත් රජුගේ පරපුරට අයත් රජවරුන් විසින් ගරු බුහුමන් සහිතව එය ආරක්ෂා කර ගන්නා ලදී. පසු කලෙක පාටලී පුත්‍රයෙහි පණ්ඩු නම් රජ කෙනෙක් රාජ්‍ය විචාළේය. එදවස දළදා වහන්සේ සතුව පැවතියේ ගුහසීව නම් රජෙකුටය. ඒ අවධියෙහි ලාභසත්කාරයෙන් පිරිහුණු මිත්‍යාදෘෂ්ටිකයන්ගේ කේලාම් බස් අසා කුපිත වූ පාටලී පුත්‍රයේ පාණ්ඩු රජතුමා තමාගේ සාමන්ත රජෙකු වූ ගුහසීව රජු දළදා වහන්සේ සමග පාටලී පුත්‍රයට අල්වාගෙන එන ලෙස රාජභටයන්ට නියම කළේය. එහෙත් තොරතුරු විමසා බැලීමෙන් පසුව පාණ්ඩු රජතුමා දළදා වහන්සේ කෙරෙහි පැහැදී පුද සත්කාර පවත්වා නැවත කාලිංගයට පිටත් කළේය. එහිදී ඛීරධාර නම් රජුගේ බෑණා වූ කුමරුවෙක් දළදා වහන්සේ ලබා ගැනීම පිණිස ගුහසීව රජු සමග යුද්ධයට පැමිණියේය. එම සටනින් තමා පරාජයට පත් වුවහොත් බමුණු‍ෙවස් ගෙන දළදා වහන්සේ රැගෙන සීහළ දීපයට යන ලෙස ගුහසීව රජ තම බෑණනු දන්ත කුමරුට හා හේමමාලා යන දෙදෙනාට නියමකොට තිබුණි. ඒ අනුව ගුහසීව රජුගේ පරාජය දුටු දන්ත කුමරු හා හේමමාලා යන දෙදෙනා දළදා වහන්සේත් රැගෙන සිරිමේඝවණ්ණ රජුගේ නවවැනි රාජ්‍ය වර්ෂයේදී ලංකාවට පැමිණියහ.

දාඨාවංසයෙහ් සඳහන් විස්තරය යම් ප්‍රමාණයකට අතිශයෝක්තියෙන් ගහනව ඇතැයි සිතිය හැකිය. එහෙත් මෙම දාඨාවංස පුවතේ ඓතිහාසිකහරය නම් කිත්සිරිමෙවන් රජු දවස දළදා වහන්සේ ලංකාවට වැඩම වූ බවයි. විශේෂයෙන්ම මෙම යුගයෙහි හා මීට මීට සමීප යුගයන්හිදී ලංකාව හා කාලිංගය අතර පැවති සබඳතා දළදාව ලංකාවට වැඩමවීම කෙරෙහි තුඩුදෙන්නට ඇතැයි සිතීමට සාධක තිබේ. සෙනරත් පරණවිතාන මහතා පෙන්වා දෙන අන්දමට මහසෙන් රජු දවස ලංකාවේ පැතිර ගිය  වෛතුල්‍යවාදය එවක මහායානය දියුණු වෙමින් පැවති ආන්ධ්‍ර ප්‍රදේශයෙන් මෙරටට පැතිරෙන්නට ඇත. නාගර්ජුනී කොණ්ඩ, අමරාවතී වැනි බෞද්ධ මධ්‍යස්ථාන වල දක්නට ලැබෙන කලා සම්ප්‍රදායන්ගේ ආභාසය ලංකාවේ කැටයම් හා මූර්ති කලාවන්හි දක්නට ලැබෙන බවත් එතුමා වැඩිදුරටත් පෙන්වා දෙයි. පැරණි කාලිංගය වර්තමාන ඔරිස්සා ප්‍රදේශයට පමණක් සීමා නොවූ අතර අන්ධ්‍ර ප්‍රදේශය ඇතුළු විශාල ප්‍රදේශයක පැතිර පැවති බව හේමචන්ද්‍ර රායිගේ පිළිගැනීමයි. කෙසේ නමුත් පරණවිතාන මහතා පෙන්වා දෙන අන්දමට කාලිංගයට අයත් ආන්ධ්‍ර ප්‍රදේශය හා ලංකාව අතර කලක සිට දාර්ශනික වශයෙන් හා කලාත්මක වශයෙන් සබඳතා පැවති බව පිළිගත හැකිය. සිරිමේඝවණ්ණ රජු තමාගේ සමකාලීනයෙකු වූ ඉන්දියාවේ සමුද්‍ර ගුප්ත රජතුමා වෙත යැවූ දූත පිරිසත් පිළිබඳව සිල්වත්ලෙව් රාජකීය ආසියාතික සඟරාවේ සඳහන් කරයි. (xxiv) සමූද්‍ර ගුප්ත රාජ්‍ය සමයට අයත් තොරතුරු රැසක් ඇතුළත් අලාහබාද් සෙල්ලිපියේද එම රාජ්‍යයට පක්ෂපාත කම් දැක්වූවන් අතර සිංහලයින්ද සිටි බව සඳහන් වෙයි. දළදා වහන්සේ කුමන කරුණක් නිසා මෙරටට වැඩමවන ලද්දේදැයි මහාවංසයේ සඳහන් නොවෙයි. දළදා වහන්සේ අරභයා හටගත් යුද්ධයෙන් පරාජය වුවහොත් දළදාව රැගෙන ලංකාවට යන ලෙස කළ නියමයෙන් එය සිදුවූ බව දාඨාවංසයේ මෙන්ම, දළදා සිරිත, දළදා පූජාවලිය වැනි ග්‍රන්ථවල සඳහන් වෙයි. මේ අනුව පැහැදිලි වන්නේ දාඨාවංසය වැනි ග්‍රන්ථයන්හි සඳහන් හේතු පමණක් නොව, පුරාතන අවධියක පටන් කාලිංග ලංකා සබඳතා හේතුකොට කාලිංගයෙන් ලංකාවට දළදා වහන්සේ වඩමවන ලද බවයි.

මහාවංසයෙහිද දන්තධාතූන් වහන්සේ මෙරටට වැඩමවීම ගැන සඳහන් වෙයි. එම විස්තර දාඨාවංස පුවත තරම් දීර්ඝ නොවෙයි. ඒ හැරත් මහාවංසයේ සඳහන් වන්නේ සිරිමේඝවණ්ණ රජුගේ රාජ්‍යෝදයෙන් නව වන වර්ෂයෙහි කිසියම් බැමිණියක විසින් (කාචී බ්‍රාහ්මණී) බුදුරදුන්ගේ දන්ත ධාතුව කලිඟුරටින් මෙහි වැඩම වන ලද බවයි. එසේ වුවත් මහාවංස, දාඨාවංස පුවත් දෙකින්ම ප්‍රකාශ වන්නේ එකම සිද්ධිය බවට සැකයක් නොමැත. දාඨාවංස පුවතින් සඳහන් වන්නේ බමුණු වෙස් ගෙන දළදාව රැගෙන සීහල දීපයට එන ලෙස ගුහසීව රජු නියම කළ බවයි. මහාවංසයෙහි සඳහන්ව ඇත්තේ බැමිණියක විසින් දළදා වහන්සේ රැගෙන ආ බවයි.

දළදාව රැගෙන ඒම

ගමන් මග

දළදා වහන්සේ කාලිංගයේ සිට ලංකාවට වැඩමවා ගෙන යාමට ඉටාගත් දන්ත කුමරු හා හේමමාලා යුවළ බමුණු වෙස්ගෙන නුවරින් පිටව ගියහ. නුවරින් දකුණ් දෙසට ගමන් කළ ඔවූහු මහා නදියෙන් එතෙරව දළදා වහනසේ වැලිගොඩක සඟවා වන ලැහැබක විසූහ. මෙහි දී කිසියම් තෙර කෙනෙකුන් විසින් “තෙපි ශරීර විඩා නොතකා දළදා වහන්සේ සීහළ දීපයට ගෙන යව්” යනුවෙන් අනුශාසනා කරන ලදුව, දුර්ග මාර්ගය ගෙවා තාමලිත්ති පට්ටනයට ළඟාවූහ. එතැනින් ලක්දිව බලා යන වෙළෙඳ නැවක් දැක දළදා වහන්සේ කේශ කලාපයෙහි සඟවා ගත් හේමමාලා කුමරියද , දන්ත කුමරුද එම නැවෙන් පිටත් වූහ. මුහුදු ගමනකදී එකල මුහුණ පෑ යුතු ඇතැම් දුෂ්කරතා වලටද මුහුණ දුන් ඔවූහු ලංකා පට්ටනයට ගොඩ බටහ. මහසෙන් රජුගේ පුත් සිරිමේඝවණ්ණ රජුගේ නවවන අවුරුද්දෙහි ලංකා පට්ටනයෙන් ගොඩ බට දළදා භාරක රාජකීය යුවළ එහි දේවාලයක ලැගුම් ගත්හ. කිසියම් බමුණෙකුගෙන් මේ අමුත්තන් දෙපලට ආගන්තුක සත්කාර ද ලැබුණ අතර ඔහු අන්රාධපුරයට යන මගද පෙන්වීය. නුවර දොරටුවට පැමිණ මහසෙන් රජුගේ මරණය අසා මහත්සේ දුක්වූ නමුත් මහසෙන් රජුගේ ඥාතිත්වය අසා සැනසුණහ. ඉක්බිති අනුරාධපුර මේඝගිරි විහාරයෙහි කිසියම් භික්ෂූන් වහන්සේ කෙනෙකුන් රජු හා ඉතා කුලුපග බව අසා එහි ගොස් දළදා පුවත සැළ කළහ. උන්වහන්සේ ඉතාමත් සාදරයෙන් ඔවුන් පිළිගෙන දළදා වහන්සේ ස්වකීය ගෘහයෙහිම තැන්පත් කොට ගොස් රජුට එපවත් දැන්වූහ.

මෙහි සඳහන් වන තාමලිප්තිය පැරණි ඉන්දියාවේ නැව් තොටකි. එය බටහිර බෙංගාලයේ මිඩ්නාපුර දිස්ත්‍රික්කයේ නම්ලුක් පෙදෙස බව සිංහ සහ බෙනජි යන ඉන්දියානු ඉතිහාසඥයෝ පෙන්වා දෙති. අශෝක රජු දවස ශ්‍රී මහා බෝධිය වැඩම වූ දූත පිරිස මුහුදු යාත්‍රාව ආරම්භ කරන ලද්දේද මෙම තාමලිප්ති තොටුපලෙනි. දළදාව රැගත් රාජකීය යුවළ ලංකාවට ගොඩබටුයේ සිංහලදීපයේ ලංකා පට්ටන නම් ස්ථානයෙනි. මේ ස්ථානය පැරණි ලංකාවේ වරායක් වූවාමෙන්ම බෞද්ධ ගොඩනැගිලි ආදියෙන් සමන්විත ස්ථානයක් හැටියට ද ලංකා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හඳුනාගෙන ඇත. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කොඩ්ඩියාර් පත්තුවට අයත් මෙම ස්ථානය දැන් හැඳින්වෙන්නේ ඉලංකෙයි තුරෙයි යනුවෙනි. එහි ඇති පැරණි බෞද්ධ ගොඩනැගිලි දැනට හින්දු කෝවිල් බවට පත්වී ඇත.

දළදා සාහිත්‍යය

ශ‍්‍රී ලංකාවට බුදු සමය හඳුන්වා දීමෙන් පසුව මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ ශාරීරික හා පාරිභෝගික ධාතූන් රැසක්ම ලබාදීමට කි‍්‍රයා කළහ. ගැඹුරු දහමට වඩා ඉක්මනින් ඔවුනගේ සිත් සතන් තුළට බුදු දහම පිවිසීමට මෙම පූජනීය වස්තු උපකාරී වන බව අවබෝධ කර ගත්හ. ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ අකු ධාතුව ප‍්‍රධාන ශාරීරික ධාතූන් වහන්සේලා රැසක් ද පාරිභෝගික වස්තූන් වන ශ‍්‍රී මහා බෝධීය හා පාත‍්‍ර ධාතුව ද වැඩමවා ගත්හ. ධාතු පූජා විෂයෙහි ජනතාව තුළ පවත්නා ගෞරවය හා උනන්දුව නිසා ඉන් අනතුරුව දළදා වහන්සේද කේස ධාතූන් වහන්සේද ලංකාවට වැඩම වූ පුවත් වංශ කථාවල විස්තර වශයෙන් දැක්වේ.

මෙම ධාතූන් වහන්සේලා ශ‍්‍රී ලංකා ජාතික සංස්කෘතිය හා ජන විඥානය තුළ මොන තරම් පිබිදීමක් ඇති කිරීමට සමත් වූයේද යත් එම ධාතූන් අරබයා විවිධපොත පත සම්පාදනයට ද ශිල්ප කලාවන් නිර්මාණය කිරීමට ද පටන් ගත්තෝ ය. පුද පූජාවේ පමණක් නොව රාජ්‍ය පරිපාලනයේ ද විශාල පෙරළියක් ඇති කළේ ය.බෝධීන් වහන්සේගේ අගය පූජනීයත්වය විස්තර කෙරෙමින් සිංහල භාෂාවෙන් හා පාලි භාෂාවෙන් බෝධි වංශ සාහිත්‍යයක් ද බෝධිඝර නම් වූ ගෘහ නිර්මාණ කලාවක් ද ශාරීරික ධාතු නිධානයෙන් ස්තූප කලාවක් හා ධාතු වංශ සාහිත්‍යයන් ද ධාතු ඝර හා වටදා ඝර නම් වූ නව ගෘහ නිර්මාණ කලාවක්ද ජාතියට දායාද කෙරිණි.

කිත්සිරි මේඝවර්ණ රාජ්‍ය දවස වැඩම වූ දළදා වහන්සේ මෙම සියලු පූජනීය වස්තූන් අභිබවා පූජනීයත්වයෙන් අගතැන් පත් බවට ද ශිල්ප කලා නිර්මාණයෙන් හා පුද පූජා පෙරහැරින් ද සාහිත්‍ය නිර්මාණයෙන් මෙන්ම රාජ්‍යත්වයෙන් ද බුහුමන් ලැබීමට සමත් වූහ. අසූ හාර දහසක් ධම¢ස්ඛන්ධය දේශනා කළ බුදු රජාණන් වහන්සේගේ ශ‍්‍රී මුඛයට අයත් වස්තුවක් වීම ද භාරතීය රාජකීය දෙපළක් විසින් රැගෙන විත් ප‍්‍රදානය කිරීම ද, භාරතීය රජ දරුවන් දළදා වහන්සේ උදෙසා කළ පුද පූජා මේ රාජ දූතයන් වෙතින් අනාවරණය වීම ද භාරතීය රජ වරු දළදා උරුමය ලබා ගැනීමට සටන්වැදී සිටි අයුරු පළ වීම ද දළදා වහන්සේ පිළිබඳ මෙම විශේෂ ගෞරවය හා උනන්දුව පළවීමට හේතු වන්නට ඇත. 

එපමණක් නොව දළදා වහන්සේ දුටු පමණින්ම පිරිමේඝවණ්ණ රජතුමා හිස මත හොවා පූජා පවත්වා සිංහාසනය මත තබා ගෞරව දක්වා මුළු රටම දළදා වහන්සේට පූජා කිරීමද දළදා වහන්සේ වෙත මෙම අසීමිත ගෞරවය හා භක්ත්‍යාදරය යොමුවීමට හේතු වූවාට සැකයක් නැත. දළදා වහන්සේ ලක් දිවට වැඩම කිරීම පිළිබඳ පුරාවෘත්තය සම්පූර්ණයෙන් සංග‍්‍රහ වී ඇති ඉපැරණිම ග‍්‍රන්ථය දාඨාවංශය යි. ලීලාවතී නම් රැජිනගේ රාජ්‍ය සමයෙහි විසූ පරාක‍්‍රම නම් අමාත්‍යවරයෙකුගේ ආරාධනයෙන් දාඨාවංශය කළ බව ග‍්‍රන්ථාරම්භයේ දක්වා ඇත. ටීකාචාර්ය ශාරිපුත‍්‍ර මාහිමියන්ගේ ශිෂ්‍ය වූ ධම¢කීර්ති නම් රාජගුරු ආචාර්යයන් විසින් මේ ග‍්‍රන්ථය රචනා කරන ලද බව ග‍්‍රන්ථාවසානයේ දක්වා ඇත. 

අසත්තවූන්ගේ පැහැදීම උපදවන බුද්ධමහිමය ප‍්‍රකාශ කිරීම ග‍්‍රන්ථ කරණයේ අරමුණ බව කතුවරයා සටහන් කර තිබේ. දාඨාවංසය පාලි පද්‍යයෙන් වේධ ග‍්‍රන්ථයකි. සිත් ඇද ගන්නා සුලු සරල සුගම භාෂා ශෛලියකින් එය රචනා වී ඇත. දළදා වහන්සේ පිළිබඳ මෙහි එන පුරා වෘත්තයේ ඓතිහාසිකත්වය විමසා බැලිය යුතුය. සිරිමේඝවණ්ණ රජු දවස දළදා වහන්සේ ලක් දිවට වැඩමවන ලදැයි යන දාඨාවංස ප‍්‍රවෘත්තිය දාඨාවංසය රචිත යුගයෙන් පසු ලියැවුණු බොහෝ සිංහල පාලි මූලාශ‍්‍රය වල පමණක් නොව දාඨාවංසයට පෙර ලියැවුණු මහාවංසයෙහිද සඳහන් වී තිබේ.

දාඨාවංසයෙහි එන විස්තර කිසිවක් මහාවංසයෙහි සඳහන් නොවන නමුදු සිරිමේඝවණ්ණ රජුගේ නම වැනි වර්ෂයේදී කිසියම් බැමිණියක් කලිගු රටින් දළදාව මෙහි ගෙන ආවේ ය යන පුවත පමණක් එහි සටහන්ව තිබේ. දාඨාවංසය රචනා කිරීමට සියවස් දෙකකට පමණ පෙර ලියැවුණු මහා වංසයේ මෙපමණින් නමුදු දළදා වහන්සේ ගැන සඳහන් වී තිබීම දාඨාවංස පුවතේ ඓතිහාසිකත්වය තහවුරු කර ගැනීමට වැදගත් වේ. දළදා වහන්සේ දේවානම් පියතිස්ස රජු විසින් කරවන ලද ධමමචකත ගෘහයෙහි වැඩ හිදුවන ලදැයි මහාවංසයේ එන පුවත දාඨාවංසයේ දැක්වෙන්නේ මිහිදු මාහිමියන් දහම් දෙසීමෙන් පවිත‍්‍ර වූ තැනට වැඩම වන ලද බවය.  

රජු නව ලක්ෂයක් වියදම් කොට දළදා පූජාවක් පැවැත්වීය යන ප‍්‍රවෘත්තිය මහා වංසයේ මෙන්ම දාඨා වංසයේ ද එකාකාරව දක්වා ඇති. දළදා වහන්සේ පුද පිණිස අභයගිරි විහාරයට වාර්ෂිකව වැඩම වන ලද බව එම ග‍්‍රන්ථ දෙක්හිම සඳහන් වේ. දළදා වහන්සේ අභයගිරි විහාරයට වැඩමවා පූජා විධි කළ යුතු ආකාරය පිළිබඳ රජු විසින් දෙන ලද නියෝගය දාඨාවංසයේ සඳහන් කොට ඇත්තේ සිරිත් ලිපියක් ලියැවූ බවය.
මේඅන්දමට එකොළොස්වෙනි සියවසෙහි රචිත මහා වංසයේ සිරිමේඝවණ්ණ රජු සමයෙහි දළදා වහන්සේ හා සබැදිව සිදුවූ බවට වාර්තා වී ඇති පුවත් දහතුන්වෙනි සියවසෙහි රචිත දාඨාවංසයේ එන පුවත් සමග එහැම පිටින් සැසඳීමෙන් පෙනී යන්නේ දාඨාවංසයේ එන පුරාවෘත්තය පෙර පටන් ව්‍යවහාරව පැවති එකක් බවයි.

දළදා වහන්සේගේ ඉතිහාසය විස්තර වශයෙන් දැක ගත හැකි වන්නේ දාඨාවංසයේය. දළදා වහන්සේ අරබයා භාරතීය රජුන් අතර ඇති වූ යුද්ධයක් එවකට දළදා වහන්සේ භාරව සිටි ගුහසීව රජු යුද්ධයකට මුහුණ දී සිටි බව හා යුද්ධයෙන් පරාජයට පත් වූවොත් දළදා වහන්සේ රැගෙන ලක් දිවට යන්නැයි තම දුවණියගෙන් ද බෑණාගෙන් ද ඉල්ලා සිටීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් දළදා වහන්සේ ලංකාවට වැඩම කළ ආකාරයත් දාඨාවංසයේ සඳහන්ව ඇත. 

දළදා වහන්සේ පිළිබඳ මේ විස්තරය අපට පළමුවෙන්ම දැක ගත හැකි වන්නේ දාඨා වංසයෙනි. දාඨාවංසය අනෙක් බොහෝ වංසකථා මෙන් කාව්‍යයකි. ඉතිහාස ග‍්‍රන්ථයක් නොවේ. එහෙත් වංස කථා අනෙක් කාව්‍යයනට වඩා විශේෂ වන්නේ සෙසු බොහෝ කාව්‍ය කල්පිත වස්තු බීජයක් මත රචනා වන අතර වංශ කථා කිසියම් ඓතිහාසික ප‍්‍රවෘත්තියක් පදනම් කොට ගෙන රචනා වීම යි.


පාලි දාඨාවංසය රචනා වීමට පෙර සිංහල භාෂාවෙන් සම්පාදිත සිංහල දළදා වංශයෙක් පැවති බව පෙනේ. සිංහල දේශයෙහි කවීන් විසින් සියදෙස් බසින්කළ වූ බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ පිළිබඳ වංශ කථාව අන්‍යද්වීප වාසීන්ගේ ද ප‍්‍රයෝජනය පිණිස මාගධික භාෂාවෙන් කරන්නෙමි යයි දාඨාවංස ග‍්‍රන්ථාරම්භයේ දීම දක්වා තිබීමෙන් ඒ බව තහවුරු වේ. කෙසේ වතුදු පෙර රචනා වී තිබීය යයි සැලකෙන මෙම සිංහල දළදා වංශය දැන් අවිද්‍යාමානය. මෙම කෘතිය දළදා වහන්සේ ලංකාවට වැඩමවා තෙවර්ෂ දෙක තුනක් ඇතුළත රචනා වන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

දළදා ඉතිහාසය හා සංස්කෘතිය හැදෑරීමට උපකාරී වන තවත් වැදගත් ග‍්‍රන්ථයක් නම් දළදා සිරිතයි. දළදා පුවත මාතෘකා කොට සිංහල මාධ්‍යයෙන් රචනා වී ඇති ඉපැරණිම පොත ඇතුගල්පුර යුගයෙහි දී රචනා වී ඇති දළදා සිරිත ය. ඇතුගල්පුර යුගයෙහි විසූ හතරවන පරාක‍්‍රමබාහු රජු දවස දෙව්රද දම් පසහිතාවන්මේ කෘතිය සම්පාදනය කොට ඇත. මේ ග‍්‍රන්ථයට දළදා කථා පුවත අන්තර්ගතව පැවති පැරණි ග‍්‍රන්ථයක් හෝ ග‍්‍රන්ථ රාශියක් ආශ‍්‍රය වූ බව ග‍්‍රන්ථාරම්භයේ දක්වා ඇත. එනිසා මේ ග‍්‍රන්ථයේ දැක් වෙන්නේ කතුවරයාගේ හෝ ඇතුගල් පුර යුගයට ගැනෙන හෝ කථා ප‍්‍රවෘත්තියක් නොවේ. පූර්වාචාරීන් විසින් දක්වන ලද තොරතුරුය. 

මේ ග‍්‍රන්ථය සම්පාදනයට මූලාශ‍්‍රය වී ඇත්තේ පාළි දාඨාවංශය යි. දළදා සිරිතෙහි පළමු පරිච්ඡේද පහ දාඨාවංසයේ සඳහන් කථා පුවත ඒ ආකාරයෙන්ම දක්වා ඇත. එය දාඨාවංසයේ පරිවර්තනයක් සේ සැලකීම නිවැරදි ය. දාඨාවංසයේ නො එන ප‍්‍රවෘත්තියක් මුල් පරිච්ඡේද පහේ සංග‍්‍රහ වී ඇත. දළදා සිරිතෙහි අවසාන පරිච්ඡේද දෙක ද අන් බසකින් වූ කිසියම් ග‍්‍රන්ථයකින් හෝ ග‍්‍රන්ථ කීපයකින් සකස් කරන ලද බව සිතාගත හැකිය. සතරවන පැරකුම්බා රජු දවස දක්වා එන එම විස්තරය මහා වංසයෙන් උපුටා ගන්නට ඇතැයි අනුමාන කළ හැකිය. මහා වංසයේ පරිච්ඡේද පනස් තුනක එන දළදා තොරතුරු දළදා සිරිත් කතුවරයා පරිච්ඡේද දෙකකින් සංක්‍ෂිප්තව දක්වා තිබේ.

කුඹුරුගමුවේ වජිර හිමි