යහපත් පැවැත්මක් ඇත්තාට ලැබෙන ප්‍රතිඵල ද යහපත්ය
සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක
ආචාර්ය අකුරටියේ නන්ද හිමි
පසුබිම් කතාව
බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයෙහි සැවැත් නුවර ‘ධම්මික’ නම් වූ උපාසකයෙක් විසී ය. අඹුදරුවන් සමඟ සැපවත් ජීවිතයක් ගත කළ හෙතෙම සිල් ඇත්තේ විය. යහපත් ගති පැවතුම් ඇත්තේ විය. දීමෙහි ඇලුනේ විය.
මෙසේ ධාර්මිකව කල් යවන උපාසක තෙමේ කල් යත්ම රෝගාතුර විය. ආයුෂ ද පිරිහී ගියේය. ගිලන්ව වැතිරී සිටින ධම්මික උපාසකට බණ ඇසීමෙහි ආශාවක් ඇති විය. භික්‍ෂූන් වහන්සේට නිවසට ආරාධනා කොට ‘ස්වාමිනී. ඔබ වහන්සේ දැකීම මට මහත් වූ සැනසීමකි. මහත් වූ පිහිටකි. සියලු බුදුවරුන් විසින් අත් නොහැර ගෙන ආ ‘මහා සතිපට්ඨාන සූත්‍රය’ වදාරනු මැනවි’ යි ඉල්ලා සිටියේ ය. භික්‍ෂූන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නට පටන් ගත්හ.
ඒ අවස්ථාවේ ධම්මික උපාසක ගේ පින් මහිමයෙන් මෙහෙයවුණු සදෙව්ලෝවැසියෝ එක් එක් දෙව්ලොවින් දෙව්රිය සයක් ගෙනවුත් උපාසකට පෙනෙන සේ අහසෙහි තබා ‘මේ රියට නගින්න, මේ රියට නගින්න, අපි ඔබ දෙව්ලොවට ගෙන යන්නෙමුයි කියා සිටියහ. මේ දුටු උපාසක තෙමේ ධර්ම දේශනාවට බාධා නොකොට, ඒ අවසන් වන තුරු ඉවසන්නැයි අතින් සන් කර සිටියේ ය. ඒ දුටු භික්‍ෂූන් වහන්සේ බණ නවතන්නට කීවේ යැයි සිතා ධර්ම දේශනාව නවතාලූහ.
ඒ අවස්ථාවේ ධම්මික උපාසක ගේ දරුවෝ ‘අහෝ, අප පියාණන් පෙර කිසි කලෙකත් මෙසේ නොකළේ ය. කොතරම් බණ ඇසුවත් සෑහීමකට පත් නොවුණේ ය. බණ ඇසීමට භික්‍ෂූන් වහන්සේ ගෙන්වා ගත්තේ ද පියාණන්මය. දැන් ඔහු ම බණ නවතන්නට කියන්නේ ය. මරණයට බිය නොවන්නේ කවරෙක් දැ’ යි කියමින් හඬා වැලපෙන්නට වූහ. භික්‍ෂූන් වහන්සේ ද ආපසු විහාරයට වැඩියහ. ධම්මික උපාසක තෙමේ හඬන දරුවන් දැක ‘නුඹලා කුමක් නිසා හඬන්නේ දැයි’ විමසන්නේ ය.
’බණ අසන්නට භික්‍ෂූන් වහන්සේ වැඩම වූයේ පියාණන් ගේ ම කැමැත්තෙනි. බණ අසනවේලෙ හි අතින් සන් කොට බණ නවතාලු බව අපි දුටුවෙමු. මරණ බියෙන් එසේ කළේ යැයි සිතා අපි හැඬුවෙමු’ යැයි දරුවෝ කී හ.
එවිට උපාසක තෙමේ ‘මම උන්වහන්සේට බණ නවතාලන්නට නොකීවෙමි. සදෙව්ලෝවැස්සෝ තම තමන් ගේ දෙව්ලොවට එන ලෙස මට හඬ ගැසූහ. බණ අසන බව කියා මදක් ඉවසන ලෙස අත නගා කීවෙමි. ඒ හැර භික්‍ෂූන් වහන්සේට බණ නවත්තන්නට නොකීවෙමි’ යි කීවේ ය.
ඒ අවස්ථාවේ ම තම දරුවන් අමතා ‘දරුවනි, හඬා නොවැලපෙන්න. මම දැන් තුසිත දෙව්ලොවට යමි. නුඹලාත් මා සමීපයට එන්නට සිතා තව තව පින් දහම් කරන්න. සිල් රකින්න. දන් දෙන්න. බණ භාවනා කරන්න. පස් පව් නොකරන්න. කේලාම් කීමෙන්, රළු බස් බිණීමෙන් වලකින්න. වැරැදි වැඩ කිසි කලෙකත් නොකරන්න. කරුණාව මෛත්‍රිය ආදී වූ ගුණ දහම් වඩන්න.’ යැයි අවවා දී කලුරිය කොට තුසිත දෙව්ලොවින් ආ රථයෙහි නැඟී සිටියේ ය.
පෙරළා විහාරයට වැඩි භික්‍ෂුන් වහන්සේ ධම්මික උපාසක බණ නවතාලන්නට කී බව බුදුරජාණන් වහන්සේට දන්වා සිටියහ. එවිට උන්වහන්සේ ධම්මික උපාසක තෙමේ බණ නවතන්නට නොකී බවත්, තමන් රැගෙන යන්නට ආ සදෙව් ලෝ වැසියන්ට මදක් ඉවසන ලෙස කී බවත්, දැන් හෙතෙම තුසිත දෙව්ලොව උපත ලද බවත් වදාළහ.
එවිට භික්‍ෂූන් වහන්සේ, ‘ධම්මික උපාසක තෙමේ නෑයන් මැද ඉතා සතුටින් ජීවත් වූයේ, මරණයට පත් වී ද සතුටු විය හැකි තැනකම උපන්නේය’ යි කී හ. ඒ අවස්ථාවේ ‘මහණෙනි! නොපමා වූ ගිහියෙක් හෝ වේවා, පැවිද්දෙක් හෝ වේවා සියලු දෙනා සියලු තැනම සතුටු වෙති’ යි වදාරා ඉහත ගාථා ධර්මය ද දේශනා කොට වදාළහ.
’දුල්ලභංච මනුස්සත්තං’
මිනිසත් බව ලැබීම ඉතා දුර්ලභ අවස්ථාවක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.
දෙවියන්ට පවා පින්කර ගැනීමට ඇති අවස්ථා දුර්ලභය. මිනිස් බවයේ උපත ලැබීම සුගතියට යාමක් ලෙස සලකන්නේ එහෙයිනි. තිරිසන් කුලයේ, අපායේ ඉපදුණු සත්ත්වයාට ද පින් කරගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. උදාර ගුණධර්ම වඩා ලැබුණු මිනිසත් බවින් උපරිම ප්‍රයෝජන ලබා ගත යුතුවන්නේ මේ නිසාය.
බුදුරජාණන් වහන්සේ පුද්ගලයන් සිව්දෙනකු පිළිබඳ හඳුන්වා දී තිබේ. අඳුරෙන් ආලෝකයට ගමන් කරන අය, ආලෝකයෙන් අඳුරට ගමන් කරන අය, අඳුරෙන් අඳුරට යන අය සහ ආලෝකයෙන් ආලෝකයට යන අය වශයෙනි. එහි දී ආලෝකයෙන් ආලෝකයට හා හැක්කේ මිනිසාට පමණි.
යහපත් පැවැත්මෙන් යුතු පුද්ගලයාට ලැබෙන ප්‍රතිඵලය ද යහපත් බව බුදු දහමේ සඳහන්ය. හින්දු ආගමේ ද මේ ධර්මතාවය පිළිගනී. උදෑසනින් පිබිදෙන ඔබ ගෙමිදුල ඇමද පරිසරය පිරිසුදු කළේ යැයි සිතන්න. ඒ දකින ඔබ සිත පහන් වේ. නිවෙසට එන යන අය ගේ ද සිත් පහන් වේ.
පෝ දිනක පන්සල් යන ඔබ සිල් සමාදන් වූයේ යැයි සිතන්න. පරමල් ඉවත ලා, මලසුන් පිරිසුදු කොට, බෝ මළුව ඇමද එහි සෙවණ යට ආගමික වතාවත්වල නිරත වන ඔබ ගේ සිතට දැනෙන සතුට, පහන් සිතිවිලි, වෙනත් ගසක් යට සිටීමෙන් ලැබෙන්නේ නැත.
නිර්ලෝභී පුද්ගලයා දානමය පිංකමකදී එහි ගුණාත්මක බව මිස විය හියදම් ගැන සලකන්නේ නැත. හොඳම තත්ත්වයේ ආහාරපානවලින් දානය සැකසීම ඔහු ගේ බලාපොරොත්තුවයි. පින්කම අවසානයේ ඔහු ලබන සතුට, අසීමිතය.
මරණාසන්න මොහොතක, මරණ බියෙන් තැතිගත් සතෙකු ගේ ජීවිතය බේරා ගන්නට ඔබට අවස්ථාවක් ලැබුණේ යැයි සිතන්න. අඩුම තරමේ ජල බඳුනක වැටී ඉන් බේරෙන්නට දඟලන කුඩා කුහුඹුවකු බේරා ගත්තේ යැයි සිතන්න. ඔබට මොන තරම් සතුටක් දැනේ ද?
අයහපත බැහැර කර යහපත ම සිදු කිරීමෙන් මේ ජීවිතයේ දී ම කෙනකුට සතුට ලබා ගත හැකිය. අප ගේ ජීවන ප්‍රතිපදාව විය යුත්තේ ද එයම බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.
අප ගේ චර්යාවන් හසුරුවා ගත යුතු වන්නේ කෙසේ ද?
’අත්ත හිත පරහිත’
තමාට හිත පිණිස වන ලෙසය. අනුන්ට ද හිත පිණිස වන ලෙස ය.
’අත්ත ව්‍යාපාද’ ‘පර ව්‍යාපාද’
තමන් විපතේ හෙලන, අනුන් ද විපතේ හෙලන ක්‍රියාවන්ගෙන් දුරස් විය යුතුය. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය බොහෝ දෙනා ගේ හිත පිණිස, බොහෝ දෙනා ගේ සුව පිණිස, ලෝකයාට අනුකම්පාවෙන් දේශනා කරන ලද ශ්‍රේෂ්ඨ ධර්මයකි. ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන බෞද්ධයා, මෙලොව පරලොව ජීවිතයේ සාර්ථකත්වය අපේක්‍ෂා කරන පුද්ගලයා වර්ධනය කළ යුතු ගුණ දෙකකි. එනම් කරුණාව සහ ප්‍රඥාවය. කරුණාවන්ත පුද්ගලයා සියලු සත්ත්වයන් කෙරෙහි දයාවන්තය. පරිත්‍යාගශීලීය. ඉවසීම ආදී උතුම් ගුණාංගයන්ගෙන් පරිපූර්ණය. ප්‍රඥාව නම් බුද්ධිමත් බවයි. බුද්ධිය ගැන නොසලකා කරුණාව පමණක් දියුණු කරන පුද්ගලයාටත් කරුණාව ගැන නොසිතා බුද්ධිය පමණක් වර්ධනය කරන තැනැත්තාටත් තම ජීවිතය සාර්ථක කර ගත නොහැකි ය. ඒ සඳහා කරුණාවත්, ප්‍රඥාවත් දෙකම සමසේ වැඩිය යුතුය. බෞද්ධ ඉගැන්වීම නම් එයයි.
බෞද්ධයකු වීමට බවුතීස්ම කිරීම අවශ්‍ය නැත. යම් පුද්ගලයකු බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය තේරුම් ගෙන, එය සත්‍යය මාර්ගය බව පිළිගෙන, ඒ ධර්මය පිළිපදින්නට උත්සාහ කරනවා නම් ඔහු බෞද්ධයකු බවට පත්වේ.
බුද්ධ දේශිතය ජීවිතයේ ප්‍රතිපත්ති ක්‍රමයකි. එහිදී යහපත් දැකීම, යහපත් කල්පනාව, යහපත් වචනය, යහපත් කර්මාන්ත, යහපත් දිවි පෙවෙත, යහපත් වෑයම, යහපත් සිහිය, යහපත් සමාධිය යන ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතයේ ප්‍රතිපදාව බවට පත්කර ගත යුතුය.
යහපත් ජීවිතයක් සඳහා ආර්ථිකය දියුණු කර ගැනීම අවශ්‍ය බව බුද්ධ දේශනාවේ සඳහන්ය. එහෙත් තෘෂ්ණාවෙන්, ධනය රැස් කිරීම හෝ, අන්‍යයන් තලා පෙළා ධනය රැස්කිරීම හෝ, සමාජයට අහිතකර ප්‍රතිඵල අත්වන අයුරින් ධනය රැස් කිරීම බුදු දහමට පටහැනිය.
පුද්ගලයා ගේ මෙලොව දියුණුවට හිත සුව පිණිස ඉවහල්වන ධර්ම කරුණු සතරක් පිළිබඳව වරක් භාග්‍යවතුන් වහන්සේ දීඝජානු කෝලිය පුත්‍රයාට දේශනා කොට වදාළහ. තමන් ගේ වෘත්තීය පිළිබඳ මැනවින් ඉගෙන එහි දක්‍ෂවීම, අනලස්වීම හා අනුන් ලවා කරවීමට සමත්වීම හෙවත් ‘උට්ඨාන සම්පදාව‘ එහි පළමුවැන්නය. දෙවැන්න ආරක්ඛ සම්පදාවය. දහදිය මහන්සියෙන් උපයාගත් ධනය සොරුන් විසින්, රජුන් විසින් පැහැර ගත නොහැකි පරිදි රැක ගැනීමය.
තමන් පවින් වළකන, යහපතෙහි ම යොදවන, බුද්ධිමත්, ගුණවත් අවංක මිතුරන් ඇසුරු කිරීම හෙවත් ‘කල්‍යාණ මිත්තතා’ තෙවැන්නය. අය – වැය විමසා හොඳින් දැන, නොමසුරුව ජීවිතය පවත්වා ගැනීම, එනම් ‘සමජීවිකතාව‘ සිව් වැනි කරුණය.
එහි දී ම කෙනකු ගේ පරලොව හිත සුව පිණිස වන ධර්ම කරුණු හතරක් පිළිබඳව ද පෙන්වා දුන්හ. ඔහු ශාස්තෘන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි විශ්වාසය ඇති, එනම් සද්ධා ගුණැති අයකු විය යුතුය. ප්‍රාණ ඝාතයෙන්, සොරකමින්, කාමයෙහි වරදවා හැසිරීමෙන්, මත්පැන් පානයෙන් වැලකිය යුතුය. එනම් සීල ගුණය පවත්වා ගත යුතුය. තෘෂ්ණාවෙන් මිදීම හෙවත් චාග ගුණය ඇති තැනැත්තකු, දුකින් මිදීමට හෙවත් නිර්වාරණය අවබෝධයට ඉවහල් වන ප්‍රඥාව දියුණු කර ගන්නා අයකු විය යුතුය.
මෙසේ තම ජීවන ප්‍රතිපදාව සකසා ගන්නා පුද්ගලයා මෙලොව, පරලොව යන දෙලොවම සාර්ථක කර ගන්නේය.
බුදුරජාණන් වහන්සේ ගේ රූපකාය පිළිබඳව ම සිතා උන්වහන්සේ දකින්නට ම පැවිදි වූ වක්ඛලී හාමුදුරුවෝ අමතා වරක් බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළහ.
’කිං තේ වක්ඛලි ඉමිනා පූති කායේන’
’වක්ඛලී, කුණු වැගිරෙන මේ ශරීරයෙන් ඇති ප්‍රයෝජන කවරේ ද?
’සෝ ධම්මං පස්සති, සෝ මං පස්සති.’
’මා දකින්නට කැමති නම් ධර්මය දැකිය යුතුය.’ යනුවෙනි.
2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය ලෝකවාසී බෞද්ධයාට ඉතාම සුවිශේෂී ය. සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම සඳහා පිළිවෙතින් පෙළ ගැසෙන අප කළ යුතු වන්නේ ‘අත්ත හිත’ ‘පරහිත’ යන ජීවන ප්‍රතිපදාව ප්‍රගුණ කිරීම ය. ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දීමය. අප ගේ ශාස්තෘන්වහන්සේ ගමන් කළ මාර්ගයට ළං වීමට උත්සාහ කිරීම ය.