Tuesday, August 17, 2010

පිරිතේ ආරම්භය හා විකාශනය

වර්තමාන පිරිත් ක්‍රමයේ ආදිතම අවස්ථා පිළිබඳ විමර්ශනය කරන විට එහි මූලාරම්භය ප්‍රාග් බෞද්ධ යුගය දක්වා සම්බන්ධ වන බව පෙනේ. “පරිත්ත “ යන වචනය ප්‍රාග් බෞද්ධ යුගයේ භාවිතා වූ ක්‍රම අතර දක්නට ලැබේ. විශේෂයෙන් ම ජාතක කථා ආශි‍්‍රතව ආරක්ෂාව සඳහා නොයෙක් මන්ත්‍ර ආදිය භාවිත වූ බවක් හා බහුලව ම ඒවා පිරිත් අර්ථයෙන් ක්‍රියාත්මක වන්නට ඇතැයි ද අනුමාන කළ හැකිය. සාමාන්‍යයෙන් පිරිත සඳහා උපයෝගි කර ගනු ලබන පිරිත් නූල්වැනි දේ ජාතක කථාවල දී ආරක්ෂාව සඳහා යොදා ගෙන ඇති බවක් පෙනී යයි.
එමෙන්ම සමහර පිරිත් සූත්‍ර වලට අයත් වන කොටස් වල ප්‍රාග් බෞද්ධ යම් යම් ඇදහිලි වල ඡායාවන් දැකගත හැකිවේ. එසේ වුවත් එහි එක එල්ලේම ඉදිරිපත් කළ නොහැකි අදහසකි. කෙසේ වෙතත් මෝර ජාතකය ආශ්‍රයෙන් පිරිත් පොතට ඇතුළත් වී ඇති මෝර පිරිතෙහි මුල් කොටසේ අන්තර්ගත වන්නේ සුර්ය වන්දනාවයි. මේ පිළිබඳව අටුවා මතය වන්නේ එය බ්‍රහ්ම වන්දනාව බවයි. එම පිරිතේ දෙවන කොටසට බුද්ධ වන්දනාව ඇතුළත් වන අතර, අටුවාව එය විග්‍රහ කරන්නේ “පරිත්ත” යනුවෙනි. ඒ අනුව එම වන්දනා ක්‍රමය තුළින් ආරක්ෂාව ලබා ගැනීම සඳහා උපයෝගී කර ගත් විධික්‍රමයක් දක්නට ලැබෙන බව උපකල්පනය කළ හැකිය.
පූජා චාරිත්‍රවලින් යුත් පරිත්‍රාණ දේශනාවක් මුල් වරට දක්නට ලැබෙන්නේ විශාලා මහ නුවර තුන් බිය දුරු කිරීම සඳහා බුදුන් වහන්සේ රතන සූත්‍රය දේශනා කළ අවස්ථාවේ දී ය. ඒ දේශනා අවස්ථාවල දී බලිකර්ම සඳහා යොදා ගන්නා උපචාර විධි යොදා ගැනීමට උපදෙස් දී තිබේ. එයින් බලි කර්මයකට සමාන සේ මෙය ආරම්භ කර තිබූ බව පෙනේ. ඒ නිසා එහි දී පිරිත් දේශනාව අංග සම්පූර්ණ පූජා චාරිත්‍ර විධියක් බවට පත්ව ඇති බව හා බුදුන් වහන්සේ ලවාම එය අනුමත කරවාගෙන ඇති බවත් නිගමනය කළ හැකිය.

ලක්දිව පිරිතේ ආරම්භය හා විකාශනය

ලක්දිව පිරිත පිළිබඳව විජය පුරාවෘත්තයේ යම් සඳහනක් මුල් වරට දක්නට ලැබේ. බුදුන් වහන්සේ දුන් උපදෙස් මත ශක්‍රයා විසින් මෙහෙයවන ලද උපුල්වන් දෙවිඳු පැවිදි වෙස් ගෙන ලංකාවට විජය ඇතුළු පිරිස පිටත් වන්නට සූදානම් වූ අවස්ථාවේ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පිරිත් පැන් ඉස පිරිත් නූල් බැඳ එන්නට ඉඩ සැලසු බවට වංසකථා සාක්ෂි දරයි. මේ පුරාවෘත්තයෙන් කරුණු රාශියක් පිළිබඳව යම් වැටහීමක් ලබා ගත හැක. ඉන් වැදගත්ම කාරණාව නම් ලංකාවට පැමිණි ආර්යයන් බෞද්ධයන් බව දැක්වීම ය. අනිත් කරුණ නම් ලංකාවේ ආර්ය ජනාවාස පිහිටුවීමට පෙර සිටම ඉන්දියාවේ දී ම ආර්යයන් පිරිත් භාවිත කර ඇති බවයි. එසේම සිංහල වර්ගයාගේ ආරම්භයේ සිටම සෙත් පිරිත් භාවිතය දැන සිටි බවද සනාථ කර ගත හැකිවේ.
මුල් කාලීන අවස්ථා පිළිබඳ මහාවංසය ආශි‍්‍රතව කරුණු පරීක්ෂා කර බලන විට සුලබව පිරිත් දේශනා කිරීමක් ගැන සාක්ෂි සොයා ගැනීම අපහසුය. දුටුගැමුණු අවධිය වන විට ලාංකීය බෞද්ධ ජනතාව පරිත්‍රාණ පූජා යම් තරමකින් තම ජීවන රටාවේ සුබ සිද්ධිය සඳහා දායක කරගත් බවක් දක්නට ලැබේ. ඒ යුගයේ දී මේ සඳහා භාවිතා කර ඇත්තේ “ධම්ම සජ්ක්‍ධායනා “ යන පදයයි.රුවන්වැලි සෑයේ ධාතු නිධානෝත්සවය නිමිති කරගෙන දුටුගැමුණු රජතුමා මෙම ධම්ම සජ්ඣායනාවක් සිදු කර ඇත.
මෙයින් පෙනී යන්නේ පැරණි කල මෙය ජනපි‍්‍රය නොවු බවකි. එසේ නැතිනම් මෙම වචනය ජනපි‍්‍රය නොවී තිබුණු බවයි. කෙසේ වුව ද මේ පිළිබඳව නිශ්චිත නිගමනයක් දීම අසීරු වුව ද මහා විහාරික හෝ අභයගිරි, ජේතවන දෙනිකාය අතින් හෝ පිරිත ජනපි‍්‍රය වූවායයි අනුමාන කළ හැකිය. බුද්ධ ඝෝෂ හිමියන්ගේ අටුවා තුළින් හා බුද්ධදත්ත හිමිගේ කෘති වලින් ඒ සඳහා යම් සාධකයක් ලබා ගත හැකිය.
ලාංකික පිරිත පිළිබඳව ප්‍රබල සාධකයක් දක්නට ලැබෙන්නේ 1 වන උපතිස්ස (ක්‍රි.ව. 362 - 409 ) රජුගේ කාල වකවානුවේදීය. ඒ කාලයේ ඇති වූ දුර්භික්ෂ හා රෝග බියක් සංසිඳුවා ගැනීම සඳහා රතන සූත්‍රය දේශනා කර ඇත. උත්කර්ෂවත් ලෙස පැවැත් වූ එම උත්සවය විශාලා මහනුවර පිරිත් දේශනයට සමානව පවත්වා ඇත.
මාර්ගය දෙපස සරසා බුද්ධ ප්‍රතිමාවක් තනා ඒ පිළිමයේ දෙඅත් මත ගලින් කළ පාත්‍රයක් තබා භික්ෂූන් පිරිවර කොට වීථී සංචාරය කරමින් මුළු නගරය පුරාම පිරිත් පැන් ඉස ඇත. එයින් මොහොතකට පසුව වර්ෂාව ලැබුණු බව මහාවංසය සඳහන් කරයි. මහාවංසයේ ගංගා රෝහණ වර්ණනාව ලෙස දැක්වෙන්නේ මෙම රතන සූත්‍ර දේශනාව බව වල්පොළ රාහුල හිමියන්ගේ අදහසයි. එසේම පිරිත් කීමෙන් ආරක්ෂාව සිදුවෙතැයි යන විශ්වාසය ඇතැම් විට උපතිස්ස රජුගේ දවසටත් වඩා පැරණි වන්නට හැකි බව ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතා ප්‍රකාශ කරයි. නමුත් උපචාර සහිත පිරිත් දේශනයක් ගැන ඓතිහාසික පුරාවෘත්තයේ සඳහන් වන්නේ 1 වැනි උපතිස්ස යුගයේ නිසා එය වැදගත් සාක්ෂියක් සේ සනිටුහන් කළ හැකිය. පසු කාලීන තිස් පැයේ පිරිත් වලට මෙහි ආභාෂය බොහෝ සෙයින්ම ලැබෙන්නට ඇතැයි නිශ්චය කළ හැකිය.
අනතුරුව පිරිත් උත්සවයක් ගැන සඳහන් වන්නේ iv වැනි අග්බෝ (ක්‍රි.ව. 638 - 674) රජුගේ කාලයේ දීය. නමුත් නිශ්චිත හේතුවක් හෝ විස්තරයක් ඒ පිළිබඳව සඳහන් නොවේ.
1 වැනි උපතිස්ස සමයට සමාන අයුරින් ii වැනි සේන (ක්‍රි.ව. 851 - 885) රාජ්‍ය කාලයේ පිරිත් උත්සවයක් පවත්වා ඇති බව මහාවංසයේ දැක්වෙයි. මෙම උත්සවය ද දුර්භික්ෂ සමය නැති කර රටට සෞභාග්‍යය උදාකර ලීම පිණිස සිදු කර ඇති බව සඳහන් වේ. මෙහි දී බුද්ධ ප්‍රතිමාව වෙනුවට අනඳ හිමියන්ගේ ප්‍රතිමාවක් උපයෝගී කරගෙන තිබේ. මේ සඳහා අනඳ ප්‍රතිමාව යොදා ගැනීම ඉතා උචිත ක්‍රියාවක් බව වල්පොළ රාහුල හිමියන්ගේ අදහසයි.
ඒ විශාලා මහනුවර පිරිත්දේශනා කර අවසන, බුද්ධ පාත්‍රයෙන් පැන් ඉසිමින් වීථී සංචාරය කළේ ආනන්ද හිමියන් බැවිනි.එසේම මෙම රාජ්‍ය සමයේ දීම රතන සූත්‍රය රන්පත් වල ලියූ බව ඓතිහාසික සාධක වලින් තහවුරු වෙයි. තුන් නිකායේම භික්ෂූන් වහන්සේලා සහභාගි කරවාගෙන සිදු කළ පිරිත් උත්සවයක් v වැනි කාශ්‍යප රජුගේ (ක්‍රි.ව.913 -923 ) රාජ්‍ය කාලය තුළ දක්නට ලැබේ.මේ තුළින් රෝ, බිය, දුක් පලවා හැරිය බවත් සඳහන් නමුදු මෙම පිරිත් උත්සවය කෙබදු අයුරින් පැවැත්වුවා ද යන්නට පැහැදිලි සාක්ෂි සෙවීම දුෂ්කර ය.
පිරිත් පිළිබඳ තවත් සඳහනක් vi වැනි මිහිදු රජුගේ මිහින්තලා සෙල් ලිපියෙහි දක්නට ලැබේ. මෙහි සඳහන් වන කරුණු අනුව එකල සිල්වත් භික්ෂූන් නිරන්තරයෙන් ම තම පරිහරණයට ගත යුතු පිරිත් කිහිපයක් භාවිතයේ තිබූ බව පෙනේ. ඒ අතරින් කරණීය මෙත්ත සූත්‍රයට සුවිශේෂත්වයක් හිමි ව ඇත. මේ කරුණු වලින් සනාථ වන්නේ් මේ කාලය වන විට පිරිත බොහෝ සමීප දහමක්ව තිබූ බවයි .
විශේෂයෙන්ම පොළොන්නරු යුගය වන විට ඉතා දියුණු චාරිත්‍ර විධි වලින් සුසංහිත පරිත්‍රාණ දේශනා දක්නට ලැබෙන බව වංශ කතා සාහිත්‍යය තුළින් තහවුරු වෙයි. මේ මතය වල්පොළ රාහුල හිමියන්ද සනාථ කරනු ලබයි. මහා පරාක්‍රමබාහු යුගයේ දී පිරිත් සජ්ඣායනා කිරීම සඳහා “පඤ්චසත්තක මන්දිර “ යනුවෙන් වෙන ම මණ්ඩපයක් තනා එහි දී පිරිත් පැන් හා පිරිත් නූල් බෙදා දී ඇත. නිශ්ශංක මල්ල රජුගේ “ නිශ්ශංකලතා මණ්ඩපය “ ද එසේ උපයෝගි කර ගනු ලැබූ මණ්ඩපයකි. පොළොන්නරු කතිකාවතේ සඳහන් කරුණු අනුව පැහැදිලි වන්නේ මහජනයා නිතර නිතර පිරිත් දේශනා කරවාගෙන ඇති බවයි. පිරිත වඩාත් ම ජනපි‍්‍රය දේශනා ක්‍රමයක් බවට දඹදෙණි යුගයේ පත්ව ඇති බව දඹදෙණි කතිකාවත් වල සඳහන් තොරතුරු වලින් සනාථ වේ. ඒ සාධක අනුව සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනා ක්‍රමය ඇරඹියේ මේ යුගයේ දි යැයි නිශ්චය කිරීමට පුළුවන.
කුරුණෑගල යුගයට අයත් දළදා සිරිතේ පිරිත් පිළිබඳ විශේෂ සටහනක් දක්නට ලැබේ. එනම් අභිනව රාජ්‍ය පාලකයකු රජ මාලිගයේ වාසය කිරීමට පැමිණෙන විට මහා සංඝ රත්නය ලවා පිරිත් කරවාගෙන පැන් ඉස්සවා ආරක්ෂාව ලබා ගත් බවයි. ඒ අනුව කුරුණෑගල යුගය වන විට රාජ්‍ය පාලකයින් තම විශේෂ අවස්ථා වලදි පිරිත් දේශනා කරවාගෙන සෙත් ප්‍රාර්ථනා කර ගත් බව පෙනී යයි. ඒ අනුව මේ යුගය වන විට පිරිත බොහෝ දුරට ජනපි‍්‍රය පූජා චාරිත්‍රයක් බවට පත්ව ඇති බව නිගමනය කළ හැකි වන්නේ විශේෂයෙන් ම දළදා චාරිත්‍ර වලදි පවා එය ආධාර කර ගැනීමට කටයුතු කර ඇති හෙයිනි.
කෝට්ටේ පැරකුම්බා සමයේ පැපිලියානේ සෙල්ලිපියේ පිරිත් උත්සවයන් ගැන සඳහන් වී තිබේ. එසේම උපුල්වන් විභීෂණ ආදි දෙවිවරුන්ට පූජා පවත්වන දේවාල වල භික්ෂූන් වහන්සේලා දිනපතා සවස දේවාලයට ගොස් රජ මාලිගාවේ දී රජුට පිරිත් කී පරිද්දෙන් පිරිත් කියා ඒ දෙවිවරු දිව්‍යානුභාවයෙන් වැජඹෙත්වා යි ප්‍රාර්ථනය කර ඇත.
රතන සූත්‍රය පිරිවහන කිරීමෙන් මේ කවර දෙවියෙකු ලවා හෝ තම අදහස ඉටු කරවා ගත හැකි බලයක් නායක තෙරවරුන්ට ඇතැයි යන විශ්වාසයක් එකල ලාංකික බෞද්ධ ජනතාව අතර තිබී ඇත. ඒ අනුව මේ කාලය වන විට පිරිත් චාරිත්‍ර හා දේව සංකල්ප අතර යම් කිසි සබැඳියාවක් තිබූ බව උපකල්පනය කළ හැකි ය.
පිරිතේ විකාශනය පිළිබඳව සලකා බලන විට එහි වඩාත් වෙනසක් දක්නට ලැබෙන්නේ මහනුවර යුගයේ දීය. විශේෂයෙන් ම මහායානික අදහස් හා දෙවියන් පිළිබඳ සංකල්ප ප්‍රබල ලෙස පිරිත් චාරිත්‍ර සමඟ බද්ධ වූ ආකාරයක් මෙකල දක්නට පු‍්‍රළුවන. මහනුවර යුගයේ දෙසු පිරිත් ද හින්දු ශාන්ති කර්ම ආදියට බෙහෙවින් සමාන විය. බලි තොවිල් වලදී ගන්නා බුලත්, නා දලු, කුස තණ, ආදි ද්‍රව්‍යයන් පිරිතක දී භාවිතයට ගන්නා ලදි. දෙවියන් යැදීම ද ශබ්ද පූජා පැවැත්වීම ද පිරිත සඳහා අත්‍යවශ්‍ය සාධක සේ සැලකිණි.
වර්තමාන ලාංකික බෞද්ධ සමාජය තුළ පිරිතේ ක්‍රියාත්මක ස්වරූපය විමර්ශනය කර විට බොහෝ සෙයින්ම සෙත්පිරිත් ක්‍රමය ජනපි‍්‍රය ක්‍රමයක් සේ ජනතාවට සමීප වී තිබේ. ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ සෑම සුබ කටයුත්තකදී මෙන් ම විපත් අවස්ථා වල දී ද ඒ පිහිටාධාරය පැතීම දක්නට ලැබේ. ඊට අමතරව තිස්පැයේ පිරිත් ක්‍රමය ද ජනපි‍්‍රය ව ඇත. සති පිරිත වැනි දීර්ඝ කාලයක් හා විශාල මුදලක් වැයවන පරිත්‍රාණ පූජා විහාරස්ථානය ආශි‍්‍රතව සිදු කරයි. 

ශාස්ත්‍රපති
උඩුබද්දාවේ අස්සජි හිමි

මහාචාර්ය නාබිරිත්තන්කඩවර ඤාණරතන හිමි - සමග පිළිසදරක්

කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන 
මහාචාර්ය නාබිරිත්තන්කඩවර ඤාණරතන හිමි -  සමග පිළිසදරක්

හාමුදුරුවනේ ලොව පුරා බෞද්ධයන් සම්බුදු තෙමඟුල ඉතා උත්කර්ෂයෙන් සමරනවා. මෙසේ වෙසක් උත්සවය සැමරීම සම්බන්ධ දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා නේද ?
ඔව්. බුද්ධෝත්පත්තියටත් කලින් පෝය දිනය උපෝසථ දිනයක් විදියටයි සැලකුණේ. බුදුන් වහන්සේගේ පහළවීම සමග විවිධ පෝය වලට අලුත් අර්ථ කථන ලැබුණා. එය සමාජ ගතවීමක් විදියට වෙසක් පෝය පදනම් කරගෙන බුද්ධ වර්ෂ ක්‍රමයකුත් ඇතිවෙලා තියෙනවා. කොහොම වුණත් සමාජයේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම ශිෂ්ට සම්පන්න මනුෂ්‍යයන් විදියට ප්‍රතිපත්ති ගරුක ලෙස ලෞකිකත්වයෙන් බැහැර වු දිනයක් තමයි පෝය දිනය. ත්‍රිපිටකයේ විවිධ ධර්ම දේශනා සිදු කළ ස්ථාන ගැන සඳහන් වුණාට ඒ දේශනා සිදු කළ දින පිළිබඳව සඳහනක් නෑ. ඒත් පසළොස්වක පෝය දිනවල කළ ධර්ම දේශනා පිළිබඳව විශේෂයෙන් සඳහන් වෙනවා. 
ඒ කියන්නේ පෝයට යම් වැදගත්කමක් ලැබිලා තිබුණා කියල අනුමාන කරන්න පුළුවන්. බුද්ධ කාලයේත් විශාඛාව ආදීන් පිරිවර සමග පසළොස්වක පෝය දිනවලට විහාරාරාමවලට ගොස් මල් පහන් පූජා පැවැත්වූ බව සඳහන් වෙනවා.
එහෙත් වෙසක් පෝයට වැදගත්කමක් ලැබුණේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව යි. ඒ වගේ ම වෙසක් දිනය ශ්‍රී ලාංකිකයන්ට වැදගත් වෙන්නේ මහින්දාගමනයෙන් පසුව යි. ඒ කාලයේ රට පාලනය කළ දේවානම්පියතිස්ස රජතුමා පාලකයෙකු ලෙස සිටියත් අභිෂේක ලැබුවේත් වෙසක් පෝය දිනයකයි.
ඒ වගේම අපේ ජාතියේ ආරම්භය සිදු වුයේත් වෙසක් පුර පසළොස්වක පෝය දිනයක කියලයි සිංහලයන් විශ්වාස කරන්නේ. මහා වංශයේ සඳහන් වන විදියට විජය කුමරු ලංකාවට පැමිණියේත් බුද්ධ පරිනිර්වාණය සිදු වූයේත් එක දිනකයි. මේ වාගේම දුටුගැමුණු රජතුමා වසර විසි හතරක් රාජ්‍ය කාලය පුරාම වෙසක් උත්සවය උත්සව ශ්‍රීයෙන් පැවැත්වූ බවත් භාතිකාභය වසභ වැනි රජවරුන් වෙසක් උත්සවය සෑම වසරකම පැවැත්වූ බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. රුවන්වැලි මහ සෑයේ මංගල ප්‍රතිෂ්ඨාපනය සිදු කළේත් වෙසක් දිනයක යි. මේ ආකාරයට වෙසක් උත්සවය ආගමික මෙන්ම සමාජීය වටිනාකමකින් යුතු උත්සවයක් බවට පත් වෙලා තියනවා.
ඒ වගේම වෙසක් උත්සව සැමරුමේ ස්වරූපයත් යුගයෙන් යුගයට විකාශනය වී ඇවිත් තියෙනවා නේද ?
ඔව්. දැන් බලන්න 9 වැනි සියවසේ සිටි රජවරු සම්මත කරල තිබුණා. මස්, මාළු, මත්පැන් ආදිය නගරයට ගෙන ඒම තහනම් කියලා. වර්තමානයේත් මේ දේවල් තියනවා. මේවා අපේ ඉතිහාසයේ තිබු සම්ප්‍රදායන්.
දන්සැල් සම්ප්‍රදාය ගත්තත් වෝහාරික තිස්ස, ජෙට්ඨතිස්ස, ගෝඨාභය වැනි රජවරුන්ගේ කාල වල වෙසක් පොහෝ දිනයට භික්ෂූන්ට දන්පැන් පිරිනැමු ආකාර විස්තර වෙනවා. ඒ වගේම ධ්ධ් වැනි මුගලන්, ධ්ධ් වැනි සේන වැනි රජවරුන් දුප්පතුන්ට ආහාරපාන බෙදා දී තිබෙන්නේත් මේ පොහොය චාරිත්‍රයක් ලෙස. ඒ වගේම පාහියන් දේශාඨන වාර්තාවලින් හෙළි වෙනවා අනුරාධපුර යුගයේ වෙසක් සැමරීමක් ලෙස මග දෙපස සිතුවම් වලින් අලංකාර කර තිබූ බව. පුරාණයේ සිට වෙසක් සැමරීමේ දී මූලිකත්වය ලැබුණේ ප්‍රතිපත්ති පූජාවට යි. වෙසක් උත්සවය සැණකෙළියක් බවට පත් වෙන්නේ පොළොන්නරු යුගයේ දීයි. ඒකට හින්දු බලපෑම ලැබෙන්න ඇති.පසු කාලීනව වෙසක් සැණකෙළි බැලීමට බොහෝ පිරිස් නගරවල වීදි සංචාරය කළ ආකාරයක් දැක ගන්න ලැබෙනවා. මට මතකයි අපි පුංචි කාලයේ අවුරුද්දටත් වඩා බලා සිටියේ වෙසක් එන කල්.ඒ මොකද වෙසක් උත්සවයේ තිබුණා විචිත්‍රවත් බවක්. අපි ගමේ නිදහසේ ඇවිදලා දන්සැල් භුක්ති විඳලා තොරණ, පහන්කූඩු බලලා මහත් විනෝදයක් ලැබුවා. හැබැයි වෙන පෝය වලට සිල් සමාදන් නොවුණත් වෙසක් පෝය දිනයට නම් හැමෝම වගේ සිල් සමාදන් වුණා.
කාලයක් ගත වෙද්දී වෙසක් දිනය රාජ්‍ය නිවාඩු දිනයක් බවට නිල වශයෙන් පත් වුණා. දැන් එය ශ්‍රී ලාංකිකයන්ගේ මැදිහත්වීම මත අන්තර්ජාතික නිවාඩු දිනයක් වී තිබෙනවා.කොහොම වුණත් අතීතයේ සිට වෙසක් දිනය නොනිල වශයෙන් නිවාඩු දිනයක් වෙලයි තිබුණේ.තුන්වැනි උදය රජු පිහිට වූ බදුලු සෙල්ලිපිය සඳහන් කරන විදියට පෝය දිනට වෙළඳාම් කරන අයට දඬුවමක් ලෙස මහියන්ගන විහාරයට තෙල් බද්දක් ගෙවීමට සිදු වුණා.ඒ කියන්නේ ඒ දිනයට නිවාඩු ගෙන ලෞකිකත්වයෙන් බැහැරවී සිටිය යුතු බවට තිබූ සම්ප්‍රදායයි.
මිනිසුන් ආමිස හා ප්‍රතිපත්ති කියන පූජාද්වයෙන්ම වෙසක් සැමරූ බවට පැහැදිලියි. මේ වෙසක් සැමරීම සමඟ බුදු දහමේ ගැඹුරු දර්ශනය සම්බන්ධ වුණේ කෙසේද ?
බුද්ධ ධර්මය පදනම් කරගෙනයි බෞද්ධ සංස්කෘතිය හා දර්ශනය ගොඩනැගෙන්නේ. දර්ශනය කියන්නේ මනුෂ්‍ය ජීවන පැවැත්ම වඩාත් අර්ථවත් කර ගැනීමට ඉදිරිපත් කළ දැක්මයි. පටිච්චසමුප්පාදය, චතුරාර්ය සත්‍ය, ආදිය අපි දර්ශනය ලෙස හඳුන්වනවා.මේ දාර්ශනික කාරණා මිනිසුන්ට ගෙනියන්න ඉවහල් වුණේ බෞද්ධ සංස්කෘතියයි. වෙසක් උත්සවයට වැඩි පුර සම්බන්ධ වෙලා තියෙන්නේ බෞද්ධ දර්ශනයට වඩා බෞද්ධ සංස්කෘතියයි.අපි මුලින් කතා කළ බොහෝ දේ අයත් වෙන්නේ සංස්කෘතිකාංගවලට යි. තොරණ, පහන් කුඩු, පෙරහර ආදී මේ සියල්ල නියෝජනය කරන්නේ බෞද්ධ සංස්කෘතියයි. බෞද්ධ සංස්කෘතිකාංග කල එළි බහින්නේ වෙසක් පොහෝ දිනයට යි.ඇතැම් කෙනෙක්ට වෙසක් සැරසිලිවලට යම් යම් දාර්ශනික අර්ථ නිරූපණ දෙන්න පුළුවන්. චෛත්‍යයෙන් ත්‍රිශික්ෂණ පිළිබිඹු වෙනවා වගේ අට පට්ටමෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබිඹු වෙනවා කියන්න පුළුවන්.ඒත් මේවා බෞද්ධයාගේ ශ්‍රද්ධාවත් නිර්මාණාත්මක හැකියාවත් පෙන්නුම් කරන අවස්ථා විදියටයි මම දකින්නේ. මේවා බෞද්ධ සංකේත විය යුතුත් නෑ. බෞද්ධ සංකේත ලෙස භාරගත යුතුත් නෑ.පහන්කූඩු දැන් ගත්තාම අට පට්ටම් නෙළුම් මල් විතරක් නෙවෙයි, ප්ලේන්, වල්ගතරු ආදියත් තියනවා. ඒ නිසා මේ දේවලින් දාර්ශනික අගයක් බලාපොරොත්තු වෙන්න බැහැ.දානය හා සීලය බෞද්ධ දර්ශනයේ මූලිකාංගය වුණත් එහි ගැඹුර තිබෙන්නේ භාවනාව තුළයි. ඒ නිසා වෙසක් උත්සවය හා සම්බන්ධයෙන් වැඩි නැඹුරුවක් දකින්න ලැබෙන්නේ බෞද්ධ සංස්කෘතියටයි.
වර්තමානයේ වෙසක් සැමරීම පැතිකඩ කීපයකින් සිදු වෙනවා නේද ?
වර්තමානයේත් අර කියපු අංග නැතුවා නෙවෙයි. ඒත් අද ඇතැම් දේවල් සීමාව ඉක්මවා ගිහින් තියනවා. ඒකට හොඳම උදාහරණය තමයි වෙසක් කාඩ් පත.ඇතැම් වෙසක් කාඩ් පත් හුවා දක්වන්නේ බුද්ධාලම්භන ප්‍රීතිය හෝ නිරාමිසය නොවෙයි ආදරය රාගය වැනි දේවල්. ඒ ඒවාට හොඳ වෙළෙඳ පොළක් ලබා ගන්නයි. ආර්ථිකය මුල් කරගෙන වෙසක් සමරණ එක හොඳ දෙයක් නෙවෙයි. ඒකෙන් මූලික අරමුණු යටපත් වෙනවා.තොරණක් වුණත් ජාතක කතාවක් හෝ වෙනත් බෞද්ධ සාහිත්‍යයේ වැදගත් කතාපුවතක් හරහා සමාජයට පණිවිඩයක් ලබාදීමට නිර්මාණය වුණත් නව තාක්ෂණය අනිසි ලෙස භාවිතා කිරීම හරහා එහි සරලබව හා චාම් බව නැතිවී තිබෙනවා. ඒ වගේම සිත් නිවාලන ජවනිකා වෙනුවට හැඟීම් අවුස්සන ජවනිකා එකතු වෙලා තියනවා.
සතර දිගින් එන ඕනෑම කෙනෙක්ට කුසගින්න නිවා ගන්න නොමිලයේ ආහාර වේලක් දෙන්නයි දන්සැල් පවත්වන්නේ. දැන් ඇතැම් පිරිස් වෙසක් ආසන්න වන විට සංවිධානාත්මකව දන්සැල් සඳහා ආධාර එකතු කරනවා.ඒ ඕනෑම කෙනෙක්ගේ කුසගිනි නිවීම සඳහා නොවෙයි. ඒ අයගේත් ඒ අයගේ පවුල්වල අයගේත් කුසගිනි නිවීමටයි. මෙවැනි දේවලින් අපේ සාරධර්ම විනාශ වෙනවා. අපි මේ උත්සව හා පුජා පැවැත්විය යුත්තේ කාටවත් කරදරයක් හිරිහැරයක් නොවෙන විදියටයි.ස්වභාවිකත්වයටවත් හානියක් නොකරන්න කියා දේශනා කළ උතුමන්ගේ තෙමඟුල සිහි කිරීමේදී අන් අයට හානියක් සිදු කරන්නේ් කොහොමද ? තොරණ නිර්මාණයේදී විශාල වශයෙන් පුවක් ගස් වලට හානි සිදු වෙනවා නම් ඊට විකල්පයක් සෙවිය යුතුයි. නැතුව මේවා අධෛර්යමත් වී නවතා දැමීම නොවෙයි කළ යුතු වෙන්නේ.
අපි අපේ අනන්‍යතාව තබාගෙන වෙසක් උත්සවය සැමරීම සඳහා ඔබ වහන්සේ දේශනා කරන්නේ මොන විදියේ ක්‍රමයක් ද ?
මේ කිසිවක් නීති මගින් පාලනය කරන්න බැහැ. මේ පිළිබඳ සමාජය දැනුවත් කර නිවැරැදි අවබොධයක් ලබාදී අවංකව වෙසක් සැමරීමට දායක කර ගැනීමටයි උත්සාහ කළ යුතු වෙන්නේ.පසුගිය තිස් වසරක යුද්ධය අපේ ජන ජීවිතයේ අනෙකුත් වැදගත් අවස්ථාවන්ට මෙන්ම වෙසක් උත්සවයටත් බලපෑම් එල්ල කර තිබුණා. මිනිස්සුන්ට නිදැල්ලේ එකතුවෙලා තොරණක් නරඹන්න දන්සැලක් පවත්වන්න අවස්ථාව ලැබුණෙ නෑ.ඒ නිසා විසිතුරු පහන් කූඩු වෙසක් තොරණ ආදිය නිර්මාණය වීම සීමා වුණා. දැන් ඒ සමය නිමාවී තිබෙන නිසා අපට නිදහසේ වෙසක් සමරන්න පුළුවන්.පසුගිය වකවානුවේ අප දුටුවා මිනිසුන් ප්‍රතිපත්ති පූජාවට වැඩි නැඹුරුවක් දක්වන බව. විශාල වශයෙන් මනුෂ්‍ය ඝාතන සිදුවන දුක්ඛදායක පුවත් නිතර අසන දකින යුගයක මිනිසුන්ට ජීවිතය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමේ අස්ථිර බව ගැඹුරින් කල්පනා වුණා.මරණයේ සෙවණැලි නිතර දකින සමාජයක මිනිසා නිතර වෙහෙර විහාර වලට රැස් වුණා. ප්‍රතිපත්තිමය වශයෙන් සිල් සමාදන් වී භාවනා කළා. මෙය ලංකා බෞද්ධ සංස්කෘතියේ සංවර්ධනාත්මක අවදියක් වුණා.
මෙසේ ආමිසයටත් වඩා ප්‍රතිපත්තියට මුලිකත්වය දුන් ජනතාව තවදුරටත් දිරිමත් කරලා වෙසක් දිනට පමණක් නෙවෙයි සියලු පෝය දිනවලටත් පමණක් නොවෙයි මුළු ජීවිත කාලයේ සෑම දිනක්ම ප්‍රතිපත්ති ගරුකව ජීවත්වන සමාජයක් බිහි කරන්න මේ වෙසක් පෝය ආරම්භයක් කර ගනිමු.


කලාවට හා සෞන්දර්යයට බුදු මඟ හිමි වන තැන

බුදු දහම වනාහී සර්ව අශුභවාදී දහමක් බව ඇතැම් නොවියත් විචාරකයන් ගේ මතයයි. චතුරාර්ය සත්‍ය, ත්‍රි ලක්ෂණය, පටිච්ච සමුප්පාද විවරණය ආදී උන්වහන්සේගේ ප්‍රධාන ඉගැන්වීම් වලටද තේමාව වූයේ දුක්ඛ සංකල්පයයි. එමඟින් පුද්ගලයා තව තවත් දුකෙහිම ගිල්වන බවත්, ඔහුව පරාජිත වූ - අකර්මන්‍යත්වයට පත් කරවන බවත් බුදු දහම සර්ව අශුභවාදයකැයි හුවා දක්වන පිරිසගේ අදහසයි.
‘ආනන්ද් කුමාරස්වාමි’ මහතා පවසන පරිදි බුදුරදුන් සෞන්දර්ය අගය කර නොමැති බවට කරුණු පෙන්වීමට උත්සාහ කරයි. ඔහු සිය මතය සහේතුකව සනාථ කරන්නටද යත්න දරයි. එහිදී ඔහු පහත සඳහන් කරුණු ගෙනහැර පා ඇත.
(1) (චුල්ලවග්ග පාලියේ චුද්දක වත්‍ථුව) - බුදුරදුන් විසින් ස්ත්‍රී - පුරුෂ රූප චිත්‍රයට නැගීම තහනම් කැර ඇත.
(2) (දසධම්ම සූත්‍රය) - භික්‍ෂූන්ට නිරතුරුවම “මම දුර්වර්ණ බවට පැමිණියෙමි. පි‍්‍රයමනාප දෙයින් වෙන් වුනෙමි..” ලෙසට මෙනෙහි කරන්නට නියම කර ඇත.
(3)(විසුද්ධි මාර්ගය) - ප්‍රතිමා හා චිත්‍ර ශිල්පීන්ව අගයන්නේ , ඔවුන් විසින් නිර්මාණය කළ දෙයින් මුසපත්ව - මුලාවට පත්වූ අය විසින් බව ද දැක්වේ. මෙකී කරුණු නිසා බුදුරදුන් සෞන්දර්යය රසාස්වාදය ප්‍රතික්ෂේප කළ බව කුමාරස්වාමි මහතා විසින් ප්‍රකාශ කර ඇත.
සත්‍ය වශයෙන්ම බුදු දහම යනු අශුභවාදයක් ද? එසේ නම් බුදු දහමින් සෞන්දර්යය හා කලාකෘති රසවිඳීම බැහැරකර තිබේද? යන්න අපි විචාර පූර්වකව විමසිය යුතු වෙමු. ඒ අනුව සෞන්දර්යය පිළිබඳව විමසීම සුදුසුය. සංස්කෘත “ධ්වන්‍යා ලෝකය” නමැති කෘතියට අනුව සෞන්දර්යය යන්නෙහි වචනාර්ථය වන්නේ :- ඉන්ද්‍රියානු භූතියෙන් යමක් ගැන සොම්නස් සහගත වින්දනයක් - අත්දැකීමක් ලැබීමයි.
පාලි ත්‍රිපිටකය තුළ යෙදෙන “රමණීය - විචිත්‍ර - මධුර - පාසාදික - මනෝම්‍ය ...” වැනි පර්යාය පද වලින්ද ගම්‍ය වන සරලම අරුත නම් සොඳුරු සිත්කලු බවයි.
මෙකී සෞන්දර්යය රසවින්දනය යන්න බෞද්ධ දෘෂ්ටිකෝණයට අනුව කෙසේ ෂවරණය කර තිබේද? මේ පිළිබඳව විමසීමේදී ඉහතින් දක්වාලු ආනන්ද කුමාරස්වාමිගේ මතය සදොස් වූවක් බව පළමුකොටම සනාථ කළ යුතුයි. ඒ අනුව:-
(1) බුදුරදුන් භික්‍ෂූන්ට අකැප බව දක්වාලූයේ ස්ත්‍රී - පුරුෂ සම්භෝගය නිරූපණය කරලන ‘පටිභාන චිත්‍ර’ ඇඳීම පමණි. ජබ්බග්ගිය හිමිවරු සිය විහාරය තුළ මෙම චිත්‍ර සිතුවම් කළ විටකදී, එය භික්‍ෂූත්වයට අකැප බව දැක්වූ බුදුරදුන් , 26 වන පාචිත්‍ය ශික්ෂාව පණවමින් එකී චිත්‍ර ඇඳීමද තහනම් කළහ. එසේම භික්‍ෂූණී ප්‍රාතිමෝක්ෂයෙහි සංගෘහිත 41 වන පාචිත්‍ය ශික්ෂාව මගින්ද පටිභාන චිත්‍ර වලින් සමන්විත විය හැකි රාජාගාර නැරැඹීමට යාමද තහනම් කර ඇත. එපමණක් ද නොව භික්‍ෂූන් විසින් නොපිළිගත යුතු වන ‘මජ්ජ - සාජ්ජ - ඉන්ධී - උසභ - චිත්තකම්ම “ දාන පහ අතුරින් චිත්තකම්ම දාන යනුද පටිභාන චිත්‍රයි. එය “ මෙථුන ධම්ම සමායෝජිතානි ඉත්ථි පුරිස රූපානි...” ලෙසට ‘සාරසංග්‍රහයෙහි’ විග්‍රහව ඇත.
ඒ අනුව නරඹන්නා තුළ කාමුක හැඟීම් උද්දීපනය කරන, සරාගික හැඟුම් උපදවාලන චිත්‍ර ඇඳීම හා නැරැඹීමම පමණක් භික්ෂූන්ට අකැපය. මාලකර්ම - ලතා කර්ම - මකර දන්තාදී චිත්‍ර රසවිඳී මෙහිලා භික්ෂුවට කිසිදු තහනමක් නැත.
2.භික්ෂූන් තුළ තමන් සහ තමාගෙන් පරිබාහිර ලෝකයා ගැන යථාවබෝධයක් ඇති කරලීමත්, භික්ෂූන්ගේ ආකල්පමය වෙනසක් ඇතිකරලීමත් අරභයා බුදුරදුන් අනිත්‍ය - දුක්ඛ සහගතතාවන් ගැන මෙනෙහි කරන්නට ‘දසධම්ම සූත්‍රයේ’ දී අනුදැන වදාළහ.
3.විසුද්ධිමග්ගය රචනාවූයේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර දහසකටත් පසුවය. එහිදී බුද්ධ භාෂිතය තරමක් වෙනස් වී එහි සංගෘහිත වන්නටද ඇත. එසේම ඉන් තහනම් කර ඇත්තේ ද පෙරකී කාමෝද්දීපිත කලා නිර්මාණයන් රසවිඳීම පමණි.
අංගුත්තර නිකායෙහි එන ‘නිබ්බේධික සූතුරෙහි දී ස්වභාව සෞන්දර්යය රසවිඳ , එකී සුන්දරත්වයෙහි ඇලීම හෙවත් ලෞකික සෞන්දර්ය රසාස්වාදය වෙනුවට ඕලාරික නොවූ - නිරාමිස වූ ආධ්‍යාත්මික සෞන්දර්යය රසාස්වාදයම ඇගයේ. මෙම තත්ත්වය ථෙර - ථෙරි ගාථා වලින්ද මනාව තහවුරු වේ. නිදසුන් ලෙස:-
කාලපුට තෙරුන් විසින් සිදුකළ සොබා සෞන්දර්යය වර්ණනය දැක්විය හැක.”...සුනිල ගෙල ඇති - මනා සිළු ඇති - මනා පිල් ඇති විසිතුරු පක්ෂීහු (මොණරු) මේඝ ගර්ජනා හේතුවෙන් උද්දාමයට පැමිණ මධුර රාවයෙන් නාද කරති. එම මිහිරි නාදය ධ්‍යාන වඩන්නාගේ සිත් ඇදගනී.
තවද බුදු පියාණන් වහන්සේ කිඹුල්වතට වැඩමවාගනු පිණිස කාළුදායි තෙරුන් කළ ඇරයුමෙහිද අන්තර්ගත වන්නේ අපූර්වතම වු සෞන්දර්යය වර්ණනාවකි.
“අංගාරිනෝදාති දුමා භදන්තේ
එලේසිනෝ ඡදනං විප්පහාය
තෙ අච්චිමන්තෝව පහාසයන්ති
සමයො මහාවීර - භගීරසානං...”
යනුවෙන් “ඵල බලාපොරොත්තුවෙන් කොළ හැළුණු ගස් ගිනි අඟුරු මෙන් දිසෙයි. ඇතැම් ගස් ගිනි සිළු මෙන් ප්‍රභාෂ්වරය. තවත් ගස්වල මල් පිපී හාත්පසම සුන්දරවී ඇත. “...දැක්වේ. මෙකී වර්ණනාවන් තුළදී සොබා දහමේ වූ අපූරු චමත්කාරය දැක පහන් සංවේගයක් ඇතිකර ගැනීමත්, ශාන්ත රසය නිදහසේ අත්විඳීමත් හැරෙන්නට කාමුක හැඟීම් උපදවාගෙන, තෘෂ්ණා චෛතසික මධ්‍යයේ එකී අපූර්වත්වය රසවිඳීමක් කිසිම විටකවත් සිදුවී නැත.
බෝසතාණන් වහන්සේ විසින් සොබා සෞන්දර්යය ඇගයූ අවස්ථා ගැන විමසා බැලීමේදී ‘අරිය පරියේසන සුතුර” වැදගත් වේ. “තක්‍ෂද්දසං රමණියං භූමිභාගං, පාසාදිකංච වන ඝණ්ඩං නදිංච සංදන්තිඞ සෙතක සපතිත්ථ”..... ලෙසට “.. මේ භූමි භාගය ඉතා රමණීයය වන ලැහැබද ප්‍රසාද ජනකයඞමනා කොටු ඇති සුදුවැලි තලාමැදින් ගලනා නදියද සිත් සනසාලයි...”වර්ණිකය.
එසේම භික්‍ෂූන් වහන්සේලාගේ වාසය පිණිස බුදුරදුන් අනුදැන වදාළ ‘ආරාම’ ද වැදගත්ය.
මේ ධාතුවෙන් නිපන්මෙහි ගැබ්ව ඇති වචනාර්ථය නම් සිත් අලවන, මල් ඵල සහිත ස්ථානය යනුයි.”මනෝරථපූරණි’ අටුවාවට අනුව ‘පුෂ්ප ඵලාදිය නිසාත්, ගොදුරු ගමට ඉතා දුර හෝ ළඟද නොවූ, භික්‍ෂූන්ට විවිධ දෙසින් මෙහි විත් සිත් අලවා විසිය හැකි ස්ථානයම ආරාම යයි” ... ධම්මපදයෙහිදී:-
“රමණීයානි අර ඤ්ඤාණි -
යත්‍ථන රමතී ජනො
විතරාගා රමෙස්සන්ති -
නතෙ කාම ගවේසිනො...” යනුවෙන් වන ගාථා පාඨයද මෙහිලා වටී. ඒ අනුව පුහුදුන් නෙත්සිත් ඇද නොගන්නා රමණීයවූ ආරණ්‍යයන් චීතරාගීහු සුන්දර ලෙස දකිති. මක්නිසාදයත්, ඔවුන් කාම ගවේෂීන් නොවන හෙයිනි. මේ අනුව සොබා සෞන්දර්යය රසවිඳීම බුදුදහමින් ප්‍රතික්‍ෂේප නොවූ බව ගම්‍යමාන වේ.
“නතේ කාමායානි චිත්‍රානි ලෝකෙ -
සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ
තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලෝකෙ -
අෙත්‍ථා ධීරා විනයන්ති ඡන්දං”
යන ගාථාවද වටී. ලොව ඇති විචිත්‍ර - විසිතුරු දෙය කාමය නොවේ. යමකු තුළ එවැනි විචිත්‍ර දෙයක් නිසා සරාගික සංකප්ප පහළවේ නම් එකී සංකප්පයන් කාමයන් වේ. බුදුදහමින් කාමය මිස සෞන්දර්යය විචිත්‍රත්වය කිසිදු විටක බැහැර නොකළ බව අපට වටහාගත හැකිය. තවද කලා කෘතියක් හෝ සොබා සෞන්දර්යයේ චමත්කාරයන් හෝ රසවිඳීමේදී එකී විචිත්‍ර දෙය පිළිබඳව ඇලීම් - බැඳීම් සහිතව ඉඳ, ඒ පිළිබඳව තෘෂ්ණා සම්ප්‍රයුක්තවීමද නොකළ යුතු බව බුදු දහමින් අවධාරණය කර ඇත. එනම් “ආස්සාද - ආදීනව - නිස්සාරණ” යන ක්‍රමවේදයන්ට අනුව කලා නිර්මාණ රසවිඳීම ගිහියාට තබා විමුක්ති මඟට පිළිපන් භික්‍ෂූ සංඝයාට වුවද අකැප දෙයක් නොවේ.
මානව රස වින්දනයට ඉවහල් වන්නාවු නිර්මාණයන් අතරින් ‘කලාව‘ මූලිකය. කලාවෙන් සිදු වන්නේ ආනන්දයෙන් - ප්‍රඥාව කරා යාමකි. නමුත් ඊ.බී. හැවල්” මහතා පවසන පරිදි ‘සංගීතය - චිත්‍ර මූර්ති ආදී වූ කලාවන් වනාහි චතුසත්‍යවබෝධයට හානිකරවූ ලෞකික පාශයන් ය.” නමුත් සත්‍ය එය නොවේ. බෞද්ධ කලාව සතුව සදාචාර දර්ශනයක් ඇත. ඇතැමුන් ‘කලාව - කලාව සඳහා පමණක්” බව පවසති. නමුත් බෞද්ධ කලාවට උපයෝගිතාවක් ඇත. එහි පරමාර්ථය නිර්වාණය සාක්ෂාත් කර ගැනීමයි. පුද්ගලයා නිර්වාණගාමී මඟට යොමු කරමින් විමුක්ති සාධනය සඳහා දිරි දීම බෞද්ධ කලාවේ උපයෝගිතාවයි. බුදු දහම තුළ අන්තර්ගත යථාර්ථ විග්‍රහය - ඤාණ දර්ශනය අතිශයින්ම ගැඹුරුය. චතුරාර්ය සත්‍ය - ත්‍රිලක්ෂණ ධර්මය වැනි ගැඹුරු හර ධර්මයන් පුහුදුන් මනසට එක්වරම ග්‍රහණය කරගත නොහැකිය. ඒ නිසාම ඥානය ලබනු වස් - ප්‍රඥා පරිපාකය සඳහා අනුගමනය කළ යුතු වන මඟ සරලත්වයෙන් ඇරැඹී සංකීර්ණත්වය කරා දිවෙන ආනුපුබ්බී ක්‍රමයට සැකසී ඇත. ඒ අනුව ශ්‍රද්ධාව උවසු සිත්හි උපදවාගෙන, එකී ශ්‍රද්ධාව ආශ්‍රය කර ගනිමින් ශීලය - සමාධිය වඩවාලමින් ප්‍රඥාව ලබාගත යුතුය. මෙම ශ්‍රද්ධාව ඇති කරගැනීමට චෛත්‍ය - බුද්ධ ප්‍රතිමා දී මුර්ති කලා නිර්මාණත්, බුදු සිරිත හා බැඳීගත් විහාරීය බිතු සිතුවම් මහෝපකාරී වේ.
එසේම කුසලාකුසල ක්‍රියාවන්ට අනුරූපව විපාකදීම්ද සහිත බව පැවසෙන “ කම්මස්සකතා සම්මාදිට්ඨිය” යනු අරි මඟෙහි දැක්වෙන සම්මා දිට්ඨියෙහි මූල ප්‍රභේදයකි. මෙකී කමීය හා කර්මානුරූපීව විපාකදීම හා සබැඳුණු ඉගැන්වීම් අනුසාරයෙන් පුද්ගල චර්යාවන් සදාචාර සම්පන්න කරලිය හැකිය. එමගින් යහපත් සමාජ පරිසරයක් නිර්මාණය කළ හැකිය. මෙකී සද්කාර්යෙහිදීද බෞද්ධ කලා නිර්මාණයන්ට හිමි වනුයේ සුවිශේෂී ස්ථානයකි. විහාරීය බිතු සිතුවම්හි චිත්‍රණය කර ඇති දිව්‍ය ලෝක අපාය යම රජු වැනි චිත්‍ර මඟින් පුද්ගල මනසට හා නැණසට සියුම්ව සිහිපත් කරනුයේ සදාචාර ධර්මයන්ගෙන් අනූන වීමේ අගය තහවුරු කරමිනි. මේ අනුව කම්මස්සකතා සම්මාදිට්ඨිය පිළිබඳව බොදුනුවන්ට නිසියාකාර දැනුවත් භාවයක් ඇතිකරලීම සඳහාද බෞද්ධ කලා කෘතින් උපකාරි වේ.
බුදු දහම හා බද්ධ වු කලා සම්ප්‍රදායක් ද මේ වනවිට බිහිව ඇත. ඒ සඳහා මහායාන බුදුදහමේ ආභාසයත්, එසේම බුදු දහමේ සංකල්ප වඩාත් ප්‍රතිඵල දායක ලෙස ජනයා අතරට ගෙනයනු වස් සංකේත බවට පත්කරලීමත්, රාජ - රාජ මහා මාත්‍යයින්ගේ හා වාණිජ ප්‍රජාවගේත් දායකත්වය ලැබීමත් මූලිකවම හේතු විය.
ලාංකේය නුතන සමාජ සංස්ථාව දෙසට යොමු වන්නේ නම් එවිටද හෙළ කලා නිර්මාණබුදු දහමේ ආශිර්වාදය හා ආභාසය ලබමින් විරාජමානව පවතිනු දක්නට ලැබේ. රුවන්වැලි මහ සෑය, අභයගිරිය වැනි මහ සෑ රදුන් සේම, අවුකන බුදු පිළිමය, අනුරපුර සමාධි බුදු පිළිමය වැනි අද්විතීය වූ කලා නිර්මාණයන් අපේ කලා කරුවන්ගේ සියුම් තාක්ෂණ ක්‍රම වේදයත්, අසමසම වූ කලා කෞෂල්‍යත්, නිවුණු සැනසුණු ආධ්‍යාත්මික ශික්ෂණයත් මුළු මහත් ලෝකයාටම මොනවට පෙන්නුම් කරයි. තරගකාරි ජීවන රටාවකට අවතීර්ණව කාර්ය බහුලවූ දිවි ගෙවාලන සමාජයකට ඕලාරිකවු හැඟීම් උද්දීපනය කරමින්, කාමුකත්වය ඉස්මතු කරලන කලා කෘතින් රසවිඳීම සඳහා නොව, ලැබෙන ඉසිඹුවකදී වුව දැක පහන් සංවේග උපදවාලන - සිත් පහන් සුපහන් කරලන - සිතට සැනසුමක් හා නිරාමිස පී‍්‍රතියක් දනවන බුදු පිළිම වහන්සේ නමක්, මහ සෑයක්, වන්දනා කරන්න; එහි වූ ශාන්ත රසය නිසංසලව විඳගන්න. එවිට ඔබටම හැඟී යාවි බුදු දහම දුක හා බැඳුණු අශුභවාදී දහමක් නොව වන්දනීයවූ යථාර්ථවාදී වූ දහමක්ම බව. 

 සුභාෂිණී ධම්මිකා - ගඟුල්දෙණිය